අලුත් අවුරුද්ද අනාගතයට භාරදීමට දරු පරපුර ඒ වෙත යොමු කරමු - ජනාධිපති

සිංහල දෙමළ අලුත් අවුරුදු සංස්‌කෘතික මංගල්‍යය නමැති මහා දායාදය තව තවත් අර්ථවත් කොට අනාගතයට භාරදිය හැක්‌කේ ඒ කෙරෙහි අපගේ දූ දරුවන් යොමු කිරීමෙන් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් කියා සිටී.

ජනාධිපතිතුමා නිකුත් කළ සම්පූර්ණ අලුත් අවුරුදු පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පුරාතනයේ සිට ශ්‍රී ලංකාද්වීපයේ අතිබහුතර ජනතාවක්‌ පවත්වාගෙන ආ මහා සංස්‌කෘතික මංගල්‍යයයි. මිහිකතට ශක්‌තිය දෙන සූර්යයාගේ ක්‍රියාකාරීත්වය හා බැඳුණු මහා මංගල්‍යයයි. එය ශ්‍රී ලාංකික කෘෂිකාර්මික නිෂ්පාදන ආර්ථිකයේ මහා ජය කාහල නාදය ද වෙයි.

අප මේ අලුත් අවුරුද්ද පිළිගන්නේ කෘෂිකර්මාන්තයේ සේම සෑම අංශයකම නිෂ්පාදනය ද සංවර්ධනය ද ඇති කරමින් පවත්නා වූ අවධියකය. එසේම නිදහස සැපිරූ රටකය. එබැවින් සාම්ප්‍රදායිකව ජනතාව තුළ ඇති වන නැවුම් හැඟීම් සේම ප්‍රබෝධය ද වඩාත් වර්ධනය වන බව මාගේ විශ්වාසයයි.

මේ සංස්‌කෘතික මංගල්‍යය වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ පැවැත්වීම නිසා එය වඩා සුනම්‍ය අසිරිමත් සහ අර්ථවත් මංගල්‍යයක්‌ ලෙස අද පවතී. අප මේ දායාදය තවත් අර්ථවත්කොට අනාගතයට භාරදිය හැක්‌කේ ඒ කෙරෙහි අපේ දූ දරුවන් යොමු කිරීමෙනි.

අලුත් අවුරුදු අසිරියේ සැබෑම හිමිකරුවන් වන දරුවන්ට නිදහසේ අවුරුදු සිරි විඳගැනීමටත් අවුරුදු නැකැත් චාරිත්‍ර සමඟ එක්‌වීමටත් අවස්‌ථාව අප උදා කළ යුතුය. ඒ සඳහා මේ අලුත් අවුරුද්දේ දරුවන්ගේ සතුට ආරක්‍ෂා කරදීමට මතින්ද ඈත්ව අවුරුදු සමරන ලෙස සැමගෙන් මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. එය මේ අවුරුද්දේ දරුවන්ටත්, සමාජයටත් දිය හැකි වටිනාම අවුරුදු තෑග්ග බව විශ්වාස කරමි.

එසේම මේ අලුත් අවුරුදු සමයේද රාජකාරිය වෙනුවෙන් කැප වූ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක බළකායේ සාමාජිකයන්ව ද රාජ්‍ය සේම පෞද්ගලික අංශයේ සියලු දෙනාව ද අප කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතුය.

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක්‌ වේවාෘයි මම ප්‍රාර්ථනා කරමි.

Tell a Friend