මවත් දරුවත් කෝච්චියට පනී

සිය සැමියා සමඟ බහින්බස් වූ එක්දරු මවක් සිය සිඟිත්තා ද තුරුළු කරගෙන වනවාසල දී ශීඝ්‍රගාමී දුම්රියකට පැන මියයාමේ සිද්ධියෙන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියෙන් අනාවරණය විය. මෙසේ මියගොස් ඇත්තේ දොඹගස්දෙනිය මාතලේ පදිංචිව සිටි මල්ලිකාරච්චිගේ සුදානි දිල්රුක්ෂි පෙරේරා 24 සහ ඇගේ දරුවා වන ෂෙනාල් මිහිසර ජිනදාස (අවු. 1 1/2) නැමැති සිඟිත්තාය.

කැලණිය වනවාසල දී 11 දින දුම්රියේ හැපුනු දිල්රුක්ෂි පෙරේරා එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර දරුවා කොළඹ ළමා රෝහලේ දී ඊයේ 18 මියගොස් තිබේ. මේ පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක එඩ්වඩ් අහංගම මහතා විසින් 18 වන දින පවත්වන ලදී. වෛද්‍ය වාර්තා සහ සාක්ෂි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා අනතුරට සම්බන්ධ දුම්රියේ රියදුරු පැමිණ නොසිටිය බැවින් වැඩිදුර විභාගය 2011.3.25 දිනට කල්තැබීය. කිරිබත්ගොඩ පොලීසියේ පොලිස් සැරයන් ගුණවර්ධන හා මරදාන පොලීසියේ පො. සැ. ලාල් පතිරණ යන නිලධාරීහු සාක්ෂි මෙහෙයවූහ.

.