ගෙල කපා ඝාතනය කළ තරුණියකගේ සිරුරක් මීතොටමුල්ලේ

චන්ද්‍රිකා පෙරේරා

ගෙල කපා ඝාතනය කළ රූමත් තරුණියකගේ සිරුරක් වැල්ලම්පිටිය, වඩුගොඩවත්ත මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී ඊයේ (04) අලුයම වැල්ලම්පිටිය පොලිසිය මගින් සොයාගෙන තිබේ. ඝාතනය සිදුකළ බව කියන මියගිය තරුණියගේ ඥාතියකු එදින සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙසේ මරා දමා ඇත්තේ 23 හැවිරිදි දේවමුනිගේ රසිකා දයානි නමැත්තියකි. ඇගේ ගෙලට උල් අවියකින් ඇණ මරණය සිදුකර ඇති බව හෙළිව ඇත. මියගිය තරුණිය තනිව ඇගේ නිවසේ සිටියදී ඒ තුළ ඝාතනය වී ඇති බව මූලික පරීක්ෂණ මගින් හෙළිව ඇතැයි පොලිසිය කියයි.

පෞද්ගලික කෝන්තරයක් මත මරණය සිදුකර ඇති බවට සැකකරන අතර ඝාතනය සිදුකළ සැකකරු සැඟවී සිටියදී ගම්වාසීන් විසින් සොයා පහර දී පොලිසියට බාර දී තිබේ. මියගිය තරුණියගේ මළසිරුර අසල්වාසීන් කළ දැනුම්දීමක් මත වැල්ලම්පිටිය පොලිසිය මගින් සොයාගෙන තිබිණි.

සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට මළසිරුර රෝහල වෙත රැගෙන ගොස් තිබේ. සිද්ධිය පිළිබඳ නුගේගොඩ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත වැල්ලම්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Tell a Friend