ආනයනික ලොකු ලූනු නිසි ප්‍රමිතියෙන් තොරයි!

ලොකු ලූනු මිල අඩු කිරීම සඳහා රජය මගින් ගෙන්වා බෙදාහරින ලද ලූනු නිසි ප්‍රමිතියකින් තොර ඒවා යෑයි ප්‍රදේශවාසීහු පවසති.

විශාල ප්‍රමාණයකින් යුතු මෙම ලූනු ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 200 ක්‌ පමණ වන අතර, එයින් එක්‌ ගෙඩියක්‌ නරක්‌ වුවහොත් විශාල පාඩුවක්‌ සිදුවන බවද ප්‍රදේශවාසී පාරිභෝගික ජනතාව පවසති.

නියමිත පරිදි වියලී නොමැති මෙම ලූනු කපා එහි ඇති දියර ගතිය මිරිකා හැරීමෙන් තොරව ප්‍රයෝජනයට ගත නොහැකි බව පවසන පාරිභෝගික ජනතාව මෙම ලූනු ගෙඩි ඇතුළතින් නරක්‌වී ඇති බවත්, ඒ බව පිටතින් දැනගත නොහැකි අතර, නිවසට ගෙන ගොස්‌ කැපීමේදී නරක්‌වූ ලූනු අපතේ දැමීමට සිදුවන බවද ප්‍රකාශ කරති.

අඩු මිලකට මෙම ලූනු ලබාගැනීම වෙනුවට රුපියල් 220 ක්‌ ගෙවා මෙයට පෙර වෙළෙඳ පොළේ විකුණනු ලබන ලූනු ලබාගැනීම වඩාත් ප්‍රතිඵල සහිත වන බවද පාරිභෝගික ජනතාව කියති.

මෙම තත්ත්වය මත ප්‍රදේශයේ ජනතාව නැවතත් වැඩි මිල ලූනු මිලයට ගැනීමට පෙළඹී ඇත.

Tell a Friend