ආණ්ඩුවෙන් පුවතක් : නාම යෝජනා දීමේදී ඥාති සංග්‍රහ ඉවතට

ශ්‍රීලනිප ජාතික කමිටුවේ තීරණයක්

දැනට පාර්ලිමේන්තුව හෝ පළාත් සභාව හෝ නියෝජනය කරන අයගේ සමීපතම ඥාතීන්ට පළාත් පාලන මැතිවරණයේදී නාම යෝජනා ලබා නොදීමට නාම යෝජනා පිළිබඳ ජාතික කමිටුව තීරණය කර තිබේ.ඒ අනුව පාර්ලිමේන්තුව හෝ පළාත් සභාව දැනට නියෝජනය කරන ඇමැතිවරුන්ගේ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ හෝ මහ ඇමැතිවරුන්ගේ සමීපතම ඥාතීන්ට නාම යෝජනා ලබා නොදෙනු ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් හා දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ පවුල්වල අයට හෝ සමීපතම ඥාතීන්ට නාම යෝජනා නොලැබෙනු ඇත. සමීපතම ඥාතීන්ට හෝ පවුල්වල සාමාජිකයන්ට මෙසේ නාම යෝජනා නොදීමට ජාතික කමිටුව තීරණය කර ඇත්තේ වෙනත් සාමාන්‍ය අයටද පළාත් පාලන ආයතන නියෝජනය කිරීමේ අවස්ථාව ලබාදීමට බව ජාතික කමිටුව කියයි.

පාර්ලිමේන්තුව නියෝජනය සැමියාට හිමිවී ඇති අවස්ථාවල බිරිඳ පළාත් සභාව නියෝජනය කරන අවස්ථා දැන් දක්නට ලැබෙනබවද අනාවරණය කරගෙන තිබේ. මේ තත්ත්වය යටතේ පවුල් සබඳතා නැති අයට පළාත් පාලන ආයතන සඳහා තරග කිරීමේ අවස්ථාව සලසාදීම ජාතික කමිටුවේ අරමුණ බවට පත්වී තිබේ. දැනට පළාත් පාලන ආයතන නියෝජනය කරන අය සම්බන්ධයෙන් මෙම තීරණය බලපාන්නේ නැති බව ජාතික කමිටුව ප්‍රකාශ කරයි.


Tell a Friend