EDITORIAL : විප්ලවය වූ කලී


කතු වැකිය

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ තමාටම වෙන් කරගත් පුටුව සකසා ගැනීමෙන් පසු කතාවක් කළේය. එහිදී ඔහු කියා සිටියේ මෙරට ආරක්ෂක හමුදාව අතර අභ්‍යන්තර ගැටුම් ඇති කිරීම සඳහා ඇතැම් පිරිස් අර අදිමින් සිටින බවත් එය තමන් ඇතුළු අයවලුන් විසින් සියුම්ව නිරීක්ෂණය කරන බවත්ය. ලංකාවේ දේශපාලනයේ හැටි එහෙමය, බලයට පත් වූවන් ඔහුට එරෙහි වන්නන්ට අංචි අදින අතර බලය නැති වුන් බලය ඇති වුන්ට එරෙහිව අංචි අදියි. මේ නිසා වෙනත් බොහෝ රටවල ව්‍යවහාර වන විපක්ෂය ලංකවේ විරුද්ධ පක්ෂ වී ඇත. එම හැදින්වීම තුළම ඇති අර්ථය වන්නේ එරෙහි වීම යන්නයි. ආණ්ඩු පක්ෂයේ අයද විපක්ෂයේ අය හතුරෝ ලෙස සලකති. එරෙහි වෙති. එය මෙරට දේශපාලනයේ ස්වභාවය වේ. රාජපක්ෂට අනුව රණවිරුවන් යනු රාජපක්ෂගේ වෙළඳ භාණ්ඩය මිස එය වෙන කාගේවත් නොවිය යුතුය. එය එසේ වන ලකුණු පහළ වුවහොත් හැකි උපරිම බලය දමා " රාජ්‍ය ද්‍රෝහී යැයි සලක එල්ලා මරිය හැකිය," වූකි ඔහුගේම සහෝදරයාගේ චින්තනයයි. එසේනම් රණවිරුවන් ජාතියක ආරක්ෂකයින් වනු වෙනුවට එක පවුලක වහලුන් කරගැනීමක් ලෙසද මෙය හඳුනා ගත හැකිය.

රාජපක්ෂ ජනාධිපති වරයා මෙරට රණවිරුවන් ගැන පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ කතාව සැලකිය යුතු දෙයකි. එසේම එය ඔහුගේ හිතට කෙතරම් වදයක් වී ඇත්තේද යත් ඉන් දින දෙකකට පසු අරලියගහ මන්දීරයේදී රණවිරු සම්මාන උළෙලක්ද පැවැත්වුනි. රාජපක්ෂ සීනි බෝල පෙන්නීම සහ ගිල්ලීම සඳහා දක්ෂයෙකි. ඔහුගේ වැටහීම විය හැක්කේ කටුස්සාගේ කරේ රත්තරන් පැළඳුවා සේ මෙරට රණවිරුවන්ගේ කරටද යමක් එල්ලා තමන්ගේ ග්‍රහණයෙන් ඔවුන් පලා යාම වැලැක්වීමය. සැබවින්ම එවැනි රත්තරන් පළඳා ගනු ලබූ කටුස්සෝද සිටිති. ඇතැමෙක් එසේ සිටින්නේ යැයි අඟවති. නමුත් ඇත්ත ඊට හාත්පසින්ම වෙනස්ය. තමන්ගේ පව් තුළ තමන්ගේම සිත සටන් කරන අවස්ථා මෙන්ම, තමන් වැරදියි යැයි තමාටම ස්වභාවික පාඩම් කියා දෙන අවස්ථා නැතුවා නොවේ.

නමුත් ඒ සියල්ල හමුවේ ඇත්ත මතු පිටට පැමිණෙමින් තිබේ. හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට ලෝකයේ හොඳම හමුදාපති කියූ කිසිඳු රාජ්‍ය නායකයෙක් වත්මන් හමුදාපතිට කියන්නේ තබා සිතන්නේවත් නැත. නමුත් තමන්ගේ අතවැසිකම් මානව කරන හෙයින් රාජපක්ෂ ජනාධිපතිවරයාට ඔහුට තරු හතරේ ජනරාල් කමක් දිය හැකිය. එවිට සරත් ෆොන්සේකා තිබු වාර්තාව කඩා දැමිය හැකිය. නමුත් එවැනි වාර්තා කොළඹ කුණු කූඩ පුරවනු ලැබූ මහා කිරිබත හා සමාන බව අමතක නොකළ යුතුය.

සංවර්ධනයේ මහා පිමි යන්නේය යැයි කියූ රාජපක්ෂ චින්තනයෙන් දැක ගත හැකි පිම්මක් නැත. ඒ වෙනුවට ඇත්තේ පුහු අටෝපයන් පෙන්වන මිලිටරි වන්දනය සහ ප්‍රදර්ශනය පමණි.වෙනත් දියුණු වෙමින් පවතින සහ දියුණු වූ රටවල මිලිටරිය වූ කලී සඟවා ඇති ඒකකයකි. ඔවුහු මානව නිදහස ගරු කරති. මානව ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිති. රාජ්‍ය නායකයින් යැයි කියන පිරිස් එන තැනකින් එම රටවල දුක් විඳින ජනතාව එලවා දැමීමට හෝ සර්වාංගයම අතගා බැලීමට නොයති. ඒ සඳහා කිසිවෙකුට හිංසනයක් නැති ආරක්ෂක විධි විධාන පවතී. නමුත් මෙරට එවැනි මට්ටමකට සිහිනයකිදු ගමන් නොකරන හැඩක් නොපෙනේ. ඒ වෙනුවට දැක ගත හැක්කේ ප්‍රදර්ශන සහ නාඩකම් පමණි. රාජපක්ෂ නළුවා වී සිටින එහි වේදිකාව දෙදරා ගොස් ඇති බව පෙනෙන්නේ ඔහුම හොට බිම ඇන ගනිමින් සිටින අනුවණ කටයුතුවලිනි. එය ඔහු හමුදාවේ අභ්‍යන්තර ගැටලූ ඇති කරන පිරිසක් සිටිති යැයි මායාවක් සමාජය ඉදිරියේ ගෙන හැර පායි. මතක තබා ගත යුතු මුලික කාරණය වූ කලී සමාජීය ආයතන ( පොලිසිය, පාර්ලිමේන්තුව, අධිකරණය, සිවිල් සමාජය ) කඩා වැටීම ජනසංහාර වලට වඩා හානිදායක බවය. සැබෑ විප්ලවයක් වූ කලී එකී ආයතනවල ස්වාධීනත්වය ස්ථාපිත වීමය. මෙරටට අහිමි වී ඇත්තේ එයයි. මෙරට දේශපාක් යැයි කියන අයට ජනසංහාර වලටත් වඩා හොඳින් ආයතන කඩා දැමීමේ හැකියාවක් තිබේ.

Tell a Friend