පාරවල් කාපට් කරලා ගහන කොමිස් කුට්ටි ගැන වැඩි මිලට ගුවන් පාලම් ගෙනත් තමන්ගේ මල්ලට දාගන්න රටේ ජාතික ධනය ගැන අහිංසක මිනිස්සුන්ට කල්පනාවක් නැහැ. මේ දේවල් හරියට මිනිස්සු දැනගත්ත දවසක මේ පාලකයන්ට දුවන්න පාරවල් නැතිවේවි. අර සිම්බාබ්වේ රටේ වගේ අද අපේ රටේ සියලු ආර්ථික මර්මස්ථාන මේ මජර පවුල් සමාගම තමන්ගේ සාක්කුවට දාගන්න බව රටේ ජනතාවට වටහාදීම විපක්ෂයේ වගේම ආණ්ඩුවේත් යහපත් මිනිසුන්ගේ සමාජ වගකිමක්.
සිරගතකළ නොහැකි හෘදයාංගම සිතුවිලි : ජෙනරාල්ගෙන් දයාබර රටවැසියන්ට....
ජනරාල් සරත් ෆොන්සේකා
හිතවත් කුමාර අලගියවන්න මහතා ඇතුලු මගේ සහෝදර රටවැසි හිතවතුන් හා හිතවතියන් වෙත ආදරයෙන් යුතුව ලියමි. පසුගිය සතියේ හිටිහැටියේම මා අසනීපවී රෝහල් ගතවුණා. දින කිහිපයක්ම බන්ධනාගාර
රෝහලේ ගත කිරීමට සිදුවුණේ මගේ පෙණහලුවල සෙම පිරීම නිසායි. ඊට හේතුව වුණේ මා හට මාරාන්තික තුවාල සිදුකරමින් එදා මරාගෙන මැරෙන බෝම්බකාරිය පුපුරුවාහැර බෝම්බයේ සමහර යකඩ කොටස්
තවමත් මගේ ඇඟතුළ විශේෂයෙන්ම පෙනහල්ලේ තිබෙන බැවින් වරින්වර ඇතිවන ශ්වසන අපහසුතා නිසායි. එය මඟහරවා ගැනිමට වෛද්යවරුන්රුන් උපදෙස් අනුව හරිහැටි ශ්වසන ව්‍යායාම නොකිරිම නිසාත් බන්ධනාගාරය තුළ දැනට මා රඳවා සිටින කුඩා කුටිය තුළට පිරිසුදු වාතාශ්‍රයක් හරිහැටි නොලැබෙන නිසාත් මගේ පෙනහලු වලට සෙම පිරි හුස්ම ගැනිමේ තදබල අපහසුතාව වරින්වර මට ඇති වෙනවා. කොතෙක් වෛද්‍ය උපදෙස් ලැබුණත් ඒ සඳහා අවශ්‍ය ව්‍යායාම් උපකරණ මා වෙත ලබාදීම තමන් ඉතා සංවේදී යයි උදම් අනන මේ පාලකයන් විසින් වැළකුවා. ඔවුන් ඒ මඟින් පවා මගෙන් පළි ගැනීමට කටයුතු කළේ අතිශය අමානුෂිකවයි. ගරු අධිකරණය එම උපකරණ මා වෙත ලබාදෙන ලෙස මීට පෙර නියෝග කොට තිබියදීත් පාලකයෝ ඒවා මා වෙත ලබා නොදීම නිසා මෙවර මා තදබල ලෙස අසනීප වුණා.
යළි ගරු අධිකරණය සිදුකළ නියෝගයක් මත මේ වන විට මට ඒ උපකරණ ලැබී තිබෙනවා. එයට ගරු අධිකරණයටත් ඒ සඳහා කැපවීමෙන් කටයුතු කළ සියලුම නීතිඥවරුන්ටත් මගේ ස්තුතිය පළ කිරීමටද මෙය අවස්ථාව කරගන්නවා.
එසේම එම තීරණාත්මක මොහොතේ මා වෙනුවෙන් නිදුක් නිරෝගී සුව පතමින් ආගමික පුද පූජා පැවැත්වූ සෙත් කවි කියූ එසේම විවිධ පින්දහම් සිදුකළ සිංහල-දෙමළ-මුස්ලිම් ආදී ශ්‍රී ලාංකීකයන් සැම දෙනා වෙතම මගේ කෘතවේදත්වය පිරිනැමීමට මේ මොහොතේ මම කැමතියි. වේලාව අවේලාව පවා නොබලමින් මේ දීනවල මහරජුගේ පදවි ප්‍රාප්තිය නිසා කුපිතවී සිටින ස්වභාව ධර්මයාගේ අතිශය දරුණු බාධාවන් පවා නොසලකා කැපවීමෙන් එම ආගමික කටයුතු සිදු කළ බව මට අනෝමා මඟින් ආරංචි වුණා. ඒ වගේම එළිපිට නොවුණත් හෘද සාක්ෂියක් සහිත වැඩි දෙනා සිතින් හෝ මා වෙනුවෙන් නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කළ බව මම දන්නවා. නැවත වරක් මගේ විශේෂ ප්‍රණාමය ඒ සඳහා ඔබ හැම දෙනා වෙතම හිමි කර දෙන්නට මම කැමතියි. ඒ වගේම විදේශ රටවල සිටින ශ්‍රී ලාංකීකයන් මා වෙනුවෙන් උද්ඝෝෂණය කරමින් ආගමික කටයුතු සිදු කරමින් මට ශක්තිය හා ධෛර්යය ලබාදීම පිළිබඳව ඒ අය හැම දෙනාටත් මම මේ මොහොතේ ප්‍රණාමය පළ කරනවා.
ඔබ ලියා තිබූ ලෙසම සතියකට දින තුන හතරක් සමහර දිනවල නම් දිනකට අධිකරණ දෙක තුනකටම එන යන මටත් දැනෙනවා ජනතාව මා පිළිබඳව දක්වන උනන්දුව. ඒ අය මාගේ අත ස්පර්ශ කරමින් මා වෙනුවෙන් සිදු කරන ප්‍රර්ථනා මෙන්ම යාඥා මටත් ඇහෙනවා. රටේ විවිධ පළාත්වලට ගියාම අනෝමාටත්, ටිරාන්, අර්ජුන, විජිත, අනුර ආදීන් ඇතුලු ප්රජාතන්ත්රවාදී ජාතික සංධානයේ හැමටමත් එය දැනී තිබේනවා. අපි අතර හුවමාරු වන මේ ලිපි පෙළ රටේ ජනතාවගෙන් බහුතරයක් දෙනා කියවමින් සිටින බවත් අසත්‍යයේ බොරු කඩතුරාවෙන් වසාදමා තිබෙන, සැබෑ සත්‍යය, ඔවුන් ටිකෙන් ටික වටහා ගනිමින් සිටින බවත් අපට දැනෙනවා. මගෙන් පළිගැනීම සඳහා මා වෙත දවසින් දවස එල්ල කරන බොරු චෝදනා අප කාගේත් ඇස් ඉදීරි පිටම දවසින් දවස බිඳ වැටෙමින් තිඛෙන නිසා දැන් ජනතාව ටිකෙන් ටික ඇත්ත වටහා ගනිමින් සිටිනවා. අසත්‍යය දාවායෙකි. ඔහු ඉක්මන් ගමනින් එයි. ඉක්මන් ගමනින් යයි. අනතුරුව සත්‍යය බර අඩි තබමින් පැමිණෙයි. එය මා සම්බන්ධයෙන්ද දැන් සිදු වෙමින් පැවතීම කොතෙක් නීරස හා කටුක සිදුවීම් අතර වුණත් මේ තීරණාත්මක
මොහොතේ සැබැවින් අත්විඳින්නට ලැබීම කිසියම් ආකාරයක සතුටක් බවද ඔබ සැම දෙනා වෙත කිව යුතුමයි.
ඔබත් මාත් මේ ලිපි පෙළින් මතු කරන හෘදය සංවාදය නිසා රටේ බහුතර ජනතාව යම් කිසි ආකාරයකින් මා පිළිබඳවත් මගේ දර්ශනය හා ඉදිරි දේශපාලනය පිළිබඳවත් කාලීන සිදුවීම් පිළිබඳවත් දැනුවත් වෙමින් තිබීම නිසා දැනටමත් මේ පාලකයන් හිරි වැටිලා. එම ලිපි මඟින් අප හුවමාරු කරගන්නා සියුම් සංවේදනා, හැඟීම් මෙන්ම සමහර බුද්ධිමය කරුණු ඔවුන්ගේ දැඩි කෝපයට මෙන්ම වෛරයට පාත්‍රවෙලා කියලත් මට ආරංචි ලැබෙනවා. පාලකයන්ගේ වෛරය එසේ වූවත් මේ රටේ පොදු මහජනතාව රටේ යම් යම් ක්ෂේත්‍ර පිළිබඳව මා දරණ අදහස් හා යම් යම් ප්රශ්නවලදී මා නිවැරදි යයි සිතන විසඳුම් මෙන්ම අපගේ දේශපාලන දර්ශනය මෙලෙස වටහාගනිමින් සිටීම මේ මොහොතේ අප ලද ජයග්‍රහණයක් බව මගේ හැඟීමයි. එමෙන්ම අපගේ ලිපි මඟින් පාලකයන්ගේ අමනෝඥ කි‍්‍රයාකලාපය විවේචනයට හසුවීම පිළිබඳව ඔවුන් තව තවත්
උරණ වී ඉදිරියේදී කටයුතු කරවි යයි මට සිතෙනවා. ඒ නිසා ඉතා කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න කියලා මම උදක්ම ඔබෙන් ඉල්ලනවා.
ඔබ මතු කර තිබූ පරිදිම කලාවේ නාමයෙන් එයට මුවාවී බඩගෝස්තරය ගැන විතරක් හිතමින් දැන් රජතුමා එක්ක පෙරහරේ යන කලාකරුවන් ලෙස පෙනී සිටින "උදරමූල" ඇම්බැට්ටයන් ගැන නම් මට තියෙන්නේ අනුකම්පාවක් විතරයි. ඒ අය කරන්නේ මේ රජතුමාව රවටලා කෝටි ගණනින් මහා පරිමාණයෙන් සිදු කරන බොරු නාස්තිකාර වියදම්වලින් කීය කීය හරි තම තමන්ගේ සාක්කුවට දාගන්න එක විතරයි. කලා සංස්කෘතික උපදේශකයො කියන අය කරන්නෙත් ඒක විතරයි. ඒ අය රජතුමාට කිට්ටු වෙලා ඉන්නේ තමන්ගේ වාසියට වගේම තමන්ගේ ක්ෂේත්රයේ තව කාටහරි වළ කපන්න විතරයි. එහෙම නැත්නම් මෙහෙම අසාධාරණකම් රටේ ජනතාවට සිද්ධවෙද්දී සැබෑ සංවේදී කලාකරුවන්ට පුලුවන්ද තවද්ය්රටත් රජගෙදර පිළිකනුවල ඉඳන් ඉඳුල් කන්ඩ? කොහොම වුණත් කලාකරුවන් කියන අය කාගේවත් පැත්තකට නොයනවා නම් තමයි හොඳ. මොකද ඒ අයට දේශාපාලනඥයන්ට වඩා වැඩි ඉඩක් ජනතා හදවත්වල තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ අයට පුලුවන් වෙන්න නෑ කාගේ වුණත් හරි දේට හරි කියන්නත්, වැරදී දේට වැරදීයි කියන්නත් ඒ අය ජනතාවට වැඩිය ඉදිරියෙන් සිටිමින් මුලු සමාජයටම නිවැරදී මග පෙන්වන්න ශක්තිමත් අපක්ෂපාතී පිරිසක් විය යුතුයි. එහෙම නැතිව දැන් වාගේ බඩගෝස්තරේ හොයාගන්න රජ්ජුරුවන්ගේ හොරි කසමින් එයා
පිටිපස්සෙන් යා යුතු නැහැ, සැබෑ කලාකරුවෝ නම්. අනික් හැම දෙනාගෙම වගේ මේ අය කලාකරුවන්ගෙත් කොන්ද කඩලා. ඔවුන් පිල්වලට ඛෙදලා. එයින් වාසි ගන්නවා. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. මට තිබෙන එක සිහිනයක් තමයි මේ රටේ කලාකරුවෝ කවරු හරි අනාගතේ දවසක දේශපාලන වශයෙන් නිවැරදී දර්ශනයක් සහිතව සිටිමින් ආර්ථික වශයෙනුත් ශක්තිමත්ව එහෙත් කාගේවත් දේශපාලන පිලකට නොයා ස්වාධීනව ජනතාව සමග සිටිනු දැකීම. ඔවුන් ජනතාවට මඟ පෙන්වා දෙමින් රටේ අනාගතය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතුයි. ඔවුන් තුළ පාටක් පක්ෂයක්, කුල මලභේදයක් නොතිබිය යුතුයි. මම මේ රටට ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේදී වත් එවැනි ගුණ යහපත් කලාකරුවන් පිරිසක් බිහිවේවා කියලයි.
ඔබගේ ලිපියේ ඔබ මතු කරලා තිබුනා මතකයි, ගැමිකම-සංවේදීකම-විනය වගේ දේවල් ගැනත්. ඇත්තටම මම ඔය සමහරු වාගේ බොරුවට ගැමිකම පෙන්වන කෙනෙක් නෙමෙයි. ඒත් මම හොඳ ගැමියෙක්. මම ඉපදුණේ හැදුණේ වැඩුනේ අම්බලන්ගොඩ කියන සුන්දර ගමේ. ගඟ-මුහුද දෙකම අපිට කුඩා කාලේ ඉඳලාම හොඳට හුරුයි. අපි හැදුනේ වැඩුනේ ගමේ ගහකොළ, ඇළෙ දොළ, සතාසීපාවා ඇතුලු පරිසරයත් එක්ක. අපි දැනුමින් පෝෂණය වුණේ අප අවට ජන සමාජයෙන්. මම පාසල් ගියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට. ඒක ඉතා වැදගත් පාසලක් අදටත් මම ඉස්කෝලේ යන කාලේ බොරු චණ්ඩිකම් කරන්න ගියේ නැහැ. අහිංසකයන්ට ගහල තඩිබාලා ඉස්කෝලේ ගෝරි දාගෙන මාව කවදාවත් ඉස්කෝලෙන් අස්කරලා නැහැ. මම හොඳට විනයක් ඇතිව පාසල් අධ්‍යාපනයක් මෙන්ම දෙමාපිය වැඩිහිටි ඇසුරක් ලබපු කෙනෙක්. ගමේ පන්සල අපිට මඟ පෙන්නුවා. බොරුවට මල් වට්ටි උස්සාගෙන මම දකින දකින පන්සලක් ගානේ නොගියාට මම හොඳ බෞද්ධයෙක්. අපි පව් කරන්න බයයි. අපේ දෙමව්පියෝ අපිට සමාජයේ හොඳ-නරක දෙක ගැන කියා දුන්නා. ඒත් පුංචි කාලේ අනෙක් සියලු ළමුන් වගේම මමත් දඟකාරකම් කළා. කෙළි සෙල්ලම් කළා. අපිට කිට්ටුවම තිබුණු ගඟ එක්ක, මුහුද එක්ක අපිට හොඳ සම්බන්ධයක් තිබුනා. ගඟේ පීනන්න, ඔරු පදින්න අපිට පුංචි කාලේ ඉඳලාම හුරුවක් තිබුණා. ඒවා අපි මාධ්‍යවලට පේන්න බොරුවට කරපු ඒවා නෙමෙයි. ඔබේ මිතුරා දැක්කා නම්, එදා මම හබල අල්ලපු විදීහ ඒක ඇත්ත. අපිට ඒවා හොඳට හුරු පුරුදු නිසයි ඒවා කළේ. එහෙම නැතිව කැමරා අරගෙන ගිහින් බොරුවට ජනමාධ්‍යයට පේන්න බොරු සංදර්ශන තිබ්බේ නැහැ. ඒක මේ රටේ මට ඡන්දය දීපු අය වගේම නොදීපු අයත් දන්නවා. දැන් සමාජයේ බොහෝ දෙනාට මේ බොරු සංදර්ශන ගැනත් ඇත්ත දේවල් ගැනත් තේරුම් අරගන්න පුලුවන් වෙලා තියෙනවා. ඒ ගැන මට සතුටුයි. නැත්නම් අර ඔබ කිව්වා වගේම දීසංවේදී වගේ වචනවල සැබෑ තේරුම හොයාගන්න අපිට භාෂා විශාරදයන් හොයාගෙන
යන්න වෙනවා.
ඒ වගේම මම අවුරුදු 40ක් විතර හමුදී වේ විවිධ තනතුරුවල කටයුතු කරලා මම දන්නවා මේ රටට කිසියම් විනයක් අවශ්‍ය බව. මේ රටේ පාලකයන්ට විශේෂයෙන්ම විනයක් අවශ්‍යයි. රටක පාලකයන්ට විනයක් නැත්නම් රටේ ජනතාවගෙත් විනයක් නැතිව යනවා. එතකොට රට යන්නේ ඉදිරියට නෙවෙයි පසුපසටයි. අහිංසක මිනිසුන් එහෙම නැත්නම් රජයේ නිලධාරින් ගස් බඳින නියෝජ්‍ය ඇමතිවරු කැබිනට් ඇමතිවරු ලෙස පත් කරලා උසස් වීම් දෙනවා නම් මේ රට කොහාටද මේ ගමන් කරන්නේ මේ රටේ විනයක් සහිත සමාජයට මොකක්ද වෙන්නේ කියලා රටේ පාලකයෝ වගේම ජනතාවත් ටිකක් හිතා බැලිය යුතුයි. පිට රටවල් අපේ රට ගැන හිතන්නේ මොනවාද? කිසි ශීලාචාරකමක් නැති පසුගාමී ගෝත්‍රික සමාජයක් දෙසටද අපි මේ ගමන් කරමින් ඉන්නේ. මේවා ගැන රටේ ජනතාවටත් මීට වඩා වැඩි වගකීමක් තියෙනවා. ඔබ අහලා තියෙනවා නේද දැන් මේ ලෝකය මේ තරම් කුරිරු වී ඇත්තේ, නපුරු වී ඇත්තේ නපුරු මිනිසුන්ගේ ක්රියාවලටත් වඩා යහපත් මිනිසුන් ඒවාට එරෙහිව කිසිවක් නොකර සියල්ල ඉදිරියේ නිහව සිටීම නිසා කියලා. අද අපේ සමාජයටත් වෙලා තිඛෙන්නේ ඒ දෙයම නේද?
ඔබ ඔබගේ ලිපියෙන් මතු කරලා තිබුණා රටේ ආර්ථිකය ගැන මා දරන අදහස හා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය දරන අදහස. ඒ පිළිබඳව මම ඉදිරියේදී දීර්ඝව අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙනවා ඉඩ ලැබෙන විධියට. මන්ද එය ඉතා වැදගත් හා ප්‍රධාන දේශපාලන කාරණාවක් නිසාත් එය ව ඩාත් ක්‍රමවත්ව ඔබට පැහැදිලි කොට දිය යුතුව ඇති නිසාත්. ඒ නිසා ඒ ගැන ඉදිරියේ වෙනම ලිපියක් මම ඔබ වෙත යොමු කරනවා. මූලික වශයෙන් දැනට ඒ පිළිබඳව කිව යුතුව ඇත්තේ සමාජයේ සියලු හර පද්ධතීන් විනාශ කොට දමා ඇති එමෙන්ම වසර 30කට අධික කාලයක් රට තුළ ක්‍රියාත්මකව පවතින මේ කොල්ලකා විවෘත ආර්ථිකය කඩිනම් සැලසුම්ගත ප්රතිසංස්කරණයකට ලක් කොට විශේෂයෙන්ම රටේ දේශීය නිෂ්පාදකයාට මෙන්ම පාරිභෝගිකයාටද එකසේ ප්‍රතිලාබ ලැඛෙන කෘෂිකර්මාන්තය සහ අනෙකුත් කුඩා, මධ්‍ය පරිමාණ හා මහා පරි මාණ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයන් මූලික කොටගත් ගම සහ නගරය යා කෙරෙන දීනව ජාතික ආර්ථික ක්‍රමවේදයක් පිළිබඳව අප සිතමින් සිටින බවයි. එහිදී විවෘත ආර්ථිකයේ යම් යම් ගුණාත්මක ලක්ෂණ රැකගනිමින්
කෙරෙන ප්රතිසංස්කරණද ඉතා වැදගත් බව මගේ හැඟීමයි. මේ පිළිබඳව ඉදිරි දී සවිස්තරාත්මකව කතා කිරිමට මම අපේක්ෂා කරනවා.
එසේම විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කියලා කියන්නේ මේ රටේ බුද්ධිමය අනාගතය කියලයි මම නම් හිතන්නේ. වර්තමානයේ කොතරම් අර්බුදකාරි වුණත් නාමිකව හෝ තවමත් නිදහස් අධ්‍යාපනය මගින් රටේ සිව් දෙසින් විශ්වවිද්‍යාල වලට ඇතුලු වීමට වරම් ලබා ගන්නා තිස් දහසකට අඩු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්රමාණයටවත් ඒවා තුළ අද ප්‍රමාණවත් ලෙස අධ්‍යයන පහසුකම් හා අනෙකුත් පහසුකම් නැති බව අප කොයි කවුරුත් දන්නවා. එහෙයින් එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තම තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නිදහස් පරිසරයක් ඔවුන්ගේ හිතට බරක් නැති පරිසරයක් නිර්මාණය නොකොට ඔවුන්ගේ පහසුකම් දවසින් දවස කපා හරිමින් ඔවුන් ප්රචණ්ඩත්වය දෙසට පළවා හරින ආණ්ඩුවේ වැඩ පිළිවෙල අතිශය කනගාටුදායකයි. අධ්‍යයන උපකරන, ආචාර්යවරුන්, පාඨමාලා නවීකරණය, නේවාසිකාගාර පහසුකම් වැනි අත්‍යාවශ්‍ය පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් අද ඔවුන්ට පාලකයන් සමග අරගල කරන්නට සිදු වෙලා. එය ඉතා ශෝචනීයයි. දවසින් දවස අධ්‍යාපනයට, සෞඛ්‍යයට වෙන් කරන වාර්ෂික මුදල් ප්‍රතිපාදන කප්පාදු කරමින් බොරු නාස්තිකාර වියදම්වලට එම මුදල් යොදා ගන්නා
පාලකයෝ තම පහසුකම් ඉල්ලා අරගල කරන ශිෂ්‍යයන්ව අත්අඩංගුවට අරගෙන සිරගෙවල්වල දානවා. ඊයේ පෙරේදා රට පුරාම රාජාභිෂේක මංගල්‍යය වෙනුවෙන් ගහපු කටවුට්, බැනර්, කොඩි වාගේ දේවල් වලට වියදම් කළ මුදල විශ්ව විද්‍යාල වලට දන්නා නම් සමහර විට නේවාසිකාගාර කිහිපයක් අලුතින් විශ්ව විද්‍යාලවලට හරි ගන්න පුලුවන් කම තිබුණා. එහෙම නොකර ළමයින්ගේ පහසුකම් ඒ අයගේ අයිතිවාසිකම් බෙල්ලට හිර කරලා ඒ අය හිරේ දාලා ඇප නොදී විශ්ව විද්‍යාල ප්‍රශ්න විසඳන්න හදනවා. දැන් අර උදුල් ප්‍රේමරත්නව ඇරෙස්ට් කරලා මාස ගණනක් හිරකරගෙන ඉන්නවා ඇප නොදෙන එක තනිකරම පළිගැනීමක්.
නිදහස් අධ්‍යාපනය විනාශ කරන විදීහට පෞද්ගලික විශ්ව විද්‍යාල ගේන්න යන එකට එරෙහිව රටේ මතුවෙන අරගලය නවත්වන්න හදන්නේ මේ විදීහට ශිෂ්‍ය නායකයෝ හිරේදාලා නම් මේ රට මේ යන්නේ කොහාටද? මේවා ගැන මීට වඩා විපක්ෂයත් රටේ ජනතාවත් අවධානය යොමු කළ යුතුයි. එහෙම නොවුණොත් මේවා අවසාන වන්නේ ලොකු ඛේදවාචකවලින්. විශේෂයෙන්ම රටේ ජනතාවට වැඩි වගකීමක් තියෙනවා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සාධාරණ ප්‍රශ්න වලට මතවාදීමය වශයෙන් උදව් කරන්න. ශිෂ්‍යයන්ගේ දෙමාපියෝ පමණක් තමන්ගේ දරුවෝ වෙනුවෙන් පෙනී සිටිනවා මම දැක්කා. ඒක මදී. රටේ ජනතාව තමන්ගේ රටේ අනාගත පුරවැසියන් වෙනුවෙන් මීට වඩා කිසියම් කැපකිරීමක් සිදු කළ යුතුයි. අඩු තරමේ මේ විදීයට ළමයින්ව අත්අඩංගුවට ගන්න එපා කියලාවත් ආණ්ඩුවට බල කළ යුතුයි. මොකද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මේ විදීයට මානසික වශයෙන් කායික වශයෙන් පීඩාවට ලක් වුණොත් ඒකේ පාඩුව සිදු වෙන්නේ මේ රටේ අනාගතයට. මේ විශ්ව විද්‍යාල පද්ධතිය හරහා රටේ අනාගතයට බිහිවන වෘත්තිකයන් මේ සමාජයට වෛර කරන පිරිසක්
වේවි. එහෙම වුණොත් රට යන්නේ තවත් ආපස්සට. බුද්ධිමත්ව මේ ප්‍රශ්න දිහා බලන්න කියලා මම රටේ ජනතාවට ආරාධනා කරනවා.
ඔබ අලුත් ආණ්ඩුව ගැනත් ලියලා තිබුණා. ඇත්තටම දැන් නම් මුලු ආණ්ඩුව විහිලුවක් තමයි. තුනෙන් දෙකක් තියනවා කියලා එයාලා ආඩම්බර වුණාට මහින්ද චින්තනයෙන් හා එහි ඉදිරි දැක්මෙන් පොරොන්දු වූ පරිදී රටට ගැළපෙන විද්‍යානුකූලව විෂයයන් ඛෙදපු කුඩා කැබිනට් මණ්ඩලයක් පත් කරගන්න මේ අයට බැහැ. ඇත්තටම බැරිකමටත් වඩා ඒ සඳහා අවංක උවමනාවක් නැහැ. මට ආරංචි වුනා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ව කොන්කරලා දීලා කියලා "ජ්‍යෙෂ්ඨ ඇමති" කියලා බොරු තනතුරු 10කට. ඒක මහලු මඩමක් ද මොකක් ද කියලාත් ආරංචි වුනා. කැබිනට් එක හැට ගණනක්ලු. නියෝජ්‍ය ඇමතිවරුන් හතළිහක්ද කොහෙදලු. තවම ඇමති මණ්ඩලයක් පත් කරලා ඉවර නැහැලු. දවසින් දවස අලුත් ඇමතිවරු දීවුරුම් දෙනවලු. මේවා ගැන ඇත්තටම හිනා වෙන්න නෙමෙයි අපිට තියෙන්නේ ලැජ්ජා වෙන්න. යුද්ධය නිමාවී අවුරුදු එක හමාරකට පස්සේ අපිට රටක් විදීයට බැරි වෙලා තියෙනවා මේ රටේ මූලික උවමනාවන් සපුරා ගැනීම සඳහා මේ ආණ්ඩුව මෙහෙයවන්න. කොතරම් බලයක් තිබුණත් වැඩක් නැහැ. පටු පවිටු දුෂ්ඨ ආකල්ප වලින් විතරක් හිස පුරවාගෙන
තමන්ගේ බඩ ගැන, පවුල ගැන, තමන් ගැන, තමන්ගේ පරපුර ගැන විතරක් හිතන්න ගියාම මෙහෙම තමයි. ඔය තියෙන්නේ ඒ දවස්වල අර මට නැහැයි කියපු 40 වසරක පරණ දේශපාලන පළපුරුද්ද වෙන්න ඇති. රටට ගැළපෙන කැබිනට් මණ්ඩලයක් පත්කරගන්න බැරි ඒ දේශපාලන පළපුරුද්ද කන්ඩද? මේවා ගැන එයාට ඡන්දෙ දීපු රටේ අහිංසක පොදු ජනතාවට දැන් මොනවා හිතෙනවා ඇද්ද? අයවැයක් කියලා එකක් ඉදිරි˙පත් කළා මහ ලොකුවට. මොනවාද ජනතාවට ලැබුණු සහන. යුද්ධය කාලේ රටේ ජනතාව රට වෙනුවෙන් කළ කැපකිරිමට ප්‍රති උපකාර සලකන්නේ මෙහෙමෙද? පසුගිය මැතිවරණයේදී එයාට තුනෙන් දෙක දෙන්න ගිය ජනතාවටත් මොළයක් තිබුණා නම් ටිකක් හිතන්න තිබුණා. මේ රටේ ත්‍රස්තවාදය පරාජය කරලා යුද්ධය දීනන්ඩ මූලික වැඩ කොටසක් කරපු රට වෙනුවෙන් මැරි ඉපදුණු මට, හමුදාපතිට මෙහෙම කළා නම් රටේ සාමාන්‍ය අහිංසක ජනතාවට අනාගතයේදී මේ පාලකායෝ හිමිකර දෙනු ලබන ප්‍රතිලාබ මොනවගේද කියලා. මේ අයට කිසිම කෙළෙහි ගුණයක් නැහැ. එයාල වෙනුවෙන් වැඩියෙන්ම කඩේ ගිය අය තමයි අද ජ්‍යෙෂ්ඨ ඇමති කියලා ලේබල් ගහලා පැත්තකට විසි කරලා තියෙන්නේ. මුල් කාලේ මේ නායකයා වෙනුවෙන් පෙනී සිටියේ ඒ අය විතරයි. හැබැයි ඉතින් අනිත් අයටත් හෙට අනිද්∞ට තමන්ට වෙන්නේ මොකක්ද කියලා මේවා දැකලා තේරුම් අරගන්න පුලුවන් ටිකක් කල්පනා කරලා බැලුවොත්.
මේ අයට උවමනා තමන්ගේ සැප පහසුකම් විතරයි. රටට හෙණ ගහලා ගියත් කමක් නෑ. තමන්ගේ මල්ල පිරෙනවා නම්. මේක තමයි ඒ අයගේ අද දවසේ දර්ශනය. තමා, තම පවුල, සහෝදර සමාගම, ලෝකෙට ණය වෙවී තමන්ගේ ලොකු කම පෙන්නන්න ලොකු ලොකු දේවල් තමයි මේ අය මවලා පෙන්වන්නේ. අනේ රටේ අහිංසක ජනතාව රූපවාහිනියෙන් මේවා දැකලා අනේ සාදු කියනවා. ඒත් ඒ අය දන්නේ නැහැ හම්බන්තොට වරාය හදන්නේ චීන ආධාරවලින් නෙමෙයි, ණය වලින් කියලා. කිසිම ශී‍්‍ර ලාංකීකයෙකුට එහි කම්කරු වැඩක්වත් නොලැබුණු බව මිනිස්සු දන්නේ නැහැ. පාරවල් කාපට් කරලා ගහන කොමිස් කුට්ටි ගැන වැඩි මිලට ගුවන් පාලම් ගෙනත් තමන්ගේ මල්ලට දාගන්න රටේ ජාතික ධනය ගැන අහිංසක මිනිස්සුන්ට කල්පනාවක් නැහැ. මේ දේවල් හරියට මිනිස්සු දැනගත්ත දවසක මේ පාලකයන්ට දුවන්න පාරවල් නැතිවේවි. අර සිම්බාබ්වේ රටේ වගේ අද අපේ රටේ සියලු ආර්ථික මර්මස්ථාන මේ මජර පවුල් සමාගම තමන්ගේ සාක්කුවට දාගන්න බව රටේ ජනතාවට වටහාදීම විපක්ෂයේ වගේම ආණ්ඩුවේත් යහපත් මිනිසුන්ගේ සමාජ වගකිමක්. අර
මම කලිනුත් සඳහන් කළා වගේ හොඳ මිනිසුන්ගේ නිහැඬියාව නිසා තමයි මේ පාලකයෝ ඇස් පියාගෙන මෙහෙම මේ රට විනාශ කරමින් ඉන්නේ. රටේ ආර්ථිකය සහාසික ලෙස මංකොල්ල කමින් ඉන්නේ.
ඉතින් මේ ලියුමත් ටිකක් දිග වැඩි වුණාද මන්දා? මේ දවස්වල මට එරෙහිව ඇසෙන බොරු චෝදනා නඩු වැලයි, ඒවාට එරෙහිව මම ගොනු කරපු නඩුයි නිසා විවේකයත් හරිම අඩුයි. මම විශ්වාස කරනවා මා වෙනුවෙන් කවදාහරි යුක්තිය ඉෂ්ඨ වෙයි කියලා. ඒ දිනය පාලකයෝ පුලුවන් තරම් මගෙන් ඈත් කරන්න මාන බලන බවත් මම දන්නවා. ඒ කොහොම වුණත් මේ රට ත්‍රස්තවාදයෙන් මුදා ගත් ලෙසම මේ මජර පවිටු කොල්ලකාරි ඒකාධිපති පාලනයෙන්ද මුදවා ගැනීමට මම දිවි හිමියෙන් කටයුතු කරන බව නැවත නැවතත් ඔබ හමුවේ සපථ කරමින් රටටත් ඔබටත් ජය වේවායි ප්‍රාර්ථනා කරමි. එසේම සියලු රට වැසියන්ට තම දූ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් මේ රටට යහපාලනය ගෙන ඒම සඳහා කටයුතු කිරීමට චිත්ත ශක්තිය ලැබේවා එසේම ඒ සඳහා තෝරාගත යුතු නිවැරදී දේශපාලනය තෝරා බේරා ගැනීමට අවශ්‍ය බුද්ධිමත් බව ලැබේවා. ඒ සඳහා අවශ්‍ය ආයු වර්ණ සැප බල මෙන්ම ප්‍රඥාව පහළ වේවා. ඔබ සැමට ජය සැප හා සතුට පතමි.
මේ - මවුබිමටත් ආදරය ජනතාවටත් අප්‍රමාණව ආදරය කරන
සරත් ෆොන්සේකා
නායක | ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය
2010.12.01
(මෙම ලියුම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙකු විසින් අප වෙත යොමු කරන ලදි )
Post a Comment