ආචාර්ය අජන්තා හපුආරච්චි
හඳගමගේ නිර්මාණ හැමදාමත් ආන්දෝලනාත්මකයි. "විදූ" ඔහුගේ නවතම ප්‍රකාශනයයි. හඳගම කියන්න හදන්නේ මොකක්ද ? ඒක ප්‍රේක්ෂකයා කියවන්නේ කොහොමද කියන එක වැදගත්. ඕනෑම නිර්මාණයක් කරන කෙනෙක් හැමවිටම ප්‍රේක්ෂකයාගේ, පාඨකයාගේ, නිරීක්ෂකයාගේ් මානසිකත්වයට ගිහිල්ලා එහෙමත් නැතිනම් හොඳ ප්‍රේක්ෂකයෙක් වුණොත් හොඳ නිර්මාණයක් කරන එක ඒකට අතිශය රුකුලක් වෙනවා. අපි "විදූ" කියවපු හැටි, නැතහොත් මම විදූ කියවපු හැටි ටිකක් අනිත් අයට වඩා වෙනස් වෙන්න පුළුවනි.
මම නම් විදූ දකින්නේ ඉරාන සිනමාවෙන් යම් තරමකට හෝ ඡායාවක්වත් ඇති චිත්‍රපටයක් හැටියට. එහෙත් අශෝක හඳගමගේ සංකල්පනාවකින් "විදූ" මැවෙනවා. මේ චිත්‍රපටයම මතු කරන්න උත්සාහ කරන කාරණා බොහොමයක් තියෙනවා. හඳගම හැමදාමත් වගේ ජීවිතයේ විවිධ තැන් සියුම්ව ස්පර්ශ කරන්න උත්සාහ ගෙන තියෙනවා. ඒක මනෝවිද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක තලයක කියලා කතා කරන්න ඕන. ඉන් පෙර රූප රචනය පිළිබඳව කතා කරමුකො.
ඔය විචාරකයා හැමදාමත් කියන විශිෂ්ට කැමරාකරණය, ආලෝකකරණය, සංස්කරණය යනුවෙන් මේකට කියන්න දෙයක් නෑ. මොකද හඳගම කියන්නේ ඉගෙන ගන්න චිත්‍රපට හදන්න ගිය කෙනෙක් නෙවිනේ. ඒ නිසා සිනමාකරණයට ඔහු කවදත් පළපුරුදු දක්ෂ කණ්ඩායමක් යොදාගෙන තියෙනවා. ඒකෙදී අන් කවදාවත්ම දැක නැති අමුතු දේවල් නෑ. චිත්‍රපටයේ නැතිනම් සිනමාකරණයේ මාධ්‍යමය කාර්යභාරය ඊට උචිත අන්දමට හසුරුවා ඇති බව ප්‍රේක්ෂක අපට දැනෙනවා. ඊළඟට නළු නිළියෝ නැත්නම් රඟපෑම ගැන. ඒකත් එහෙමයි.
ලංකාවේ දක්ෂතම නළු නිළියන්ගේ අතිශය හෝ කවරදාකවත් දැක නැති දක්ෂකමත් නොව ඔවුන් වෙතින් මෙතෙක් දුටු දක්ෂතා අපූරුවට දැකගන්න ලැබෙනවා. ඒත් මෙහිදී නොකියාම බැරි කරුණ තමයි වේශ නිරූපණය. විශේෂයෙන් අගමැතිවරයෙකුගේ අතවැසියා ලෙස රඟපාන සෞම්‍ය ලියනගේට අමුතු බඩක් සකස් කිරීමෙන් අනවශ්‍ය විකෘති බවක් දැකගන්න ලැබෙනවා. ඊට වඩා ඔහු, ඔහු විදිහටම සිටියා නම් ඒ අඩුව වහගන්න තිබුණා. ඒක පැහැදිලිව ප්‍රේක්ෂකයාට දැනෙන දෙයක්.
දැන් තමයි වැදගත්ම එළඹුම. ඒ කියන්නේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශනය. අප චිත්‍රපටයක් " හොඳයි" හෝ "නරකයි" කියන්නේ එහි ඇති තාක්ෂණික පක්ෂය ගැන හිතල නෙවෙයි. අනිවාර්යයෙන්ම චිත්‍රපට අවසානයේ අපට ඉතිරි කරන මතකයේ රඳවන පණිවිඩය නැතහොත් සංදේශය මත සන්නිවේදනාර්ථය තමයි අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශනය. අපි හඳගමගේ ප්‍රකාශනය කියවන්නේ විදූගෙන් හා විදූගේ මවගෙන්.
චිත්‍රපටයකින් අප මුල මැද අග ගැට ගැහෙන කතන්දරයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ වගේම ඒක යථාර්තවාදී වෙන්න ඕනෙත් නෑ. මොකද මේ මිනිස් සමාජයේ ඇතැම් චරිත විකාර රූපී. ඒත් මේ ප්‍රකාශනය අපි කියවන්නේ යථාර්ථවාදී රීතියකින් ඔහු ආරම්භ කරන නිසා ව්‍යූහාත්මකව (Structurally) එතකොට ප්‍රකාශනය මතුකර ගන්න පිළිවනි.
හඳගමගේ මතු කිරීම "විදූ" විදූ සමාජ අසාධාරණයට පත්වුණු දරුවෙක්. ඔහු වීරයෙකුත් නොව, වීරයෙකු සොයන කෙනෙකුත් නොවේ. ඔහු උප්පැන්න සහතිකයක් නොමැතිව පාසල් යා ගත නොහැකි වූ විදේශිකයින් සමඟ ඇසුර දකින මවට වූ අතවරයක ප්‍රතිඵලයක දරුවෙකි. මේ දරුවාට ගැවසෙන්න සිදුවන්නේ තමා පමණක් නොදන්නා පියා හා තම සහෝදරයා සමඟ. හඳගම ඒක දැකල තියෙන්නේ අපූරුවට.
විදූ" ට පාසල් යන ළමයකු ලෙස සමාජ ගත වෙන්න තියෙන බාධකය උප්පැන්නයක් නැතිවීම බව ඔහු දන්නවා. විදුව මතු කරන්න හඳගම ළමා ලෝකයේ අපූරුතැන් බොහොම මට සිලුටු විදිහට ස්පර්ශ කරල තියෙනවා. ළමයින් අතර ඇතිවන ළංවීම, දුරස්ථවීම හැඟීම් සමඟ ගනුදෙනු කරන ආකාරය මනෝවිද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක තලයක තබා කතා කරන විට විදූට වඩා මතුවන චරිත දෙකක් අපට මුණ ගැහෙනවා. සමහර විටෙක ඒක හඳගම හිතාමතාම කළ දෙයක් වෙන්නත් පුළුවනි. නැතිනම් අපි කියවන ආකාරය වෙන්නත් පුළුවනි. විදූට පිහිට වන ළමා චරිතය, එනම් විදුහල්පතිගේ දියණියගේ චරිතයේ ගොඩනැගීම සිනමාව තුළ වැදගත් තැනක තියෙනවා. ඒ චරිතය කොතනකින්වත් හැලෙන්නේ නෑ.
අපට දැකගත හැකි නිර්මාණවල හැමදාමත්ම තිබුණේ වැරදුණු ගැහැණියක තවත් අගාධයකට ඇද දැමීමයි. ඉන් ගොඩ එන්න ඒකෙදී ක්‍රමයක්වත් නෑ. විදූ චරිතයට පණදෙන මවගේ චරිතය අපූරුවට ප්‍රේක්ෂකයාට දැනෙනවා. විටෙක වැරදෙන තැන් හැඳිනගත් නමුත් ආත්මය යළි පවා නොදී පිට් පොකට් ගසා හෝ තමාගේ පව් තමාම තබාගෙන දරුවා රකින ඇගේ ඇතුළු හදවතටම හඳගම අපූරුවට රිංගන්න පුළුවන් වෙලා.
ඉතාම සූක්ෂමව ගැහැණියක දකින සුවිශේෂී තැනත් මෙහිදී වැදගත් වෙනවා. ඒ කිසිසේත්ම තම දරුවාට ලැබුණු අධ්‍යාපන වරම විනාශවීමට ඉඩ නොතබන ඇය එක්තරා අවස්ථාවක, තමා විටෙක ළඟ සිටි මිනිසාට නතු වන අවස්ථාව. ඒ නිසාම ඇය තම දරුවා දේශපාලන කතාවකට යැවීමට අකමැත්තෙන් වුව කැමති වෙනවා. නමුත් යළි තම පියවි ලෝකයේ අරමුණු ගමනට අවතීරණවීමට ඇය තම අභිමානය පෙරදැරිව ආත්ම වංචාවෙන් ගැලවීමට උත්සාහ කරනවා. මේ චරිතය වඩාත්ම මතුවන්නේ දේශපාලන මාෆියාවට ගොදුරුවීම නිසයි.
"විදූ" ආරම්භ වන්නේ පාසලට ඇතුළත්වීමට තම මව සමඟ යන විටෙක විදුහල්පතිවරයාගේ කතාවක් ඇසෙන අවස්ථාවකිනි. විශේෂයෙන් ඉංගී‍්‍රසි පිළිබඳ කතාවකදීය. එය දෙවැනිව මතුවන්නේ විදූ විසින් පාසලට බලහත්කාරයෙන් පැමිණ අපූරුවට ඉංගී‍්‍රසියෙන් කෙරෙන කතාවකිනි. කෙනෙකුට මේ අවස්ථාව මහා වීරයෙක් හා වීර ක්‍රියාවක් ලෙස පෙනුනද චිත්‍රපටයට ප්‍රධාන හානිය සිදුවී ඇති තවත් ස්ථානයකි මේ. විදූ පාසලට ඇතුළත් වන්නට යන්නේ වයස අවුරුදු නවයේදීය. යථාර්ථ රීතිය නිසාම "විදූ" හෝඩියක් නැති වැල්ලේ ඉංගී‍්‍රසි කාරයන්ගේ ඉංගී‍්‍රසි උගත් නූගත් දරුවකු තරමට වඩා මහා දාර්ශනිකයෙකු කිරීමට යාමෙන් දරුවාගේ චරිතය ගොඩනැගීම බිඳ වැටී තිබෙනවා.
පාසලේදී කරන ඉංගී‍්‍රසි කතාව නිසාම ඔහු ජනපි‍්‍රය වෙයි. එය ජනපි‍්‍රය වීමක් නොව හඳගම විසින් ජනපි‍්‍රය කරවීමකි. ඉංගී‍්‍රසි කතාවේ දැක්වෙන දාර්ශනික තලයකට ගෙන එන මේ චරිතයට මුල් නැත. ඔහු මහා වීරයෙකුද නොවේ. ඔහුට පරමාදර්ශයක් නැත. හඳගමට වැරදුණු තැන එතැනය. ළමා මනෝවිද්‍යාත්මකව හා සමාජ විද්‍යාත්මකව බැලුවහොත් මෙතැන වීරයෙකු වන්නේ පිටපතේ වචන කියැවීමෙන් මිස චරිතය ගොඩනැගීමෙන් නොවේ.
එය චිත්‍රපටය පුරාම මහා වීරයෙකු කරවන ගස උඩ කතා කරන දරුවාගේ ප්‍රාර්ථනා ඒ වයසේ උගත්කමක් නැති දරුවාට ආරෝපණය කිරීමට තරම් හඳගම පෙළඹුණේ ඇයිදැයි මට නම් ප්‍රශ්නයකි. මේ දරුවා හැමවිටම "මම නම් කතා කරන්නේ මටමයි" මෙන්ම පීඩිත ජනතාවගේ ප්‍රශ්න, ඇඟලුම් කර්මාන්ත කරුවන්ගේ ප්‍රශ්න කරන ආකාරයෙන් දේශපාලනඥයෙකු ද අභිභවා මතු කිරීමට උත්සාහ කරයි. එය වීරයෙකු මතු කිරීමට හිතා මතාම ඇතුළු කළ දාර්ශනික වචන හරඹයක් විනා චරිතය මතු කරන චරිතයට අදාළ විශ්වසනීයත්වයක් වත් ඇති කාරණා නොවේ.
චිත්‍රපටයේ ගොඩනඟන වීරයා මැරෙන්නේ මෙතැනදීය. පවත්නා සමාජ දේශපාලන පසුබිමක තබා හඳගම මවන වීරයා සමඟ ප්‍රේක්ෂකයා ගෙන යන්නේ කොහාටද ? මොන වීරයා ළඟටද ? මේ වීරයා චරිතයකින් මතුවන්නෙක් නොව පිටපත විසින් අලවා ඇති චරිතයක් වන්නේ එබැවිනි. මේ නිසා එහි යටි පෙළ අරුතින් කියැවෙන සමාජ දේශපාලනයෙන් විඩාබර ගැහැනියකගේ ඒකායන අභිප්‍රාය හා ධෛර්යය ඉදිරියට පැමිණ ඇත්තේ එබැවිනි. අවසාන වශයෙන් අපට ප්‍රශ්නයක් ඉතිරි වේ. එනම් පියාගේ නම නොමැති උප්පැන්න සහතිකයක් ශ්‍රී ලංකාවේ ලබාගත නොහැකි ද යන්නයි.
Post a Comment