රාජපක්ෂගේ දිනපතා පුවත්පත ඇමෙරිකානු තානාපතිවරිය පිරිමියෙකු කරයි.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය විසින් නිකුත් කළේ යයි කියන ප්‍රකාශයක් ගැන මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ " නිල" පුවත්පත අද දින වාර්තා කළ පුවත පහත දැක්වේ. අපගේ වැටහීම අනුව තානාපතිවරිය ස්ත්‍රියකි නමුත් රාජපක්ෂ විසින් ඇයගේ ලිංගිකත්වය හාස්‍ය ජනක ලෙස මාරු කොට තිබේ.

මෙහි පලවන්නේ එම පුවත කිසිඳු සංශෝධනයකින් තොරවය;

- අමෙරිකන් තානාපති බූටෙන්ස්

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් අවබෝධයෙන් කටයුතු කරන බව ද, නීති විරෝධී තොරතුරු හා විකෘති කළ ප්‍රවෘත්ති මත එම විශ්වාසය හා දෙරට අතර පවතින හොඳ හිත පළුදු කළ නො හැකි බව ද ශ්‍රී ලංකාවේ අමෙරිකන් තානාපති බූටෙන්ස් මහතා  ප්‍රවෘත්ති නිවේදනයක් මගින් කියා සිටී.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාකාරීත්වය ගැන අසත්‍ය තොරතුරු සහිත ප්‍රවෘත්ති රැසක් විවිධ ජනමාධ්‍ය මගින් පළකර ඇති අතර ඒ සියල්ල ඇමෙරිකන් රජය තරයේ ප්‍රතික්‍ෂේප කරන බව ද බූටෙන්ස් මහතා පෙන්වා දෙයි.

මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවී ඇති බවට නැඟෙන චෝදනා පිරික්සීමේ වගකීම ස්වෛරී රජයක් සතුවන්නක් බැවින් එවන් අවස්ථාවන්හිදී අන්තර්ජාතික මානව හිමිකම් හා මානුෂීය නීතිය උල්ලංඝනය කරන්නන් වගකීමට හසුකරන විශ්වාසදායී හා ස්වාධීන ක්‍රියාවලියක පැවැත්මේ වැදගත්කම එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයට නිරන්තරයෙන් ප්‍රකාශ කර ඇතැයි ද ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ඔවුන් මේ නිවේදනය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකාවට අදාළව රාජ්‍ය අමෙරිකා දෙපාර්තමේන්තුව නිකුත් කළ බව පැවසෙන කේබල් පණිවුඩයක් ගැන එක්සත් රාජධානියේ පුවත් මූලාශ්‍රයන්හි වාර්තා වී තිබීම සම්බන්ධයෙනි.

ඕනෑම රහසිගත තොරතුරක් නීති විරෝධී ලෙස අනාවරණය කිරීම එක්සත් ජනපදය දැඩි ලෙස හෙළාදකින බව සඳහන් එම නිවේදනයේ, පුවත්පත්වල පළවන ඕනෑම ලේඛනයක සත්‍ය අසත්‍ය බව ගැන කිසිවක් කිව නොහැකි බවද සඳහන් කර තිබේ. ඒ සමඟම කේබල් පණිවිඩවලට අදාළ ලේඛන මූලික හා අසම්පූර්ණ කරුණු අඩංගු එක්සත් ජනපද ප්‍රතිපත්තිය පිළිබිඹු කරන්නක් නොවන බවද ඉන් අවධාරණය කර ඇත. රජයේ උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම හා එහි නිර්දේශයන් ක්‍රියාත්මක කරන අන්තර් ඒජන්සි කමිටුවද ඉන් දැඩි ප්‍රසාදයට ලක්කර ඇත.


Tell a Friend