අරක්කු බොන්න සල්ලි දුන්නේ නෑ කියා පියාගේ කන සපා කාලා

අමිල ප්‍රභාත් වනසිංහ

බීමත්ව පියාගෙන් මුදල් ඉල්ලා එම මුදල් නොලැබීම නිසා කෝපයට පත්වූ තරුණ පුතකු පියාගේ කන සපා කා ඇතිබව ගල්කිරියාගම පොලීසිය කියයි.

මේ සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ගල්කිරියාගම අළුත්ගම පදිංචි 58 හැවිරිදි පුද්ගලයා මේවනවිට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධියට මුහුණ දුන් පුද්ගලයාගේ 29 හැවිරිදි පුත්‍රයා පසුගිය 24 වැනිදා ඔහුගේ නිවෙසට පැමිණ මත්පැන් පානය කිරීම සඳහා රුපියල් 5000ක මුදලක් ඉල්ලා ඇති අතර තමන් ළඟ මුදල් නොමැති බව පැවැසීම නිසා පුතා පියාත් සමඟ ගැටුමක් ඇතිකරගෙන තිබේ.

පසුව පියා නින්දට ගිය අවස්ථාවේ මුදල් නොදීම නිසා කෝපයටපත්ව සිටි පුතා ඇඳට පැන පියාගේ කන සපා කා ඇත. ඔහු සපාකෑමෙන් පියාගේ කනේ විශාල කොටසක් අහිමිවී ඇති බවද පොලිසිය කියයි.

කනේ කොටසක් අහිමිවූ පුද්ගලයාව දඹුල්ල - රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව රෝහල් පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඒ පිළිබඳව ගල්කිරියාගම පොලිසියට දන්වා ඇත. ඒ අනුව කන සපා කෑ තරුණයාව ගල්කිරියාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tell a Friend