පියා ඝාතනය කර දූවරුන් දෙදෙනා පැහැරගෙන

ත්‍රිරෝද රථ රියැදුරාගේ ඔත්තුවෙන් දියණියන් බේරා ගනී

චන්ද්‍රිකා පෙරේරා

රාගම ප්‍රදේශයේ පියෙකු ඝාතනය කැර තරුණ දූවරුන් දෙදෙනා පැහැරගෙන යමින් සිටියදී ත්‍රිරෝද රථ රියැදුරෙක් දුන් ඔත්තුවක් මත ඊයේ (08) අලුයම කඩවත පොලිසිය මගින් එම තරුණියන් මුදාගෙන තිබේ.

මියගිය පියාගේ දෙවැනි විවාහයේ බිරියගේ නැගණියකගේ පුතා හා ඔහුගේ යහළුවන් දෙදෙනෙක් මේ ඝාතනය සිදුකැර තරුණියන් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණ මගින් හෙළිව ඇත.

ඝාතනය සිදුකළ සැකකාර තරුණයන් මාර්ගයේ ඇති ත්‍රිරෝද රියක නැගී තරුණියන් පැහැරගෙන පලායන අවස්ථාවේ ත්‍රිරෝද රථ රියැදුරාට සැක සිතී තිබේ.

ඒ අනුව කඩවත ප්‍රදේශයේ ඉන්ධන හලකින් ඉන්ධන ලබා ගැනීමට යන මුවාවෙන් රථය නවතා රියැදුරා කඩවත පොලිසියට පැහැර ගැනීමේ සිද්ධිය පිළිබඳ දැනුම් දී ඇත. කඩවත පොලිසිය එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේ ඝාතකයන් වෙනත් රථයක නැගී පලාගොස් ඇති බව පොලිසිය පැවැසීය.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වු ඥාති තරුණයා මියගිය අයගේ නිවෙසේ පදිංචිව සිටි අයකු වන අතර පැහැර ගැනීමට ලක්වූ එක් තරුණියක සමඟ පේ‍්‍රම සම්බන්ධතාවයක් පැවැත්වීමට උත්සාහ කළ අයෙකු බව හෙළි වී ඇත.

තරුණිය ඔහුට අකමැත්ත පළකැර තිබෙන අතර පියා ද ඊට විරුද්ධ වී තිබේ. මේ සිද්ධියෙන් උරණව සිටි තරුණයා ඝාතනය සිදුකැර තිබෙන බවට පොලිසිය විශ්වාස කරයි.

සිද්ධිය වන අවස්ථාව වනවිට තරුණියන්ගේ කුඩම්මා (පියාගේ දෙවන බිරිය) නිවසේ සිටි බවද ඇය එහි එක් කොටසක පදිංචි වී සිටින බවද තරුණියන් පොලිසියට පවසා ඇත.

පැහැර ගැනීමට ලක්වූ තැනැත්තියන් වයස අවුරුදු 21 හා 22 වයස්වල පසුවන්නියන් වේ. Tell a Friend