කතු වැකිය: සති අන්ත විශේෂ ප්‍රකාශනය සහ අරමුණු

 අපි නීතියේ අධිපත්‍යක් ඇති සියලුදෙනාටම සාධාරණයක් ඉටු කිරීමට කොන්දක් තිබෙන අධිකරණ පද්ධතියක් කෙරෙහිද, පුද්ගලයාට තමන්ගේ මුලීක අයිතිවාසිකම් ඉටු කර ගැනීම සඳහා හැකි සමාජ ක්‍රමයක් වෙනුවෙන්ද පෙනී සිටින්නෙමු. මානව නිදහස වූ කලි ඉතා ගැඹුරු සංකල්පයකි. අපට විප්ලව කිරීමට නොහැකි බව දන්නා සේම වුවමනාවක්ද නැති බව පැවසිය යුතුය. නමුත් මර්ධනයේ උපරිමයට යටත් කොට ඇති සමාජයක ඊට එරෙහිව අපි අපේ ශක්තිය යොදන්නේ මානව නිදහසේ නාමයෙනි. නිදහස වූ කලි මර්ධනයෙන් තොර වීමයි.


කතු වැකිය

ශ්‍රී ලංකා ගාර්ඩියන් ඉංග්‍රීසි වෙබ් අඩවිය ආරම්භ කොට අවුරුදු තුනකට වඩා වැඩි කාලයක් ඉකුත් වී ඇත. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පෙරදැරි කරගෙන ආරම්භ කළ එය මේ වනවිට රටවල් විස්සකට වඩා වැඩි රටවල වෙසෙන ලේඛකයින් තමන්ගේ අදහස් පළ කරණ දිනපතා අන්තරජාල පුවත් පතක් වී තිබේ. එසේම අපගේ සිංහල වෙබ් අඩවිය මීට මාස දෙකකට පෙර නිල මට්ටමින් ආරම්භ කරනු ලැබුවේ දේශීය සහ විදේශීය රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් රැසක් කරනු ලැබූ ඉල්ලීමක් සහ එය කාලින අවශ්‍යතාවයක් ලෙස අප තේරුම් ගත් හෙයිණි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් තබා මානව නිදහසට මුලීක තැන දී ඊට ගරුත්වයක් ලබා දෙන තත්වයක් පවතින වත්මන් ආණ්ඩුව තුළින් කිසි ලෙසකින් නොපෙනෙන බව පැහැදිලි කාරණයකි. එසේම පැවති ආණ්ඩුද, නීතියට සහ යුක්තියට ඇති නිදහස කප්පාදු කරමින් මිනිස් ජීවිතයක වටිනාකම තිරිසනෙකුගේ තත්වයට ඇද දැමූ ආකාරයද අපි පිළිගන්නෙමු. දකුණේ තරුණ තරුණියන් 60,000 කට වඩා අතුරුදන් කළේ ඔවුහුය. මළ සොහොනක්වත් නැති ඔවුන්ගේ මතකයන් රැඳී ඇත්තේ නොලිය වුණු ඉතිහාසය තුළ පමණි. වත්මන් ආණ්ඩුව තුළින් පෙනෙන්නේ එහිම වර්ධනයක් මිස වෙන කිසිඳු ප්‍රගතියක් නොවේ.

අපේ සිංහල වෙබ් අඩවියේ විශේෂ අවස්ථාවක් ලෙස අපි සෑම සතියකම සඳුදා උදෑසන විශේෂාංග වලින් පමණක් සමන්විත විශේෂ ප්‍රකාශනයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වීමට ගන්නා පළමු උත්සාහය ලෙස මෙය දැක්විය හැකිය. අරමුණ තුළ ඇත්තේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සහ සමාජයේ සැබෑ ගැටලූ වෙනුවෙන් පෙනී සිටීමයි.

අපි කිසිඳු දේශපාලන සංවිධානයක හෝ වෙනත් රටක ක්‍රියාත්මක වන සංවිධාන වල කිසිඳු නියෝජනයක් හෝ න්‍යාය පත්‍රය ඉටු කිරීමක් නොකරණ බවත් තරයේ කියා සිටින්නෙමු. විස්වාශයක් බලෙන් පැටවිය නොහැකි වන්නා සේම එය බලෙන් පැටවීමේ වුවමනාවක්ද අපට නැත. එය ක්‍රමයෙන් මිනිස් මනස තුළ ගොඩ නැගෙන පළල් දෙයක් වන අතර එය සිදු විය යුත්තේ ඔබ තුළය. නමුත් අපි නීතියේ අධිපත්‍යක් ඇති සියලුදෙනාටම සාධාරණයක් ඉටු කිරීමට කොන්දක් තිබෙන අධිකරණ පද්ධතියක් කෙරෙහිද, පුද්ගලයාට තමන්ගේ මුලීක අයිතිවාසිකම් ඉටු කර ගැනීම සඳහා හැකි සමාජ ක්‍රමයක් වෙනුවෙන්ද පෙනී සිටින්නෙමු. මානව නිදහස වූ කලි ඉතා ගැඹුරු සංකල්පයකි. අපට විප්ලව කිරීමට නොහැකි බව දන්නා සේම වුවමනාවක්ද නැති බව පැවසිය යුතුය. නමුත් මර්ධනයේ උපරිමයට යටත් කොට ඇති සමාජයක ඊට එරෙහිව අපි අපේ ශක්තිය යොදන්නේ මානව නිදහසේ නාමයෙනි. නිදහස වූ කලි මර්ධනයෙන් තොර වීමයි.

වත්මන් පාලනාධිකාරිය විසින් මේ සියලුම මුලිකාංගයන් ඝාතනය කොට තිබෙන අතර සමාජය තුළ භීතය ව්‍යාප්ත කොට ඇත. එකී බිය වී සිටීම දේශප්‍රේමියත්වය යැයි හඳුන්වති. බ්‍රිතානයේදී මහජන මුදල් විනාශ කොට විලිලජ්ජාවට පත් වූ මෙරට නීතියටත් ඉහලින් සිටින නායකයා මෙරටට පැමිණ කියන්නේ තමන්ට සුද්දන් සැලකු ආකාරය වැරදි කියාය. බොරුව සමාජයේ සිදුවන ඇත්ත වූ විට මෙවැනි ප්‍රකාශ හැරෙන්නේට වෙනත් සත් පුරුෂ ගති ගැන සිහිනෙකින්වත් සිතිය නොහැකිය.

සළු පිළි වලින් පොරවාගෙන සිටින දුෂ්ටත්වයේ අක්ෂයන් විසින් මානව නිදහස සහ සාධාරණත්වය නැති කරමින් සිටින්නේ ඉතාමත් පහත් ආකාරයෙනි. මෙය ශාපලත් භූමියක් බවට පත් වී ඇත්තේ සමාජීය ක්‍රමයක් ඝාතනය කොට යුක්තියක් අතුරුදන් කොට ඇති හෙයිණි. එය යළි ස්ථාපිත කිරීමට තබා ඒගැන කතා කොට වාර්තා කර තැබීම හෝ ඉතා ප්‍රයෝජනවත් වන බව අපේ හැඟීමයි.

Tell a Friend