ඔක්ස්ෆර්ඩ් වෙනුවට හයිඩ් පාර්ක් තෝරාගැනීම

පෙළගැසෙමින් පවතින සමස්ත ක්‍රියාදාමය තුළින් පෙනී යන්නේ රාජපක්ෂගේ දේශපාලනය විසින් සමස්ත ලංකාවේ ගරුත්වය තෙවැනි පන්තියට ඇද දමා ඇති ආකාරයයි. ලෝකයේ සිටි බිහිසුනුම ත්‍රස්තවාදියා පරාජය කිරීම පිටුපස සැබෑ දායකත්වය ලබා දුන්නේ කවුරුන්ද යන්න යුද්ධයෙන් පසු එය තමන්ගේ බූදලයක් ලෙස අතටගත් රාජපක්ෂගේ වත්මන් වැඩපිළිවෙලින් දක්නට ලැබේ. මෙය විදේශ කුමන්ත්‍රණයක්ද එසේ නොවේනම් තමාගේ අනුවණකම් ජාත්‍යන්තර මට්ටමෙන් පෙන්නීමට ගොස් හොට බිම ඇන ගැනීමක්ද යන්න කාටත් තේරුම් ගැනීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ.


නිලන්ත ඉලංගමුව 


ලංකාවේ මෑත ඉතිහාසය තුළ සීමාව ඉක්මවා වීරත්වයට පත් වූයේත් සීමාව ඉක්මවා පච වීමට ලක් වූත් නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ මිස වෙන කිසිවෙකු නොවේ. බලය සමඟ ඉතා දුෂ්ට ආත්මාර්ථකාමී සෙල්ලමක නියැලුණු ජේ. ආර්. ජයවර්ධනවත් මේ තරම් පච වීමට ලක් වූයේ නැත. ඔහුට බටහිර සහ ලංකාවේ භූමි මටටමේ ඇති වන කලහකාරීත්වය විමසා බැලීමේ තුන් කල් නුවණක් තමන්ගේ අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා තිබුණි.

සිදු වී ඇති සියල්ලම දන්නා හෙයින් රාජපක්ෂට පවතින තත්වය වෙනස් කිරීමටනම් සුපුරුදු පරිදි තමන්ගේ මාධ්‍ය භාවිතා කරමින් සිංහලෙන් බොරු ගෙතිය හැකිය. සිංහලයින් ඉතා බුද්ධිමත් ජනතාව හෙයින් විදේශ කුමන්ත්‍රණ වලට හසු නොවන හෙයින්ද දේශය ත්‍රස්තවාදයෙන් බේරා ගත් නායකයා රැකීමට දිවි හිමියෙන් කැපවිය යුත්තේය; යැයි විමල් වීරවංශ වැනි යැපීම සඳහා රාජපක්ෂගේ දේශපාලන ගොන් කම් වලට බටර් තවරණ අයවලුන්ට තමන්ගේ පුද්ගලික සුඛ විහරණය සඳහා තමන්ගේ සිංහල මාධ්‍යය යොදා ගෙන ඉදිරි දින කිහිපයේදී නාඩකම් නැටිය හැකිය. විකිලීක්ස් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව ගැන ලියවුණු ලිපි ගොනු නිකුත් කිරීමටත් පෙර විකිලීක්ස් ගැන මහාචාර්ය වරයෙකු වූ වීරවංස වැනි අයවලුන්ගෙන් වෙනත් " දේශපාලනයක්" බලාපොරොත්තු විය නොහැකිය. එය සමාන වන්නේ යැපීම සහ දිවි ගලවා ගැනීම සඳහා යක්ෂයෙකුට යටත් වී අපායේ සිටින චුදිතයෙකුගේ විලාප හඬකට මිස වෙනත් කිසිවක් ඒ තුළ නැත. පුද්ගලිකව වාසි තිබිය හැකි නමුත් ඔවුහු පෙලෙන මානසික අරගලයට සීමා නැත.

මෙම ලිපිය ලියන මොහොත වන විට විකිලීක්ස් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කොට ඇති අදාල ලිපි ගොනු හතර අල්ලාගෙන රාජපක්ෂගේ ලැජ්ජාව වෙනතකට යොමු කිරීම සඳහා නාඩකම් නැටිය හැකි වටපිටවක්ද තිබේ. එනම් එහිදී මෙරට ඇමෙරිකානු තානාපතිවරිය, තම රාජ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති තොරතුරු වල සටහන් කොට ඇති ඇතැම් අයවලුන්ගේ නම් විශේෂයෙන් දෙමළ දේශපාලන ක්‍රියාකාරීන්ගේ නම් ආණ්ඩුවට සහ ඊට හිතැති මාධ්‍ය වලට සති කිහිපයක් යනතුරු එනම් රාජපක්ෂ ලන්ඩනයේදී මුහුණ දුන් අවුල නිසා හට ගත් හෝන්දු මාන්දුවීම පහවී යන තෙක් භාවිතා කළ හැකිය. මෙහි නියත ප්‍රතිපලය රාජපක්ෂ තව දුරටත් අන්තවාදියෙක් බවට පත්වීම සහ තමන් සිංහල හින්දු බමුණු මානසිකත්වයෙන් දෙමළ ජනතාව මට්ටු කළ ආකාරයෙන්ම සිංහල ජනතාව තවදුරටත් මට්ටු කිරීමට යොමු වීමයි. සැබවින්ම විකිලීක්ස් මේ දක්වා හෙළි කළ තොරතුරු වල සහ මීට මාස කිහිපයකට පෙර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලංකාව ගැන නිකුත් කළ වාර්තාව අතර කිසිඳු සැලකිය මට්ටමේ වෙනසක් නැත. ඊට ඌණපූරක වශයෙන් සිදු වී ඇත්තේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට තොරතුරු ලබා දුන් අය වලුන්ගේ නම් සටහන් වීම පමණි. එහි ඇති අනතුර වන්නේ නිවැරදි නීති ක්‍රමයක් තිබුණද එය නිසි ලෙස ක්‍රියාත්මක නොවන රටක සහ නීතියට ඉහලින් පුද්ගලයෙකු තබා තිබීමටත් හේතුවෙන් බිහිසුණු තත්වයක් ඇති වීමේ ඉඩ කඩ අඩු නැත. එසේම අදාල පුද්ගලයින් ලබා දුන් තොරතුරු බොරු බව ඔප්පුකිරීමට වඩා රාජපක්ෂ ගයන සුපුරුදු දේශද්‍රෝහී සින්දුව තවත් තීර්වකළ හැකිය. මන්ද ඒවායේ අසත්‍ය තොරතුරු නැති හෙයිනි.

නමුත් මෙවර රාජපක්ෂ කරගෙන ඇත්තේ ඔහු තමන්ගේ මිලිටරිය යොදා ගෙන මීට මාස කිහිපයකට පෙර සරත් ෆොන්සේකාට කළ දේ වෙනස් සහ සංකීර්ණ තත්වයකින් තමන්ට සිදු කර ගැනීමය. මෙවර රාජපක්ෂ ජනතාවගේ ( කොටි හිතවාදී හෝ කුමන හෝ චෝදනාවක් නැගිය හැකි නමුත් ඔවුහු නිරායුධ පිරිසකි) ගොදුරකි. පසුගිය ජනවාරි පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිපල නිකුත් වෙමින් තිබියදී කුමන්ත්‍රණයක් සිදුකිරිමට ජනරාල් ෆොන්සේකා උත්සහ කරන්නේයl කියමින් ඔහු නැවතී සිටි හෝටලය වටලනු ලැබීය. ඉන්පසු තමන් මැතිවරණය දිනා ඇති බව දැනුම් දීමෙන් පසු ඔවුහු නිදහස් කළ හෙතම ඉන් පසු ක්‍රමයෙන් විපක්ෂ දේශපාලකයින් සහ ඊට සහය වූ පිරිස් අත්අඩංගුවට ගෙන ඔවුහුට රාජ්‍ය විරෝධී චෝදනා නැගුහ. අධිකරණය හමුවේ ඒ කිසිවක් ඔප්පු කිරීමට නොහැකි වූ ආණ්ඩුව දිගු කාලීන හිංසනයකින් පසු ඔවුහු නිදහස් කළේය. ඉන් පසු අත්අඩංගුවට ගත් ජනරාල් සරත් ෆොන්සේකාට අධිකරණය නියෝග කොට තිබියදීත් ව්‍යායාම කිරීමට යන්ත්‍රක් ලබා නොදුන් රාජපක්ෂ පසුගියදා ජනරාල් උසාවියට ගෙනා රියදුරු සහ ජේලර්වරයාගේ වැඩ තහනම් කරනු ලැබීය. වරද ජනරාල් වරයාට මාධ්‍යට කතාකිරීමට ඉඩ දීමයි. මෙය සමාන වන්නේ මීට මාස කිහිපයකට පෙර ජනරාල් ෆොන්සේකාගේ බිරිඳට ආචාර කළේ යැයි එක්තරා හමුදා නිලධාරියෙකුට දඬුවම් කිරීමටය.

කදිම විහිළුවකි. මේ සියල්ල සිදුවන්නේ මහින්ද රාජපක්ෂගේ වුවමනාවට වඩා ගෝඨාබය රාජපක්ෂගේ වුවමනාවටය. ගෝඨාබය සමස්ත ලංකාවේ දේශපාලනය තමන්ගේ අල්ලට ගෙන ඇත්තේ මිලිටරිය තුළින් සදාකාලික විමුක්තිය ලැබේ යැයි සිතමින්ය. සිහින දකිමින්ය. මේ වනවිට හෝටලයක් ඇතුලට වී මහජනයාගේ බදු මුදල් නාස්ති කරන රාජපක්ෂගෙන් දෝර ගලා යන්නේ එකී අස්වැන්නයි. එය ලංකාවේ බිම් මට්ටම මත සිදු වීමට තවත් කල් ගත විය හැකි වුවත් එය එසේ නොවන්නේ යැයි හෝ මර්ධනය කළ හැකියි රාජපක්ෂ සිතන්නේ නම් එය විහිළුවකි. සැබවින්ම කළ යුත්තේ තමා අඩුවෙන් හෝ දන්නා රාජකාරිය අහවර කළේනම් තමන්ගේ ගරුත්වය රැකගෙන පැත්තකට වීම සහ තමන් නොදන්නා දේවල් වලට අත දැමීම නොවේ. එසේම මිලිටරිය වූ කලි රටේ වැදගත් එක පුරුකක් වුවද එය සියල්ලම නොවේය, යන්න තේරුම ගැනීම තමාට ප්‍රමාණවත් නුවණක් හෝ උවමනාවක් ආරක්ෂක ලේකම්වරයාට තිබේ නම් මේ වන විට තමන්ගේ සහෝදරට ලන්ඩන් නුවර හෝටලයකට වී ගැලවෙන මාවතක් සොයන්නේ නැත. රාජපක්ෂගේ දේශපලන නැග්ම තුළ මෙන්ම ඝාතනය තුළද සිටින ප්‍රධාන පෙළේ විත්තිකරුවෙකු වන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂයි.

මේ මොහොත වනවිට හෝටලයකට කොටු වී සිටින රාජපක්ෂ නීතියේ අධිපත්‍යක් ඇති රටක ස්වභාවය දැන්වත් තේරුම් ගන්නේ නම් වටින්නේය. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙන්ම විරෝධය දැක්වීමේ අයිතිය ගැන ඔහුටම අකමැත්තෙන් හෝ ඉගෙන ගැනීමට පාඩමක් ඔහුගේ ලන්ඩන් ගමනේ අස්වැන්න ලෙස තිබේ. මේ තුළ රාජපක්ෂගේ මානසික ස්වභාවය යොමු විය හැක්කේ පැන යාමට සහ හැංගීමට මිස වෙන කිසිවකට නොවේ. රාජපක්ෂ , ජනරාල් ෆොන්සේකාගෙන් වෙනස් වන්නේ මෙහිදීය.

ජනාධිපති ලේකම් විසින් ජනාධිපතිවරයා කිව්වේ යැයි කියන ඔක්ස්ෆර්ඩ් නැතිවුණද තම අදහස් දැක්වීමට වෙන තැනක් සොයමින් සිටිනවා යැයි කියන ඔහුට දැන් තෝරා ගැනීමට සිදු වී ඇත්තේ ලනඩනයේ හයිඩ් පාර්ක්ය. එය ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් ශබ්ද නගා කීමට ඇති ලෝකයේ පිහිටි තැන් වලින් එකකි. ඔබට අවශ්‍ය කිසිවෙකුට හෝ පරුෂ වචනයෙන් බැනීමටනම් එය එහිදී කිසිඳු පැකිලීමකින් තොරව කළ හැකිය. එපමණක් නොව තැනට නිරුවතින් සිට කීමට දෙයක් ඇත්නම් එයද කළ හැකිය. එසේ කියූ පසු ජාතික ආරක්ෂාවට හානි කළේ යැයි කියමින් හිරේ දමන්නේ නැත.

පෙළගැසෙමින් පවතින සමස්ත ක්‍රියාදාමය තුළින් පෙනී යන්නේ රාජපක්ෂගේ දේශපාලනය විසින් සමස්ත ලංකාවේ ගරුත්වය තෙවැනි පන්තියට ඇද දමා ඇති ආකාරයයි. ලෝකයේ සිටි බිහිසුනුම ත්‍රස්තවාදියා පරාජය කිරීම පිටුපස සැබෑ දායකත්වය ලබා දුන්නේ කවුරුන්ද යන්න යුද්ධයෙන් පසු එය තමන්ගේ බූදලයක් ලෙස අතටගත් රාජපක්ෂගේ වත්මන් වැඩපිළිවෙලින් දක්නට ලැබේ. මෙය විදේශ කුමන්ත්‍රණයක්ද එසේ නොවේනම් තමාගේ අනුවණකම් ජාත්‍යන්තර මට්ටමෙන් පෙන්නීමට ගොස් හොට බිම ඇන ගැනීමක්ද යන්න කාටත් තේරුම් ගැනීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ.

Tell a Friend