මාමා නමින් පෙනී සිටි අයෙක් විදුහලකින් දරුවන් දෙදෙනකු පැහැරගෙන යයි

දයානන්ද ජයනෙත්ති සහ මහිලාල් පද්මසූරිය

මතුගම - අගලවත්ත කලාප අධ්‍යාපන බල ප්‍රදේශයට අයත් බදුරලිය මගුර විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි එකම පවුලේ දරුවන් දෙදෙනකු පාසල් වෙලාව තුළදී දරුවන්ගේ මාමා නමින් පෙනී සිටි සැක කටයුතු පුද්ගලයකු විසින් පාසලට වැරදි තොරතුරු ලබාදී නීති විරෝධී ලෙස පැහැරගෙන ගොස්‌ තිබේ.

මෙසේ රැගෙන ගොස්‌ ඇත්තේ මගුර විදුහලේ දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ගීතා රන්ජනී සහ පළමු ශ්‍රෝණියේ ඉගෙනුම ලැබූ රාධ ක්‍රිෂ්ණ යන ගැහැනු සහ පිරිමි ළමයින් දෙදෙනෙකි. (අක්‌කා සහ මල්ලී)

පියාගේ කකුල කැපී රෝහල් ගතකර ඇති බව විදුහල්පතිවරයාට පවසා මෙම දරුවන් රැගෙන ගොස්‌ ඇත්තේ 1 වැනිදාය. පාසල ඇරී සුපුරුදු පරිදි දරුවන් ගෙදර නොපැමිණීම නිසා කලබලයට පත් වී ඇති දෙමාපියන් ඒ පිළිබඳව බදුරලිය පොලිසියට පැමිණිලිකර ඇත.

ඒ අනුව සිදුකළ පරීක්‌ෂණයේදී මාමා නමින් පෙනී සිටි පුද්ගලයා ළමයින් දෙදෙනා පාසලේ සිට බදුරලිය නගරයට රැගෙනවිත් දරුවන්ට අයිස්‌ක්‍රීම් අරන්දී පිරිමි දරුවා බදුරලිය නගරයේ ව්‍යාපාරික ස්‌ථානයක නතර කර ගැහැණු දරුවා රැගෙන පලාගොස්‌ තිබේ. පිරිමි දරුවා පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ගැහැනු දරුවා ගැන තවමත් තොරතුරක්‌ නැත. බදුරලිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරගෙන යයි. Tell a Friend