ඉන්දීය විදුලි සංදේශ ඇමැති ඉල්ලා අස්වෙයි

නවදිල්ලියේ දී – ඒ. එෆ්. පී

ඉන්දීය විදුලි සංදේශ ඇමැති පෙරේදා ඉල්ලා අස්විය. ජංගම දුරකතන සේවා ආයතනවල බලපත්‍ර ලබාදීමේ දී දූෂණ සිදුව ඇතැයි විමර්ශනයකින් හෙළිදරව් වීමෙන් පසු ඔහු මේ ක්‍රියාවට අනුගතව ඇත.

මේ අනාවරණයත් සම¼ඟ දින ගණනක් තිස්සේ විපක්ෂය ඔහු ඉල්ලා අස්විය යුතු බවට හඬ නැගීම නිසා අපහසුතාවට පත්වීමෙන් රජය වළකාලීම හා පාර්ලිමේන්තුවේ සාමය සමගිය සුරැකීම සඳහා විදුලිසංදේශ ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වන බව ඒ. රාජා ප්‍රකාශ කර තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීම අගමැති මන් මෝහන් සිංට බාර දී ඇත. ඉන්පසු ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමාගේ හෘදය සාක්ෂිය පිරිසිදු බවත් තමා රට වෙනුවෙන් විශාල මෙහෙයක් සිදුකළ බවත් ය.

2008 දී සෙල්ෆෝන් සඳහා දෙවැනි පරපුරේ සේවා ලබාදීමට වෙළෙඳපොළ අනුපාතයටත් අඩුවෙන් අනුමැතිය ලබා දී ඇතැයි ඔහුට චෝදනා එල්ල වී තිබිණ. ඉන් රජයට ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුව ඇති බව ප්‍රකාශිතය.

පාලක කොංග්‍රසයේ සහායක පක්ෂයක් වන ඩී. එම්. කේ. පක්ෂය ප්‍රකාශ කර ඇත්තේ ඔහු නිත්‍යානුකූලව කටයුතු කර ඇති බවය. ඔහු වරදක් කැර ඇතැයි නොපිළිගන්නා බව ද ඔවුන් කියා ඇත. රාජාගේ ඉල්ලා අස්වීමට බලපෑම් කළ විපක්ෂ භාරතීය ජනතා පක්ෂය ඔහුගේ ඉල්ලා අස්වීම ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් බව කියා තිබේ.

මේ අතර ඔහුගෙන් හිස් වූ ධූරය සඳහා අලුතින් යමකු පත්කිරීම ලබන ජනවාරියේ සිදුකරන කැබිනට් සංශෝධනය තෙක් අගමැති මන් මෝරන් සිං විසින් කල් දමා ඇතැයි සඳහනි. Tell a Friend