පෞද්ගලික සංචාරයකට ආ විදේශ යුවලක් රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගනී

පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ලෙබනන් ජාතික යුවලක් අද පෙරවරුවේ මහනුවර හෝටලයකදී රහස් පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ලෙබනන් ප්‍රජාතන්ත්‍රික තරුණ සංගමයේ සභාපති මොහොමඩ් හොටේට් මහතා සහ ඔහුගේ බිරිඳ මේ ආකාරයට අත්අඩංගුවට පත්ව ඇත. මැර ප්‍රහාරයට ලක් වූ හඳුන්නෙත්ති මහතාට පෞද්ගලිකව සිය කණගාටුව පළ කිරීම නිසා මෙම විදේශ ජාතික යුවල අත්අඩංගුවට ගෙන තිබේ.

ලෙබනනයේ පැවති විවිධ ජාත්‍යන්තර සංවිධානවල රැස්වීම් සඳහා සහභාගිවීමට ගිය අවස්ථාවලදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා හමු වී ඇති ඔහු හඳුන්නෙත්ති මහතා පෞද්ගලිකව හඳුනන අයකු බව පැවසේ.

ආණ්ඩුවේ මැරයින් විසින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට යාපනයේදී පහරදෙනු ලැබීමෙන් පසුව ඒ පිළිබඳ විරෝධතාවක් පසුගිය 16 වැනිදා කොළඹදී පැවැත් විණි. ඒ බව දැන ගැනීමට ලැබුණු මෙම විදේශ ජාතික යුවල උද්ඝෝෂණය පැවති ස්ථානයට පැමිණ සිය මිතුරාට කණගාටුව පළ කර තිබේ.

මොහොමඩ් හොටේට් මහතා සහ ඔහුගේ බිරිඳ ඊයේ සීගිරියේ සංචාරය කර ඇති අතර අද ඔවුන් දෙදෙනා මහනුවර සංචාරයක නිරත වීමට සැලසුම් කර සිටි බව පැවසේ. ඒ සඳහා ඔවුන් මහනුවර හෝටලයක නතර වී සිට ඇත. රහස් පොලිස් නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ එහිදීය. Tell a Friend