විමල්ගෙන් "ශ්‍රී ලංකා ගාර්ඩියන්" කතුවරයාට ප්‍රහාරයක්

ඉන්දියාවේ සහ ඇමෙරිකාවේ බුද්ධි අංශවල නියෝජිතයෙක් ලෙස හංවඩු ගැසීමේ සූදානමක්

උපුටා ගැනීම :- ලංකා නිව්ස් වෙබ්

නිවාස ඉදිකිරිම, ඉංජිනේරු, නිවාස සහ පොදු පහසුකම් පිලිබද අමාත්‍ය විමල් වීරවංස මහතා විසින් නඩත්තු කරන ප්‍රවෘත්ති වෙබ් අඩවිය විසින් ශ්‍රී ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියේ කතුවරයා වන නිලන්ත ඉලංගමුව ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කොට තිබේ.

විමල් වීරවංස මහතා ප්‍රකාශ කරන ආකාරයට අදාල කතුවරයා, ඉන්දියෙවේ රෝ ඔත්තු සේවයෙන් සහ ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවයෙන් නඩත්තු වන අයෙකු වන අතර හෙතම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය හානි කිරීමෙහිලා විශාල කාර්යභාරයක් කරන්නෙකු ලෙස කටයුතු කරණු ලබයි. අල් ජසීරා නාලිකාව විසින් මෑතකදී ලංකාවේ සිදු වූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් විකාශය කළ වීඩීඕ පටය සඳහා හෙතම දායකත්වය දී ඇති බව වාර්තා වන බව එහි සඳහන් කොට තිබේ.

නිලන්ත ඉලංගමුව විසින් පසුගියදා ලංකා නිව්ස් වෙබ් අඩවියට සහ ලංකා ගාර්ඩියන් වෙබ් අඩවියට ලියු ලිපිය (link) මඟින් ලංකාව තවත් අවුරුදු 200 ක කාලයක්වත් බි්‍රතාන්‍යට යටත් වුවහොත් අඩු තරමින් මුලික නීතියක් ක්‍රියාත්මක වන තැනට තල්ලු විය හැකි බවත් ජනාධිපති රාජපක්ෂ පිස්සු කෙලින්නෙකු බවත් සඳහන් කොට තිබුණි. එසේම ජනාධිපතිවරයාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය ගැන සඳහන් කරණ කතුවරයා එය ශ්‍රී ලංකික නාසි වාදයේ ආරම්භය යැයි සඳහන් කොට ඇත. ජනාධිපතිවරයා ජනවර්ග අතර ඛෙදීම් ඇති කොට ඇති බව කියන හෙතෙම රටක් ගොඩනැගීමට තිබු අවස්ථාව නැති කොට දමා ඇතියි සඳහන් කරන්නේ ජනාධිපතිවරයා බියගුල්ලෙකු බව සඳහන් කරමිනි.

මේ අතර ලංකා නිව්ස් වෙබ් අඩවිට දුරකථනය ඔස්සේ අදහස් දක්වූ නිලන්ත ඉලංගමුව කියා සිටියේ, අදාල ප්‍රතිචාරය ගැන තමන් පුදුම නොවන බවයි. "ආණ්ඩුව බොරුවට මවාගෙන සිටින සළු පිලි ඉවත් කළාම පේන ඇත්ත තමයි ඕක. ඒක කොහොමත් තිත්තයි. අදාල ඇමතිවරයා යැපීම සඳහා කරණ දේශපාලනය තුළ ගොතනු ලැබූ බොරුව මේක විතරක් නෙමෙයි. අපි හොඳාකාරවම දන්නවා ඔහුගේ බර කිලෝ තුනකින් අඩු කළ මාරාන්තික උපවාසය පටන් ගැනීමට පෙර පොලිසිය එකසත් ජාතීන්ගෙන් පගාව ගත් බවට තමන් සතුව සාක්ෂි තියෙනවා යැයි ප්‍රකාශ කළ අපූරුව. එහෙව් අයෙක් මෙවැනි පට්ටපල් බොරු ඇද බෑම ගැන පුදුම විය යුත්තේ නැහැ. තමන්ගේ අණුවන කම් වලට අපි මොනවා කරන්නද,?"

එසේම, "එය ඉතාම සරලයි. අඩු තරමින් වසර 200 ක් බ්‍රිතාන්‍යට ආපසු යටත් විය යුතුයි කියන එක වැරද්දක් නැහැ. මන්ද වත්මන් ආණ්ඩුව යුක්තියට ඇති සියලු ඉඩ ප්‍රස්ථා සුනු විසුණු කරමින් සිටිනවා. අඩුම වශයෙන් මුලික නීතියක් හැමදෙනාටම සමාන මට්ටමකින් ක්‍රියාත්මක විය යුතු වට පිටවක් අවශ්‍ය වී තිඛෙනවා. එහෙම දෙයක් කිරීමට හැකි පිරිසක් ලංකාවේ දේශපාලනය තුළ නැහැ. ඉන්න පිරිසට එන්න නොදී හිරේ දානවා, ඔලු පලනවා. තවත් වසර කිහිපයකින් මේ ගෙනියන පට්ට පල් බියගුළු බොරුව මුලික කරගත් පාලනයේ හෙළුව තේරෙන විට අපි ජාතියක් ලෙස පරක්කු විය හැකියි." යැයි හෙතම වැඩිදුරටත් සඳහන් කළේය.

Tell a Friend