ලංකාව කැසිනෝ රාජ්‍යයක් - මංගල සමරවීර

මහින්ද චින්තන වැඩපිළිවෙල ඉදිරිපත් කරමින් මහින්ද රාජපක්ෂ 2005 දී බලයට පත් වූයේ සුරාවෙන් සහ සූදුවෙන් තොර නව ශ්‍රී ලංකාවක් ගොඩ නගන බවට ජනතාව හමුවේ දිවුරා පොරොන්දු දීමෙන් බව සිහිපත් කළ යුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඊයේ (11) කොළඹ දී ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ 07 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක මාධ්‍ය ඒකකයේ පැවති පුවත් පත් සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා මෙසේ ද පැවසීය.

කෙසේ නමුත් එසේ බලයට පත් වී අවුරුදු 5 කට පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය දෙවන ජනාධිපතිවරණ ධූර කාලය සැමරීමට සූදානම් වන්නේ මතට තිත යන සංකල්ප සියල්ල ඉවත ලා අපේ රටේ කැසිනෝ රාජ්‍යයක් ගොඩ නගා බව කිව යුතුයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සූදු මධ්‍යස්ථානයක් බවට පත් කෙරෙන සූදූ විශේෂ විධි විධාන පනත මේ ආණ්ඩුව මහා සංඝරත්නය ප්‍රධාන සර්ව ආගමික නායකයින්ගේ විරෝධතා මධ්‍යයේ හිතුක්කාරී ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සම්මත කළා.
මේ සූදු විශේෂ විධිවිධාන පනත සම්මත කර ගැනීමත් සමඟ දේව කෝපයක් ඇති සිදු වූවා සේ මහා ධාරානිපත වර්ෂා ඇද වැටී මුළු පාර්ලිමේන්තුවම ගං වතුරෙන් යට වී ගියා.

අග්‍රාමාත්‍ය දී. මු. ජයරත්න සහ සුසිල් පේ්‍රමජන්ත අමාත්‍යවරයා ඇතුළු රජයේ නියෝජිත පිරිසක් ද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන විපක්ෂයේ නියෝජිත පිරිසක් ද මහා සංඝයාවහන්සේ ප්‍රධාන සර්වාගමික නායකයින් පිරිසක් ද නුගේගොඩ ශ්‍රී නාලන්දාරාමයේදී සිකුරාදා (05) හමු වූ අවස්ථාවේදී මේ පනත ඉදිරිපත් කිරීම කල් දැමීමට ක්‍රියා කරන බව දි. මු. ජයරත්න අග්‍රාමාත්‍යවරයා පැහැදිලිව පොරොන්දු වුණා.

සර්ව ආගමික නායකයින්ට දුන් ඒ පොරොන්දුව අමු අමුවේ උල්ලංඝණය කරමින් ආණ්ඩුව මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට හිතුවක්කාරී ලෙස සම්මත කළා.

මේ තත්ත්වයෙන් හෙළි වන්නේ මහා සංඝයාවහන්සේ ප්‍රධාන සර්වාගමික නායකයින්ටත් වඩා මේ ආණ්ඩුවට බලපෑම් කළ හැකි බලවතුන් පිරිසක් සිටින බවයි.

ඇත්ත වශයෙන්ම ආණ්ඩුව සූදු විශේෂ විධි විධාන පනත ඉදිරිපත් කොට සම්මත කළේ සිය ජාත්‍යන්තර ජාවාරම්කාර හාම්පුතුන්ගේ වුවමනාවට බව මේ වන විට කරුණු හෙළි දරව් වී තිබෙනවා. මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමටත් ප්‍රථම නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ විවෘත කිරීමට යන කැසිනෝ ව්‍යාපාරයක් ගැන තොරතුරු ජාත්‍යන්තර වෙබ් අඩවි ගණනාවක පළවීම ඊට හොඳම උදාහරණයයි.

කොළඹහදවතේ ආරම්භ කෙරෙන කැසිනෝව ‘’ෆී ගෲප්‘ සමාගමේ සුපුරුදු සුඛෝපභෝගීත්වයෙන් යුතු බවත් රුලේට්, බ්ලැක් ජැක්, ඩැකරාට්, ආදී සෙල්ලම් ගණනාවක් එහිදී කළ හැකි බවත් ඒ සඳහා අවශ්‍ය වන අවම මුදල යූරෝවක් බවත් ‘’ෆී ගෲප්‘ කැසිනෝ සමාගමේ වෙබ් අඩවියේ ශ්‍රී ලංකා නැමැති පිටුවේ පැහැදිලිව සඳහන් වී තිබෙනවා.
පැය 24 පුරාම මේ කැසිනෝව විවෘත කර තිබෙන බවත් විශේෂ අමුත්තන් සඳහා විශේෂ සැළුන් තිබෙන බවත් එහිදී ඇමරිකානු ඩොලර්, යූරෝ, සහ රුපියල් ද භාවිත කළ හැකි බවත් පැහැදිලිව සඳහන් වීමෙන් හෙළි වන්නේ මේ කැසිනෝ විදේශිකයන්ට පමණක් විශේෂ කලාපවල ආරම්භ කරන බවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ අසත්‍ය බවයි.

මේ කැසිනෝ ව්‍යාපාර විවෘත වන්නේ ආණ්ඩුව කිව්ව පරිදි විශේෂ කලාපවල විදේශිකයන් සඳහා නොව කොළඹඅග නගරයේ බව අන්තර්ජාල තොරතුරු ඔස්සේ මේ වන විට මනාව හෙළි වී තිබෙනවා.

කැසිනෝ මෙහෙයුම ශ්‍රී ලංකාවේ සිදු කිරීමට යන ‘’ෆී ගෲප්‘ සමාගම හඳුන්වන්නේ ‘ජන්කට්’ මෙහෙයුම්කරුවන් වශයෙන් වන අතර ඒ අය කරන්නේ ලෝකය පුරා කැසිනෝ සූදුවට ඇබ්බැහි වූ අය සියලූ පහසුකම් සලසා මුදලට රටෙන් රටට ගෙන යමින් සූදු කෙලීමට සැලැස්වීමයි.

කැසිනෝවට ඇබ්බැහි වූ මේ අයට සෑම අවශ්‍යතාවයක්ම ඒ සමාගම සලසන බවට කරන ප්‍රකාශයෙන් හෙළි වන්නේ ඒ සමාගම සපයන සේවය කැසිනෝවට පමණක් සීමා නොවී ජාත්‍යන්තර ගණිකා සේවාවන් ද ක්‍රියාත්මක කරන බවයි.
ඇත්ත වශයෙන්ම විදේශ සංචාරකයන් විශාල පිරිසක් සංචාරය කරන ලෝකයේ දියුණු රටක් වන සිංගප්පූරුව ද කැසිනෝ ව්‍යාපාරයට ඉඩ දුන්නේ ඉතාම මෑතකදී බව කිව යුතුයි. සිංගප්පූරු පාර්ලිමේන්තුව සම්මත කළ ඒ කැසිනෝ ව්‍යාපාර සම්බන්ධ පනත මගින් අපේ පනත වගේ ගමක් ගමක් ගණනේ කැසිනෝ ව්‍යාපාර සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ.

මුළු සිංගප්පූරුවටම තිබිය යුත්තේ කැසිනෝ සමාගම් දෙකක් පමණක් බව සිංගප්පූරුවේ කැසිනෝ ව්‍යාපාර සම්බන්ධ පනතේ පැහැදිලිවම සඳහන් වනවා. ඒ කැසිනෝ ව්‍යාපාර ද ජාත්‍යන්තර වශයෙන් බොහොම විනි විද භාවයෙන් යුතුව ටෙන්ඩර් කැඳවා රටට වැඩිම ආදායමක් එන පරිදි පිළි ගත් අයට පැවරිය යුතු බව ද සිංගප්පූරු රජය තීරණය කර තිබෙනවා.
කැසිනෝ ව්‍යාපාර පාලනය කිරීම සඳහා සිංගප්පූරුව ඒ පණත මගින් විශේෂ අධිකාරියක් ද පිහිටුවා තිබෙන බව කිව යුතුයි. මේ කැසිනෝ ව්‍යාපාර මෙහෙයුම්කරුවන් ඉතාම විධිමත්ව පාලනය නොකළහොත් ඒ අය හරහා සැලසුම්ගත ජාත්‍යන්තර මාෆියාව සිය රටට ඇතුළු වීමට ඉඩ තිබෙන බව සිංගප්පූරු රජය පැහැදිලිව අනතුරු හඟවා තිබෙනවා.
නමුත් අපේ ආණ්ඩුව සිය දෑතම දිගු කොට ජාත්‍යන්තර සැලසුම්ගත මාෆියාව ශ්‍රී ලංකාවට කැඳවා තිබෙන බව පැහැදිලිව කිව යුතුයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව සහ කොළඹනගරය ජාත්‍යන්තර සූදු මධ්‍යස්ථානයක් බවට පත් වනවා පමණක් නොව ජාත්‍යන්තර ජාවාරම්කාරයින්ගේ මධ්‍යස්ථානයක් බවට ද පත් වනවා.

ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ පාලනය ක්‍රියා කරමින් සිටින්නේ කැසිනෝ ඔස්සේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සූදු සහ ජාවාරම්කාරයින්ගේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටයි. පාතාල ලෝකය ගෙන්වා රට, ජනතාව අපකීර්තියට පත් කර හෝ සිය නාස්තිකාරී වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න ක්‍රියා කිරීමෙන් හෙළි වන්නේ මේ ආණ්ඩුවේ බංකොලොත් භාවයයි.
‘’ෆී ගෲප්‘ ශ්‍රී ලංකාවට කැඳවාගෙන එන්නේ කවුරුන්ද? මේ සංස්කෘතිය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද නැතිනම් ඊට වඩා ඉහළ අයෙකුද?

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අප ප්‍රශ්න කරද්දී කට උත්තර නැතිව සරත් අමුණුගම නියෝජ්‍ය අමාත්‍යවරයා වාඩි වෙද්දී සජින්ත වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් ඉතාම කලබලයට පත්ව ක්‍රියා කළා.
මේ කැසිනෝ ව්‍යාපෘතිය පිටුපස සිටින මුල් පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වහාම රටට කරුණු හෙළි කළ යුතුයි. Tell a Friend