අක්‌කා-මලෝ රාගමදී දුම්රියට බිලිවෙති

රිචඩ් ජී. සිල්වා

දුම්රියක්‌ එනු නොදැක, දුම්රිය මාර්ගයට පිවිස ඇති මල්ලිව, දුම්රිය මාර්ගයෙන් ඉවතට ඇද ගැනීමට වෙර දැරූ අක්‌කාද, ධාවනය වෙමින් තිබූ එම දුම්රියේ හැපීමෙන් දෙදෙනාම එම ස්‌ථානයේදී ජීවිතක්‍ෂයට පත්වීමේ, සිද්ධියක්‌ (16 දා) උදෑසන රාගම ප්‍රධාන දුම්රිය හරස්‌ මාර්ගයේදී සිදුවිය.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියක හැපීමෙන් සිදුවූ මෙම අනතුර (16 දා) උදෑසන 9.45 ට පමණ රාගම නගර මධ්‍යයේ දුම්රිය හරස්‌ මාර්ගයේදී සිදුවිය. මෙම සිද්ධියෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ රාගම ඉහළගම විසූ "නාවල කංකානමගේ නිරෝෂණී (38) සහ නාවල කංකානමගේ දිලීප (28) නමැති අක්‌කා මලෝ දෙදෙනකු බව රාගම රෝහල් පොලීසියේ ස්‌ථානාධිපති පො. සැ. හේමන්ත අමරතුංග මහතා පැවසීය.

මියගොස්‌ ඇති දෙදෙනාගේ පියා විශ්‍රාමික දුම්රිය රියෑදුරෙකි. රාගම දුම්රිය ස්‌ථානයේ දෙවැනි වේදිකාවට පැමිණීම සඳහා එම දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රිය. ඈත සිටම දුම්රියේ නලාව හඬවමින් පැමිණියද එය නොඇසුණු මල්ලී දුම්රිය මාර්ගයට පිවිස ඇති නිසා ඔහු බේරා ගැනීමට යාමෙන් අක්‌කාද දුම්රියේ ගැටුණු බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. රාගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. Tell a Friend