රටේ දියුණුවට මුස්ලිම්වරුන් ලබා දුන් දායකත්වය අතිමහත්

හජ් උළෙලට ජනපතිගෙන් සුබ පැතුම්

ශ්‍රීලංකාවේ මුස්ලිම් ජනතාව රටේ දියුණුවටත්, ජනතාවගේ එකමුතුබවටත් සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ශත වර්ෂ ගණනාවක සිට මුස්ලිම් ජනතාව අනෙක් ජන කොටස් සමඟ සංහිඳියාවෙන් ජීවත් වෙමින් සිටින බව අදට (17) යෙදී තිබෙන ඊද් – උල් - අල්හා උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටී.

එම පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ, මේ උත්සවය උදාවන්නේඉස්ලාම් විශ්වාසය තුළ දක්නට ලැබෙන පරිත්‍යාගයේ හරය බඳු ප්‍රතිමුර්තිය ලෙස සලකමින් ඉතා උනන්දුවෙන් මොවුන් ගතින් හා සිතින් සම්බන්ධ වන පූජනීය හජ්ජි වන්දනාව අවසන් වන විටය. මේ වසරේ දී ශ්‍රී ලංකාවේ වන්දනාකරුවන් හය දහසකට ආසන්න ප්‍රමාණයක් මක්කම පූජනීය නගරයේ හජ්ජි වන්දනාවේ නියැළෙනු ඇත.

විවිධ භාෂා කතා කරන, විවිධ ජාතීන්ට හා සංස්කෘතීන්ට අයත් දස ලක්ෂ සංඛ්‍යාත වන්දනාකරුවන් දේවත්වය සහ දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය යන එකම පණිවුඩය ප්‍රකාශ කරන්නේ හජ්ජි උළෙලේ සමගියේ ජීව ගුණය ද සංකේතවත් කරමිනි. මේ සමගියේ ජීව ගුණය ඔවුන්ගේ ජීවිතය පුරා පැවතිය යුතු අතර එය පුළුල් වශයෙන් මානව සහෝදරත්වයේ නාමයෙන් වෙනත් ආගමික බැතිමතුන් වෙතට ද දැක්විය යුතුය.

මෙම සමගිය තුළින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අපේ රටේ දියුණුවටත්, අපේ ජනතාවගේ එකමුතුබවටත් සැලකිය යුතු දායකත්වයක් සිදු කොට තිබේ. මාතෘ භූ®මියේ අභිවෘද්ධියට දායක වෙමින් මොවුහු ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ ද දැන් ද ලංකාවේ වෙනත් ජන කොටස් සමග සංහිඳියාවෙන් ජීවත් වෙමින් සිටිති.

ත්‍රස්තවාදී බලපෑම් නිසා උතුරෙන් පිටුවහල් කරන ලද මුස්ලිම් ජනතාව නැවත එහි පදිංචි කිරීමට ක්‍රියා මාර්ග ගැනෙමින් තිබෙන අවස්ථාවෙහි මෙම වසරේ හජ්ජි උත්සවය සැමරීම මගේ විශේෂ සතුටට කරුණකි. මෙය දැන් රට පුරා පැතිර පවත්නා සාමය සංකේතවත් කරමින් ඔවුන් වරක් ජීවත් වූ සාමය හා එකමුතු බව මධ්‍යයේ ඔවුන්ට නව ජීවනයකට මග පෙන්වන සංහිඳියාව සඳහා වූ පියවරකි.

අද දින විශේෂ ආගමික වතාවත්වල යෙදෙන සියලු මුස්ලිම් ජනයාගේ යාඥා නිසැකයෙන් ම සැමට ගෞරවනීය සාමයක් ඉදිරියටත් පතමින් කෙරෙන්නක් වනු ඇති බව නොඅනුමාන ය. අපේ සියලුම මුස්ලිම් සහෝදර ජනතාවට මම ප්‍රීතිමත් හා සාමකාමී ‘ඊද් මුබාරක්’ ප්‍රාර්ථනා කරමි. Tell a Friend