උදුල්ට නිදහස් විය හැකි මඟ!

  ටික්කාගේ කොලම

අන්න බොලේ; පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අන්තර් විශ්විවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු උදුල් මේවන විට රදවා ඇත්තේ බොරුල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ බරපතල අපරාධකරුවන් රදවා තබන කොටසේ බව වාර්තා පල වී තිබුණි. ආණ්ඩුවට කොටි සංවිධානය නැති වුන එකේ වන්දිය උදුල් වැනි අයට ගෙවීමට සිදු වීම ස්වභාවිකය. පෙරේදා (29) රාත්‍රී උදුල් ප්‍රේමරත්න මහතා බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඔහු රදවා තබා ඇත්තේ සාමාන්‍ය සකකරුවන් රදවා තබන අයි කොටසේය. නමුත් ඊයේ දිනයේදී එස්.බී. දිසානායක මහතා ඔහු බරපතල අපරාධකරුවන් රදවා තබන ජේ කොටසේ රදවා තබන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කර තිබේ.

එස්. බි. ට අනුව අදාල සැකකාර චුදිතයා, හරකෙකි. මේ නිසා අදාල හරක් එලවා දමා හෝ කැම්පස් එක හදන බව එස් බී. කියයි.

නමුත් අපි මෙහිදී උදුල් ගැන කතා කිරීම වටී. උදුල්ට ශිෂ්‍ය අරගල කිරීමට වඩා රාජපක්ෂ සමඟ එකතුවීම සඳහා අවස්ථාව තිබේ. කළ යුත්තේ, මාධ්‍ය ඉදිරියට පැමිණ තමන් ජවිපෙ සමඟ එකතු වී ආණ්ඩුවේ උත්තුංග පරමාර්ථය වන නිදහස් අධ්‍යාපනය වැනසීම සඳහා කුමන්ත්‍රණය කළ බව පැවසීමය.

එසේ කීමෙන් ලැබෙන ආනිසංස බොහෝය. එකක් තමන්ට කැමති වරම් ඉල්ලා ගත හැකිය. රටක් සංවර්ධනය කිරීම යනු මිලිටරිය ශක්තිමත් කිරීමක් යැයි, සිතාගෙන සිටින නොහොත් මිලිටරියෙන් විමුක්තිය සහ ගෞරවය සොයන විශ්‍රාමලත් ලුතිනන් කර්නල් ගෝඨාබයගෙන්, තමන්ගේ ආරක්ෂාවට විශේෂ බලඇණියක් ඉල්ලා ගත හැකිය. එසේම ගෝඨාබයටත් වඩා යුද්ධය ගැන දන්නා, සේම නිලයෙන් උසස් කර්නල් කරුණා අම්මාන් සේම තනතුර ගැන නොදන්නා නමුත් කේ. පි වැනි ලෝකයේ පළමු පෙලේ " අපරාධකාරයන් " ( හැබැයි රාජපක්ෂටනම් ඉල්ලම් ) සමඟ ඉඳ හිට හෝ සතුටු සාමිච්චියේ යෙදිය හැකිය.

ඉතින් උදුල් ඔබ එසේ රාජපක්ෂ කරණය වුව හොත්, ආචාර්ය මර්වින් සිල්වා ඉදිරියේ වලිගය අදෝ ප්‍රදේශයේ සඟවා ගත් බලු පැටවුන් සේ හැසිරෙන පොලිසියේ අය ඔබ ඉදිරියේද එසේ හැසිරෙනු ඇත. එසේම ඔබටද බර කිලෝ තුනක් අඩු කර ගැනීම සඳහා මාරාන්තික උපවාසයක් කොට, නිදහස් අධ්‍යාපනය සුරකින මහින්ද චින්තනයට පොඩි අතල් එකක් ලබා දිය හැකිය. එහිදී ඔබේ උපවාසය කඩාකප්පල් කිරීමට පොලිසියේ අයියලා එකසත් ජාතීන්ගෙන් පගාව ගෙන පැමිණිය හොත් ඔවුන් එලවා දැමීමට එක දුකථන ඇමතුමකින් මිලිටරියෙන් විමුක්තිය හොයන අර අහවල් ලේකම්තුමාට හැකි වනු ඇත. ඉතින් උදුල් මෙහෙම භුක්ති විදින්න තියන සුන්දල ජීවිතයක් අත්හරින්නේ මන්ද? ඔය කැමති නැද්ද ඒගොල්ලෝ එක්ක රවුමක් යන්න. රජාගෙන් හූනියම් කරපු තැඹිලි බොන්න කවුද අකමැති උදුල්!
Tell a Friend