නැව ගිලුනත් බෑන් චූන් රජාට රජ සැප: දෙවැනි ගමන සැමරීමට රුපියල් කෝටි 500

එජාපය උත්සවය වර්ජනය කරයි

හෙණ ගහන වැසි ඇදහැලෙන ලකුණු


රුපියල් කෝටි 500කට අධික ජනතාවගේ මුදල් වැයකොට හෙට (19) පවත්වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවය වර්ජණය කිරීමට එක්සත් ජාතික පක‍ෂය තීරණය කොට තිබේ.
අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබාගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. එස්නානායක මහතාගේ පදවි ප්‍රාප්තියත්, ජනාධිපතිවරුන් ලෙසපත් වූ ජේ.ආර්., ප්‍රේමදාස, ඩීබී විෙජ්තුංග සහ චන්ද්‍රිකා කුමාරතුංගත්, මහින්ද රාජපක්ෂගේ පළමු පදවි ප්‍රාප්තියත් සැලකිල්ලට ගත් විට ඒ වෙනුවෙන් අති විශාල ලෙස ජනතාවගේ මුදල් නාස්ති නොකර චාම් උත්සව පැවැත්වූවත්, මෙවර ජනාධිපතිගේ පදවි ප්‍රාප්තියට කොළඹ ඇතැම් පාසල් වසාදමා විභාග නවත්වා, රජයේ කාර්යාල මෙන්ම පෞද්ගලික අංශයේ ද කාර්යාල වසා දමා, පාරවල් වසාගෙන ජනතාව මහත් පීඩනයකට පත්කොට විශාල ලෙස ජනතාවගේ මුදල් නාස්තියක් කිරීම ගැන ප්‍රජතාන්ත්‍රවාදී පක‍ෂයක් ලෙස එජාපයට ඇස් කන් පියගෙන සිටින්නට බැරි බව අද (18) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එජාප නියේජ්‍ය නායක කරු ජයසූරිය මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරූ ජයසූරිය මහතා මෙසේද පැවසීය.

බොහෝ කරුණු කාරණා මත පදනම්ව රටත් ජනතාවත් ගැන සිතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි පදවි ප්‍රාප්ති උත්සවය වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළා.

විදේශීය ආධිපත්‍යයෙන් ශ්‍රී ලංකාව නිදහස් කොට ගත් මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේත්, දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේත් දිවංගත ජනාධිපති රණසිංහ පේ්‍රමදාස මහතාගේත් දිවංගත ජනාධිපති ඩී. බී. විජේතුංග මහතාගේත් චන්ඬිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ද පළමු පදවි ප්‍රාප්ති උත්සව පැවැත් වුණේ ඉතාම චාම්ව මහජන මුදල් නාස්ති නොකර ජනතාවට කරදර හිරිහැර නොවන අයුරිනුයි.
ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝණය කරමින් පැවැති ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණ ආදිය ද මැතිවරණ කොමසාරිස්වරයා ජනාධිපතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ද මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි පදවි ප්‍රාප්ති උළෙල සදහා අති විශාල මහජන මුදල් සම්භාරයක් නාස්ති කෙරෙන අතර ඒ උත්සවයෙන් ජනතාවට විවිධ පීඩා එල්ල වී තිබෙනවා.
ජනතාව මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අපට කරුණු ඉදිරිපත් කරන විට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයට ඇස් පියා ගෙන සිටීමේ හැකියාවක් ඇත්තේ නැහැ.
ජනාධිපති පදවි ප්‍රාප්ති උත්සවය හේතුවෙන් සමහර පාසැල් වසා වාර විභාග කල් දැමීම හේතුවෙන් දෙමාපියන් විශාල පීඩනයකට පත්ව සිටිනවා. සමහර රජයේ ආයතන සේම පෞද්ගලික ආයතන ද වසා තිබෙන අතර ඇතැම් මහා මාර්ග ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තිබෙනවා.
17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඝාතනය කිරීමත් සමඟ යහ පාලනය කඩා වැටී රාජ්‍ය සේවය සහ පොලිස් සේවය ඇතුළු සියලූම මහජන සේවා දේශපාලනීකරණය වුණා.
මේ තත්ත්වය යටතේ ඒක පාර්ශවික රාජ්‍ය තන්ත්‍රයක් නිර්මාණය වී තිබෙන තත්ත්වය හමුවේ රජයට විරුද්ධව මත ප්‍රකාශ කිරිම, පෝස්ටර්, බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීම, පෙළපාලි සංවිධානය කිරීම, ජෝතීර්වේදීන්ට අනාවැකි පළ කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වී තිබෙනවා.
කර්තෘවරුන් ප්‍රධාන ජනමාධ්‍යවේදීන් ගණනාවක් ඝාතනය වී තවත් බොහෝ පිරිසකට මැර ප්‍රහාර සහ තර්ජන එල්ල වී සමහරුන් පැහැර ගැනීම් ආදියට ලක් වී ඇතත් ඒ සම්බන්ධයෙන් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණ සිදු නොවීම මේ තත්ත්වයට හොඳම උදාහරණයයි.
මහා සංඝරත්නය ප්‍රධාන සර්වාගමික නායකයින් පවා සිය විරෝධය පළ කරද්දී, ඒ කිසිවක් නොතකා සූදු විශේෂ විධි විධාන පනත ඉදිරිපත් කොට සම්මත කර ගැනීම මේ ආණ්ඩුවේ දරදඩු භාවයට හොදම උදාහරණය බව කිව යුතුයි.
යුද්ධය අවසන් වුණාට පසුව රට සංවර්ධනය වී බඩු මිල අඩු වී සහන සැලසේවි යැයි ජනතාව අතර තිබූ බලාපොරොත්තු සියල්ල මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙනවා.
යුද්ධය අවසන් වී ඇතත් සීනි සඳහා පනවා ඇති බද්ද 500% කින් ද, අර්තාපල් මත පනවා ඇති බද්ද 300% කින් ද ලොකු üණු මත පනවා ඇති බද්ද 250% කින් ද පරිප්පු මත පනවා ඇති බද්ද 700%කින් ද වැඩි වී ඇති අතර සැමන් ටින් එකක් සඳහා රුපියල් 85ක බද්දක් ගසා තිබෙනවා.
තිරිගු පිටි ත්‍රස්තවාදයක් ගැන කතා කරමින් තෙවේලම බත් කන්නැයි ආණ්ඩුව ජනතාවට කියා සිටිත් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තු වාර්තා අනුව 2006 දී සහල් කිලෝ 436 ක් පරිභෝජනය කළ පවුලක් මේ වන විට පරිභෝජනය කරන්නේ ඒ සංඛ්‍යාවෙන් 36% ක් අඩුවෙනුයි.
එදා සිට කොළඹනගරයේ පදිංචිව සිටින අඩු ආදායම් ලාභී පාරම්පරික ජනයා ඒ අයගේ ඒ පාරම්පරික වාස භඣමියෙන් බලහත්කාරයෙන් ඉවත් කොට ඒ ජනයා කොළóන් ඈත පදිංචි කරවා ජීවන රටාව උඩු යටිකුරැ කිරීමට ආණ්ඩුව දරණ උත්සාහය අප තරයේ හෙලා දකිනවා.
එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් රටත් ජනතාවත් බේරා ගැනීමට සිය දිවි පරදුවට තබා ඇප කැප වී ක්‍රියා කළ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා රෝගී තත්ත්වයෙන් බන්ධනාගාර රෝහල් ගතව සිටින මේ මොහොතේ පවා එතුමා නිදහස් නොකිරීම අප හෙළා දකිනවා.
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහාත සිය කාර්යාලයේ සිටියදී ඔහු ඇද ගෙන ගොස් සිර ගත කළ සිද්ධිය අපට තවමත් මතකයි.
ලෝකයේ හොඳම සහ දක්ෂතම යුද හමුදාපතිවරයා වශයෙන් ආණ්ඩුවම එදා හැදින් වූ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා දේශ ද්‍රෝහියෙකු වශයෙන් හංවඩු ගසා මෙසේ අඛණ්ඩව එතුමාගෙන් පළි ගන්නේ ඇයි?
මේ සියලූ තත්ත්වයන්ට හේතුව එතුමා අපේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කිරීම වන අතර එතුමා වෙනුවෙන් කථා කිරීමට අපට යුතුකමක් වගකීමක් සහ අයිතියක් තිබෙනවා.
අප මේ සියලූ උත්සව සහ සැනකෙළි පවත්වන්නේ ද රාත්‍රියට බියෙන් සහ සැකයෙන් තොරව සැනසීමෙන් නිදා ගන්නේ ද සරත් ෆොන්සේකා මහතා ප්‍රධාන වීරෝධාර රණවිරුවන් සිය දිවි පරදුවට තබා ඇප කැප වී ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරමින් ජය ගත් නිසයි.
කෙසේ නමුත් ඒ අභීත සෙන්පති සරත් ෆොන්සේකා මහතා පී. 022032 අංකය යටතේ සිර ඇඳුම් ඇඳ ගෙන දුක් විදිද්දී ත්‍රස්තවාදයට එදා අනුබල දුන් අය මේ මොහොතේ රජ සැප විඳීම ඇත්ත වශයෙන්ම ඉතාම කණගාටුදායකයි.
මේ රටට ජාතික නිදහස දිනා දුන් පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, යුක්තිය සහ සාධාරණය වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දී ජය ගැනීමට සූදානම් බව කිව යුතුයි.
ඊළඟ පරපුර වෙනුවෙනුත් නූපන් අනාගත පරපුර වෙනුවෙනුත් එක්සත් ජාතික පක්ෂය සිය යුතුකම සහ වගකීම ඉටු කිරීමට සැදී පැහැදී සිටිනවා.

එහිදී අදහස් දැක් වූ මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා -
මීට අවුරුදු 5 කට ප්‍රථම මේ වගේම දිනක මෙවැනිම මොහොතක මම මාතර සිට පැමිණ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස අරලියගහ මන්දිරයට ගොස් එතුමාව බදා ගෙන සිප ගත්තා. එමෙන්ම එතුමා ද ඒ අවස්ථාවේදී මාව තදින් වැඳගෙන සිප ගත්තා මට මතකයි.
දින්නත් දිනුම් – පැරදුනත් දිනුම් කියා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගත් මහින්ද රාජපක්ෂ මහතා නූලෙන් මේ රටේ පස් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත් වූයේ ජනතාව අතර බලාපොරොත්තු රැසක් ඇති කරමින් බව කවුරුත් දන්නවා.
සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස මහින්ද චින්තනය ඉදිරිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා මේ රටට ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී සහ ආර්ථික වශයෙන් සමෘද්ධිමත් වූ යුගයක් උදා කරන බවට පොරොන්දු වූවා පමණක් නොව තමා මේ රටේ නායකයා හෝ ජනාධිපතිවරයා නොව ජනතාවගේ දූ දරුවන්ගේ අනාගතයේ භාරකරුවා පමණක් යැයි ද කියා සිටියා.
කෙසේ නමුත් මේ පස් අවුරුද්දෙන් පසුව නැවත හැරී බලන විට අපට තේරුම් යන්නේ මහින්ද චින්තන ප්‍රකාශනය යනු මේ රටේ දේශපාලන ඉතිහාසයේ යම් දේශපාලන නායකයෙකු හෝ දේශපාලන පක්ෂයක් ඉදිරිපත් කළ මහ ඓතිහාසිකම ප්‍රේඩාව බවයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මේ පස් අවුරුදු පාලන කාලය අපට සැලකිය හැක්කේ දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකරමින් මායාව, පේ‍රා්ඩාව සහ මිත්‍යාව ඔස්සේ රට පාලනය කළ කාලයක් ලෙසයි.
ජනතාවගේ දරු දැරියන්ගේ අනාගතයේ භාර කාරයා බවට පත් වන්නේ යැයි ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ යැයි ද ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තව තවත් ශක්තිමත් කරන්නේ යැයි ද පොරොන්දු වී බලය ලබා ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බුරුමයේ මිලිටරි ජුන්ටාව යන අඩි පාරේ ගමන් කරමින් විධායක ජනාධිපති ධූරයට ඕනෑම වාර ගණනක් තරග කළ හැකි අයුරින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අමු අමුවේ ඝාතනය කරමින් ඒ සියලූ බලතල සියතට ගත්තා.
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා මෙසේ සිර ගත කොට තබා ගෙන සිටින්නේ එතුමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ බව අපට වඩා හොඳට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සහ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාගේ හෘද සාක්ෂිය දන්නා නිසයි.
මේ ආණ්ඩුව මිථ්‍යාව සහ පේ‍රා්ඩාව ඔස්සේ ජනතාව ගොනාට අන්දවා රට පාලනය කරන බව හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයෙන් තව තවත් පැහැදිලි වනවා.
ආණ්ඩුව කියන පරිදි හම්බන්තොට වරායට ජෙට් ලයිනර් නැමැති නෞකාව පැමිණි බව අප කවුරුත් දන්නවා. නමුත් ආණ්ඩුව මේ පම්පෝරි ගසන ජෙට් ලයිනර් නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට ප්‍රථම මම ඒ නෞකාවට ගියා. ඒ අපේ හිටපු මන්ත්‍රීනී උපුලාංගනී මාලගමුව මහත්මියගේ දුවගේ විවාහ මංගල්‍යය මේ කියන පුංචි නැව් කෑල්ලේ පැවැති අවස්ථාවේදීයි. මේ කියන නෞකාව විවිධ උත්සව අවස්ථා වෙනුවෙන් ඕනෑම අයෙකුට කොළඹවරායට ගොස් කුලියට ගත හැකි බව කිව යුතුයි.
මේ අතර ප්‍රදීපා 2 නැමැති නෞකාව දඬු මොනරකුගේ විලාසයෙන් නිර්මාණය කිරීමෙන් අනතුරුව හම්බන්තොට වරායට පැමිණෙන බව ආණ්ඩුව කියනවා. ඒ නැව දඬු මොනරකුගේ විලාශයෙන් නිර්මාණය කිරීම සඳහා කොළඹවරාය එක්තරා පුද්ගලයෙකුට රුපියල් කෝටි 3 ක් ලබා දී තිබෙනවා.
හම්බන්තොට වරාය ජාත්‍යන්තර වරායක් බවට ආණ්ඩුව කියන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මම කියනවා. හම්බන්තොට වරාය යනු ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර ඉදි කෙරුණු සුදු අලියෙකු වැනි වරායක් බව කිව යුතුයි.
හම්බන්තොට වරායට ජාත්‍යන්තර නැව් ගෙන එන්න අවශ්‍ය වන ජාත්‍යන්තර රක්ෂණ ආයතනයන්හි සහතිකය තිබෙනවා දැයි ආණ්ඩුවෙන් මම ප්‍රශ්න කරනවා.
ඇත්ත වශයෙන්ම හම්බන්තොට වැනි ප්‍රදේශයක ජාත්‍යන්තර වරායක් ඉදි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ යටිතල පහසුකම් ඇත්තේ නැහැ. එසේ තිබියදී එවැනි ප්‍රදේශයක මෙබඳු වරායක් ඉදි කිරීම මහ අපරාධයක් බව කිව යුතුයි.
මේ තත්ත්වය යටතේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු පස් අවුරුදු පාලන කාලය අවසන් වන්නේ වේලූපිල්ලේ ප්‍රභාකරන්ගේ කොටි ත්‍රස්තවාදය වෙනුවට රාජපක්ෂ පවුලේ ගජ මිතුරු ත්‍රස්තවාදයෙන් මුළු රටම පීඩානයට ලක් කරමිනුයි.

එහිදී අදහස් දැක් වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා -
මර්වින් සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා මුස්ලිම් ජාතීන්ගේ හජ් උත්සවය සැමරීමට ඒ ජනතාවට ඉඩ නොදී පෑලියගොඩ, වත්තල, අක්බාර් ටවුන් සහ හුණුපිටිය යන ප්‍රදේශයන්හි විශාල භීෂණයක් ඇති කරමින් ඒ ජනතාවට අසාධාරණයක් කළා.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හජ් උත්සවය වෙනුවෙන් මුස්ලිම් ජනතාවට සුබ පතමින් පණිවුඩ නිකුත් කරද්දී මර්වින් සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ඒ උත්සවය කඩා කප්පල් කිරීමට ක්‍රියා කිරීමේ පදනම කුමක්ද?
මේ තත්ත්වයෙන් හෙළි වන්නේ ආණ්ඩුව මුස්ලිම් ජනතාවගේ අයිතීන් උල්ලංඝණය කරමින් ජාතිවාදී ගැටුම් නිර්මාණය කිරීමේ යෙදී සිටින බවයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි පියවර නොගත්තොත් ඊට එරෙහිව මුස්ලිම් ජනතාව පෙළ ගැස්සවීමට අපට සිදු වනවා.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු නිල කාලය අවසන් වන විට රටේ උද්ගත වී තිබෙන්නේ මෙබඳු තත්ත්වයක් නම් දෙවන නිල කාලයේදී කුමක් සිදුවේවිද කියා සිතා ගත හැකියි.

Tell a Friend