විදර්ශනා: ඇයට උරුම වූ ලෝකය

බීමත්ව පැමිණි විට ඔහු කුමක් කරන්නේද කියා ඔහු වත් නොදන්නා බව විදර්ශනා විසින් දැන සිටින ලදි. එහෙත් ඇය දරු දෙදෙනා වෙනුවෙන් සියල්ල ඉවසුවාය. මේ වන විට ඇය තුන් වෙනුවත් ගැබ් ගත්තාය. මෙය හොඳ ආයුධයක් කරගත් ඔහු විදර්ශනා ගෙදරින් සදහටම පන්නන ලදි. දරුවා ඔහුගේ නොවන බවත් ඇය වෙනත් සම්බන්ධයක පැටලී ගැබ්ගෙන ඇති බවත් ඔහු තරයේ ප්‍රකාශ කරන ලදි. මුළු මහත් සමාජයටම මෙය ඒත්තු ගැන්විය. විදර්ශනා තනි වූවාය.

හර්ෂි සි. පෙරේරා විසිනි

යමක් කමක් ඇති පවුලක පවුලේ දෙවනියා ලෙස උපන් විදර්ශනා බෙහෙවින්ම රූමතියකි. කුඩා කල සිටම දෙමාපිය ආදරය මැද හැදී වැඩුනු තරුණියකි. පාසල් වියේ බැඳි ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස සිය (අයියාගේ) සහෝදරයාගේ ව්‍යාපාර වල වැඩ කළ තරුණයකු හා ගෙදරට හොර රහසේ පැන ගියාය. මෙම විවාහයට ඇයගේ පවුලේ උදවිය විරුද්ධ වූවා සේම ගෙදරට භාර නොගන්නට, සිය සොයුරා දැඩි ස්ථාවරයක සිටින ලදි. නමුත් විදර්ශනා සිය සොයුරාට දැඩිව බැඳී උන්නාය. කිහිප විටක්ම, තම ප්‍රේම සම්බන්ධයට අවවාද දුන් සොයුරා හට ඕන වුනේ ඇයට හොඳින් උගන්වා ලොකු නෝනා කෙනෙක් කරන්නටය. ඒවන විටත් ඇය උසස් පෙල සමත්ව සිටියාය. එහෙත් ඔහුගේ එම සිහිනය බොඳ වුයෙන් ඇයව දැඩි සේ පිළිකුල් කරන්නට විය.

විදර්ශනා ඔහුත් සමඟ ඔහුගේ ගම් ප්‍රදේශය වූ ඇඹිලිපිටියට පැමිණියාය. ඔහුගේ මහ ගෙදර ඉඩමේම කොනක පැලක් අටවා ගත් ඔවුන්, ඉතා දුක සේ ජීවත් වූ අතර , ඇය පැතූ ලෝකය ඇයට අහිමි කරමින් ඔහු ගමේ වෙනත් ස්ත්‍රියක් සමඟ සම්බන්ධකම් පවත්වන්නට විය. මේ වන විට ඈ ගැබිණියකි. සියල්ල දැන සිටි ඇය , මේ සියල්ල විඳ දරා ගැනීමට පුරුදු විය. දරුවා ප්‍රසූත වීමෙන් පසුවත්, මේ තත්වය දිගටම තිබුනු අතර ඔහු ඇයට අඩම්තේට්ටම් කරමින් ඇයගේ මව්පියන්ගෙන් මුදල් ගෙනෙන්නටයි බල කරන්නට විය. මේ කරදර ඉවසා ගත නොවනු තැන ඇය සිය දෙමාපියන් වෙත ගියාය. අයියා ඇය එලවා ගත මුත් මව ඇයට අයියාට හොරෙන් උදව් පදව් කරන ලදි. දෙවන දරුවාත් ලැබීමෙන් පසු අඟ හිඟකම් එන්න එන්නටම වැඩි විය. ඒ හා සමානව ස්වාමියාගේ ගුටි බැටද වැඩිවන්නට විය. ඔහු තව තවත් ස්ත්‍රීන් ඇසුරු කරන්නටත් වෙනත් දුරාචාරයන්හි යෙදෙන්නටත් පටන් ගෙන තිබුණි.

සිය සොයුරියට තනිවට යයි කියා විදර්ශනා පාසල් යන නැඟනියද නිවෙසෙහි නතර කර ගත්තාය. දිනක් ස්වාමියා තම නැඟනිය සමඟ එකම ඇඳෙහි සිටිනවා දුටු විදර්ශනා වහා කලබල වී නැඟනිය සිය මහ ගෙදරට පිටත් කර හැරියාය. ඒ වන විටත් තම නැඟනිය ඔහුගෙන් අනාතව සිටින ලදි. විදර්ශනා මේ බව කිසිවෙකුටත් නොකීවා සේම නැඟනියද පසු කලකදී වෙනත් කෙනෙකු සමඟ විවාහ විය.

ස්වාමියාගේ වෙනස්කම් හා ආර්ථීක අපහසුතා ඉවසන්නට බැරිව දරුවන් දෙදෙනා සමඟ තනිවූ විදර්ශනා කොළඹ පැමිණ දෙහිවල ප්‍රදේශයෙන් ඇඟළුම් කම්හලක රැකියාවක් කරන්නට තීරණය කළාය. දරු දෙදෙනා ස්වාමියාගේ මව භාරයේ තැබූ ඇය තනිව දෙහිවල පැමිණියාය. රැකියාවට යමින් සිටි ඇයව අහේතුකව සැක කරන්නටත් ගුටි බැට දෙන්නටත් සුපුරුදු පරිදි සැමියා විසින් අත් නොහරින ලදි. බීමත්ව පැමිණි විට ඔහු කුමක් කරන්නේද කියා ඔහු වත් නොදන්නා බව විදර්ශනා විසින් දැන සිටින ලදි. එහෙත් ඇය දරු දෙදෙනා වෙනුවෙන් සියල්ල ඉවසුවාය. මේ වන විට ඇය තුන් වෙනුවත් ගැබ් ගත්තාය. මෙය හොඳ ආයුධයක් කරගත් ඔහු විදර්ශනා ගෙදරින් සදහටම පන්නන ලදි. දරුවා ඔහුගේ නොවන බවත් ඇය වෙනත් සම්බන්ධයක පැටලී ගැබ්ගෙන ඇති බවත් ඔහු තරයේ ප්‍රකාශ කරන ලදි. මුළු මහත් සමාජයටම මෙය ඒත්තු ගැන්විය. විදර්ශනා තනි වූවාය. ඉතා දුකසේ කොළඹට වී ඇය රැකියාවට ගියත් අනෙක් දරු දෙදෙනා මතක් වී ඇය හීල්ලූවාය. අවජාතකයකු බිහි කරනවා යයි මුළු සමාජයම ඇයව කොන්කරන්නට විය. මේ වන විට ඇය ක්‍රම ක්‍රමයෙන් දරු ප්‍රසූතියට ලං වූවාය. සිය බෝඩිමේදීම දරුවා ප්‍රසූත කෙරුනු අතර තනිවම සියළු කටයුතු කරගත් ඇය තම බිලිඳා දෙහිවල ප්‍රදේශයෙන් කුණු ඇලකට වීසි කරන ලදි. පසුව පොලීසියට හසුවූ මළ දරු සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කරගෙන යන අතර වාරයේ අධික රුධිර වහනය හේතුවෙන් විදර්ශනා කළුබෝවිල රෝහල් ගත වූවාය. එහි සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වී මිණී මැරුම් චෝදනාව සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ ඇයට නඩු පැවරිණි.

පොලිස් පරීක්ෂණ ආරම්භ විය. අධිකරණ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගන්නා ලදි. මේ වන විට ඇයට නීතිඥ මහතකු හෝ පෙනී සිටින්නට නැත. බන්ධනාගාර ගතව සිටියදී ඉඳහිට සිය මව හැරුනු විට වෙන කිසිවකුත් බලන්නට නොආවාය. ඇය බෙහෙවින්ම තනිවූ අතර මානසික තත්වයද එන්න එන්නම නරක අතට හැරුනි. මෙසේ කල්ගතවන විට වෛද්‍ය වාර්තාව ප්‍රමාද වී ලැබුණි. වෛද්‍ය වාර්තාව අනුව නිදොස් කොට නිදහස් කෙරුනි. බන්ධනාගාරයෙන් ඇයව මුදා හරින ලදි. ඇය අද වන විට කොහි යන්නට ඇද්දයි නොදනිමි.

පසු සටහන :-

විදර්ශනා ගැබිනියකව සිටියදී ඇයට වැදූගෙයි සන්නිය හෙවත් පූර්ව ප්‍රසව අවනතිය නැමති සුළු මානසික රෝගය වැලඳී ඇත. මෙයට හේතු වුනේ ඒ වන විට ඇයට තිබුනේ දැඩි පීඩනයකින් යුතු වූ වටපිටාවයි. ඒ තත්වය දිගින් දිගටම තිබියදී දරු ප්‍රසූති අවස්ථාවේ උත්සන්න තත්වයට පත්ව ඇය සිහිවිකල්ව ඇත. මෙහිදී දරුවා සමඟ වෛරයක් ඇතිවී ඇය දරුවා විසි කලාය. ඇගේ වාසනාවට එම දරුවා මළ දරු උපතක් ලෙසට සිදුව ඇත. දරු ප්‍රසූතියට පෙර දරුවා වැදූ ගෙයිම මිය ගොස් සිටි බැවින් ඇයට මිණී මැරීමේ චෝදනාවෙන් නිදහස් වන්නට හැකි විය. එහෙත් නීතිඥවරයකු හෝ නොසිටි බැවින් අධිකරණ වෛද්‍ය වාර්තාව වඩාත්ම ප්‍රමාද විය. වෛද්‍ය වාර්තාව ඉක්මනින් ලබාගැනීමට එහි සිටින සේවකයන්ට මුදල් ගෙවන්නට සිදුවේ. එම හේතුවෙන් විදර්ශනාට වැඩි කාලයක් රක්ෂිත භාරයේ පසුවන්නට සිදුවුනි. රක්ෂිත භාරයේ සිටියෙදී පවා ඇයගේ සුළු මානසික රෝගය හදුනානොගත් නමුත් ඒ සඳහා ප්‍රතිකාර නොලැබුනි. ඇය බොහෝ සේ බිය වන්නටත් කදුළු සලන්නටත් එකම දේ නැවත නැවත කියන්නටත් පටන් ගත්තාය. මෙවැනි පසු බිමක් යටතේ බන්ධනාගාර ගත වන ඇයට වෛද්‍ය ප්‍රතිකාරත්, විශෝධනයත්, උපදේශනයත් ලබා දිය හැක්කේ කාහට දැයි ගැටලුවක් සේම සමාජය දැන් ඇය කෙලෙස පිළිගනීදැයි යන ප්‍රශ්නයද තවමත් ඉතුරුව ඇත. 


Tell a Friend