රනිල් ළඟ තියෙන්නේ වැසිකිළි කුමන්ත්‍රණ

සී. නන්ද මැතිව් ඌව පළාත් ආණ්ඩුකාර 

සාකච්ඡා කළේ  ටී. චන්ද්‍රසේකර
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු, කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයකු, ක්‍රියාකාරී කමිටු නියෝජිතයකු, ලෙස වසර 39 කට අධික කාලයක් කටයුතු කරමින් එම පක්ෂ පාලනය යටතේ ප්‍රබල අමාත්‍යධූර රැසක් හෙබ වූ වත්මන් ඌව පළාත් ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතා සමඟ දිනමිණ කළ සාකච්ඡාවකි මේ.


* 18 වැනි සංශෝධනයෙන් පළාත් සභාවලට යම්කිසි බලපෑමක් ඇති වෙනවාද ?
18 වැනි සංශෝධනයෙන් නම් පළාත් සභාවලට කිසිම බලපෑමක් සිදුවන්නේ නැහැ. 17 වෙනි සංශෝධනය අවුරුදු ගණනාවක් අපේ ව්‍යවස්ථාවේ තිබුණානේ. ඒ සංශෝධනයෙන් බලාපොරොත්තු වූ කිසිවක් සාර්ථක වුණේ නැහැ. මොකද විපක්ෂය ඊට අවශ්‍ය නම් ටික කතානායකට ඉදිරිපත් කළේ නැති නිසායි එහෙම වුණේ.
අඩු තරමින් ව්‍යවස්ථා මණ්ඩලයවත් පත්කර ගන්න බැරි වුණා. ඒ නිසා 17 වැනි සංශෝධනයේ අඩුපාඩු හුඟාක් තිබුණා. ඒකත් හදිසියේ සංශෝධනය කරගත් එකක්. 18 වැනි සංශෝධනයෙන් ඒ අඩුපාඩු සියල්ල මගහැරී සාර්ථක වෙනවා. ව්‍යවස්ථා මණ්ඩලයට නිශ්චිත දිනයට කලින් විපක්ෂය හෝ කවුරු හෝ නම් එවිය යුතුයි.
එසේ නම් ලබානොදුන්නොත් කතානායකට පුළුවන් ඒ පත් කිරීම කරන්න. අනෙක මෙහි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නමත් නැහැ. මේ ධූරය දරන ඕනෑම පුද්ගලයෙකුට අවුරුදු දෙකකට වඩා ඉල්ලන්න බලය තියෙනවා. මහජන කැමැත්ත තියෙනවා නම් ඕනෑතරම් කාලයක් බලයේ ඉන්න පුළුවන්.
මමත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නිසා මට මතකයි ජේ. ආර්. ජයවර්ධන මහත්මයා ඡන්දයක් නොතියා පාලන කාලය දීර්ඝ කර ගන්න හැදුවා. ඒක කරගන්න බැරි වුණා. නමුත් මේකට තුනෙන් දෙකක ඡන්දයක් ලැබිලා තියෙනවා.

* 18 වැනි සංශෝධනය ක්‍රියාත්මක වීමත් සමඟ පළාත් සභා සමගාමි ලැයිස්තුව අහෝසිවන බව කියවෙනවා. එහෙම වුණොත් මධ්‍යම රජය හා පළාත් සභා අතර බලය පිළිබඳ ගැටුම් ඇතිවෙන්න පුළුවන් නේද ?
18 වැනි සංශෝධනයේ එහෙම දෙයක් සඳහන් වෙලා නැහැ. අපි දන්නවා පළාත් පාලන පනත වෙනස් කරන්න යනවා ඒක වෙනම දෙයක්. නමුත් මේ සංශෝධනයෙන් පළාත් සභා බලතල කිසිවක් අඩුවෙන්නේ නැහැ.

* හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට යුද අධිකරණය මගින් දඬුවම් කිරීම වැරැදියි කියලා එජාපයත්, ජවිපෙත් පවසනවා මේ පිළිබඳ ඔබේ අදහස
ඒ පක්ෂ දෙකට පසුගිය මැතිවරණයෙන් විශාල පරාජයක් අත්වුණා. අද ඒ අයට එල්ලෙන්න වැලේ වැල් නැතිව ඉන්නේ. ගිලෙන මනුස්සයෙක් පිදුරු ගහක් හරි අල්ල ගන්නවා වාගේ අද එජාපයයි ජවිපෙයි මේක අල්ලගෙන ගොඩඑන්න උත්සාහ කරනවා.

* ෆොන්සේකාගේ පාර්ශවයේ අය ඔහුට සමාව ලබා ගැනීමට උත්සාහ කරන බවක් පේන්නට නැහැ නේද ?
විශේෂයෙන් සමාව ඉල්ලන්න ඉදිරිපත් වෙන්න ඕනෑ ෆොන්සේකාගේ බිරිය හා දරුවන්. ඒ අය තම සැමියා, පියා බේරාගන්න උනන්දු විය යුතුයි. නමුත් මට පේන විදිහට ෆොන්සේකාගේ භාර්යාවට එවැනි උනන්දුවක් නැහැ. අනෝමා ෆොන්සේකාගේ නෑදෑයින්ගෙන් ඇසුවොත් කියාවි අනෝමා ෆොන්සේකාට නියම නිදහස ලැබිලා තියෙන්නේ දැන්. මොකද එතුමිය ඒ කාලයේ හිරගෙදරක ඉන්නවා වගේ ජීවිතයක් ගත කළේ.

* සරත් ෆොන්සේකාට යුද අධිකරණය ලබාදුන් තීන්දුව අසාධාරණයි කියලා විපක්ෂය වගේම ඇතැම් භික්ෂූන් වහන්සේලාත් පවසනවා.
මේකට කලින් රිචඩ් උඩුගම හිටපු යුද හමුදාපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ඩඩ්ලි සේනානායක මහත්තයාගේ ආණ්ඩුව පෙරළන්න හැදුවා කියලා එදා ඒකට කිව්වේ වැසිකිළි කුමන්ත්‍රණය කියලා එදා පිටරට හිටපු රිචඩ් උඩුගම හිටපු යුද හමුදාපතිවරයාව මෙරටට ගෙන්වලා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන අවුරුදු තුනක් ම වැලිකඩ බන්ධනාගාරයේ රඳවලා හිටියා. පසු කාලයක නඩුවෙන් නිදහස් වුණා.ඒක වෙනම දෙයක්.
අවුරුදු තුනක්ම වැලිකඩ බන්ධනාගාරයේ ඉන්නකොට කවුද ආවේ. ? මේ භික්ෂූන් වහන්සේලා ආවාද ? කවුරුත් ආවේ නැහැ. හැමෝ ම නිහඬව හිටියේ. ෆොන්සේකා යුද හමුදාපතිව සිටියදී සෙබළුන් හා උසස් නිලධාරීන් පන්දහස් ගණනක් මේ යුද අධිකරණවලට යොමු කරලා දඬුවම් කළා කව්ද කතා කෙරුවේ ? මේ රට වෙනුවෙන් යුද්ධයට ඉදිරිපත් වූ තරුණයන්ට විරුද්ධව තීන්දු දුන්නා කියලා ස්වාමීන් වහස්සේලා අනෙකුත් ආගමික නායකයින් එළියට ආවාද ? කවුරුත් ආවේ නැහැ.

* සරත් ෆොන්සේකාට යුද අධිකරණය ලබාදුන් තීන්දු වලංගු නැතිනම් එතුමා හමුදාපති කාලයේ ඒ යුද අධිකරණයෙන් ලබාදී තිබෙන තීන්දු වලංගු වන්නේ කොහොමද ?
යුද අධිකරණ තීන්දුවේ වලංගු අවලංගු භාවය ගැන කතාකරන මේ නීතිඥයන් ඇයි එදා ඒ ගැන කතා නොකළේ ? ඔහු පන්දහස් ගණනකට දඬුවම් කරන විට නිහඬව හිඳලා ඇයි එක් පුද්ගලයෙක් වෙනුවෙන් පමණක් දැන් ඉදිරිපත් වෙන්නේ?

* යුද අධිකරණ තීන්දුවත් පදනම් කරගෙන සරත් ෆොන්සේකාගේ මන්ත්‍රීධූරය අහිමි කිරීම වැරැදියි කියලා සමහර නීතිඥයන් කියනවා. ඔබ ඒක දකින්නේ කොහොමද ?
මේ යුද අධිකරණයත් අපේ නීති පද්ධතියට සම්බන්ධ එකක්. ඒවා මේ රටේ නීතියට අනුව පිහිටුවන ලද ඒවා ඒ නිසා ඒවා. අපි පිළිගන්න ඕනෑ. යුද අධිකරණයෙන් දීපු තීන්දුවත් මේ රටේ නීතියට සම්බන්ධ වෙනවා.

* මේ යුද අධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වෙලා නැති නිසා එය පිළිගන්න බැහැ කියලා සමහර නීනිඥයින් පවසනවා.
මීට කලිනුත් යුද අධිකරණය මගින් තීන්දු දුන්නානේ එහෙනම් ඒවා විතරක් වලංගු වුණේ කොහොමද ? ඇයි මේ එක් පුද්ගලයෙක් ගැන විතරක්ම කතා කරන්නේ ? මේ රටේ ඉන්නේ මෝඩ ජනතාවක් නොවෙයි. ෆොන්සේකා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ විදේශීය අවශ්‍යතාවක් මතයි. මේ අය ජනාධිපතිතුමාගේ රජය කඩාකප්පල් කරන්නයි හැදුවේ. එහෙම ඒ තීන්දුව වැරැදි නම් ඉහළ අධිකරණයට යන්න පුළුවන්. ඒ අධිකරණය තුළින් තීන්දු දෙයි. එහෙම නැතිව මේ පත්තරවලට හෝ ස්වාමීන් වහන්සේලාට තීන්දු දෙන්න බැහැ.

* එජාපය තුළ ගැටුම් උත්සන්න වෙලා තිබියදී එජාපය විදේශ ඇමැති මහාචාර්ය ජී. ඇල්. පීරිස් මහත්මයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනාවේ ඇයි ?
අද කවුරුත් දන්නවා විපක්ෂ නායක එජාප නායකට එරෙහි කැරැල්ලක් පක්ෂය තුළ තියෙනවා කියන එක. රනිල් වික්‍රමසිංහ තමන්ට පක්ෂපාත පිරිස අල්ලගෙන නැති ප්‍රශ්න මවනවා තමන්ට එරෙහි කැරැල්ල අමතක කරවන්න හදනවා එත් ඒ කැරැල්ල හොඳට එළියට පේනවා. ෆොන්සේකා අල්ලගෙන බේරෙන්න හදනවා. ඒ මොනවා කළත් රනිල්ට බේරුමක් නැහැ අන්තිමට පක්ෂ නායකත්වය දාලා එතුමට යන්න වෙනවා.

* පක්ෂ නායකත්වය ලබාගන්න සජිත් ප්‍රේමදාස තුළ දැඩි උත්සාහයක් පවතිනවා. කලක් එජාපයේ හිටපු ජ්‍යෙෂ්ඨයෙක් විදිහට ඒ උත්සාහය දකින්නේ ඔබ කොහොමද ?
මම එක්සත් ජාතික පක්ෂයේ සෑහෙන්න කාලයක් හිටියා. ඒ කියන්නේ රනිල් පක්ෂයට බැඳෙන්න කළින් මම ක්‍රියාකාරී මණ්ඩලයේත් හිටියා. මම දන්නා තරමින් මට පේන විදිහට මේ දක්වා එජාපයේ නායකත්වය ගන්න සුදුසු පුද්ගලයෙක් තවමත් ඉදිරිපත් වෙලා නැහැ.

* ජනාධිපතිතුමා පසුගියදා දින කිහිපයක් බදුල්ලේ සංචාරයක නිරත වුණා. එතුමාගේ සංචාරයෙන් බදුල්ලට ලැබුණු වාසි මොනවාද ?
ඉතිහාසයේ පළමු වතාවට තමයි මේ නොදියුණු ඌව පළාතට ඇවිල්ලා දින කිහිපයක් ගත කළේ. දැන් මොණරාගල විශාල දිස්ත්‍රික්කයක්. ජනාධිපතිතුමා විශේෂයෙන් බදුල්ලට ආවේ මේ පළාතේ සංවර්ධනයේ තිබෙන අඩුපාඩුකම් මොනවාද කළයුත්තේ කියලා හොයලා බලන්න. අනෙක එතුමා ආවේ මේ පළාතේ සියලු තොරතුරු දැනගෙන. එතුමා ප්‍රශ්න මතුකරලා ඇහුවා.
සමහර අයට කටඋත්තර නැතිවුණා. ඒ නිසා අද අපේ රාජ්‍ය නිලධාරීන් දේශපාලන අධිකාරිය ඉතා උනන්දුවෙන් කඩිනමින් මේ අඩුපාඩු විසඳාගන්න කටයුතු කරගෙන යනවා. විශේෂයෙන් බදුල්ල මහියංගණ මාර්ගය කාපට් කිරීම එතුමාගේ නියමයෙන් ආරම්භ වුණා. ඒ වගේ සංවර්ධන වැඩ රාශියක් ආරම්භ වුණා. ඒ වගේම මේ වැඩවළට විශාල මුදල් ප්‍රමාණයක්්ද ලබාදුන්නා.

* පළාත් සභා ක්‍රමය තුළින් මේ පළාතේ ජනතාවට නිසි සේවාවක් සිදුවුණේ නැහැ කියලා කාලයක් තිස්සේ චෝදනා එල්ල වුණා. වත්මන් පළාත් සභාවේ තත්ත්වය කොහොමද ?
ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්මයා පළාත් ප්‍රධාන අමාත්‍යධූරයට පත්වීමත් සමග පළාතේ නොදියුණුම දිස්ත්‍රික්කය වූ මොණරාගල දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කරන්න පුළුවන් වුණා. එතුමාට පුළුවන් වුණා ලබන වසරේ දැයට කිරුළ ප්‍රදර්ශනය මොණරාගල දිස්ත්‍රික්කයට ලබාගන්න. ඒ ලබා ගැනීමෙන් මොණරාගල විශාල දියුණුවක් ඇතිවේගෙන යනවා.
හම්බන්තොට දියුණුවන විට ළඟම ඇති මොණරාගල දියුණු වෙනවා. ඒ දියුණුවත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කය දියුණු වෙනවා.

Tell a Friend