1956 බෞද්ධ රැල්ල සහ 2014 නව ව්‍යවස්ථා රැල්ල - උපුල් ජෝශප් ප්‍රනාන්දු

 එදා හිටියේ නායකත්වයට කුලල් කා ගන්නා නායකයන් නොව ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන නායකයන්ය. අදත් සෝභිත හිමියන්ගේ සටනට අවශ්‍ය එවැනි නායකයෙකි. එවැනි නායකයන් හෝ නායිකාවන් අහසින් කඩා වැටෙන්නේ නැත. වේලාව එන විට ජනතාව අතරින්ම මතුවී එනු ඇත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

1947 බලයට ආ එ.ජා.ප. ආණ්ඩුව පෙරළන්න යකාටවත් බැහැ යැයි එකල කතාවක් තිබිණි. ඩී.ඇස්. සේනානායකගෙන් පසු අගමැතිකම හිමිකර ගන්න බලා ගෙන සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ඉවත් වූ විට ආණ්ඩුව වැටෙයි කියා සමහරු අනාවැකි කීවත් ආණ්ඩුව දුර්වල වුණේවත් නැත. ඩී.ඇස්.ගේ මරණයට පසු ආණ්ඩුව මුහුණ දුන්න මැතිවරණයෙන් ආණ්ඩුව අති විශිෂ්ට ජයක් හිමි කර ගත්තේය. ආණ්ඩුව වට්ටවන්න බණ්ඩාරනායකටත් බැරි බව කවුරුත් වටහා ගත්තේ එවිටය.
 
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය බෞද්ධාගමේ ප්‍රගතිය සඳහා කොමිෂන් සභාවක් පත් කළේ මේ වගේ කාලයකය. විදේශ යටත් වීම් හේතුකොට බෞද්ධාගමේ ප්‍රගතියට හානි පැමිණ වී ඇති බවත්, බෞද්ධයන්ට බලවත් අසාධාරණකම් සිදුවී ඇති බවත් කොමිසම හමුවට පැමිණ සාක්කි දුන් හිමිවරු ඇතුළු විද්වතුන් කීය. බෞද්ධාගම ආරක්ෂා කර ගන්න නම් ආණ්ඩුව මුල් වී ක්‍රියා කළ යුතුය යන්න හැමෝගේම මතය විය. එළැඹෙන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය ඒ සඳහා පෙර නිමිත්තක් කර ගැනීමටද යෝජනා විය.

සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය 1956 දී කොමිෂන් සභා වාර්තාව නිකුත් කොට එය ක්‍රියාත්මක කරවා ගන්න දේශපාලන නායකත්වයක් සෙවීය. බටහිර ගැති සිංහල බෞද්ධ ප්‍රතිරූපයක් අහිමි සර් ජෝන් කොතලාවල අගමැතිවරයා සමඟ සම්මේලනයේ නාහිමිවරු සාකච්ඡා කළත් අවංකව කොමිෂන් සභා වාර්තාව ක්‍රියාත්මක කරන්න ඔහුට වුවමනාවක් නැති බව ඔවුන්ට වැටහුණි.
 
ඉන්පසු ඔවුන් යකාටවත් පෙරළන්න බැහැ කී යූ.ඇන්.පී. ආණ්ඩුව පෙරළන්න නායකයෙක් හොයන්නට පටන් ගත්තේය. ඔවුන් මුලින්ම ගියේ විපක්ෂ නායක බණ්ඩාරනායකව හමු වෙන්නටය. බණ්ඩාරනායක කීවේ සර් ජෝන් සමඟ ප්‍රශ්නයක් මත අගමැති ධුරයෙන් ඉවත් වී තාවකාලිකව දේශපාලනයෙන් විශ්‍රාම ගොස් සිටි ඩඩ්ලිව නායකත්වයට එකඟ කර ගතහොත් තමන්ට ඩඩ්ලි ගේ දෙවැනියා ලෙස ඡන්ද සටන දියත් කළ හැකි බවය. බණ්ඩාරනායක ඒ වේලාවේ හිතුවේ එ.ජා.ප. ආණ්ඩුව පෙරළන්න තමාට හයියක් සහ ජනතා ආකර්ෂණ නැතැයි කියාය. නාහිමිවරු කෙළින්ම ගියේ ඩඩ්ලි හමුවෙන්න වුඩ්ලන්ඩ්ස් මන්දිරයටය. ඩඩ්ලි නායකත්වය ගන්නේ නම් එ.ජා.ප. ආණ්ඩුවේ කොටසක් කඩා ගෙන ඒමට සූදානම් බවටත් නාහිමිවරුන්ට පණිවුඩය ලැබිණි. ඩඩ්ලි කීවේ තමන්ට දේශපාලනයෙන් පිට සිට සම්මේලනයේ අරමුණු සාක්ෂාත් කරගන්න උදවු කළ හැකි බවය. ඔහු නොකියා කීවේ ඊළඟ මහ මැතිවරණයේදී සේනානායකවරුන්ගේ සහාය කොතලාවලට නොලැබෙන බවය. බණ්ඩාරනායක එවැනි සන්ධානයක නායකත්වයට හොඳ යැයි ඩඩ්ලි යෝජනා කළේය. ඩඩ්ලිගේ ආශීර්වාදයෙන් සේනානායක පවුලේ ආර්.ජී. සේනානායකගේ සහාය බණ්ඩාරනායකට ලබා දෙන්නටත් එකඟතාවක් ඇති විය.
 
1956 දී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නා හිමිවරු යකාටවත් පෙරළන්න බැහැ කී එ.ජා.ප. ආණ්ඩුව පෙරළා බෞද්ධ උරුමය රකින ආණ්ඩුවක් පිහිටුවන සටන පටන් ගත්තේ එලෙසය. එම සටනට ශක්තිය දුන්නේ දිවයින පුරා විසිරී තිබූ පන්සල් ජාලයය.
 
අද මාදුළුවාවේ සෝභිත හිමි ආරම්භ කොට ඇත්තේත් එවැනිම සටනකි. ඒ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් විනාශ වූ ක්‍රමය නොහොත් රාජ්‍ය පරිපාලන වෙනසක් කරන සටනකි. එදා බෞද්ධාගම විනාශ වී තිබුණේ පෘතුගීසි, ලන්දේසි, ඉංගී්‍රසි යන යටත් විජිත පාලකයන් නිසාය. අද මේ රටේ රාජ්‍ය ක්‍රමය විනාශ වී ඇත්තේ 1978 ව්‍යව්‍යස්ථාව ක්‍රියාත්මක කළ දින සිට තේරී පත්වූ විධායක ජනාධිපතිවරු නිසාය. එහෙත් මේ සටනට නායකයෙක් හොයා ගන්න එදා වගේම අදත් සෝභිත හිමියන් ඇතුළු නා හිමිවරුන්ට දුෂ්කර වී තිබේ. එදා සර් ජෝන් මෙන් අද බලයේ සිටින මහින්ද රාජපක්ෂ විධායකය ශක්තිමත් කරන පාලකයෙක් මිස එය දුර්වල කරන්න කැමැති පාලකයෙක් නොවේ.
 
එදා වගේම අදටත් යකාටවත් පෙරළන්න බැහැයි කියන මහින්දගේ ආණ්ඩුව පෙරළා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට රට යන ක්‍රමය වෙනස් කරන්න පුළුවන් මෙරට පන්සල් ජාලයටය. 1956 මෙන් අදත් සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් විධායක ජනාධිපති ක්‍රමයෙන් විනාශ වූ සමාජ ක්‍රමය වෙනස් කරන්න කොමිසමක් පත් කොට රට පුරා පන්සල්වල දායක සභා හරහා සාක්ෂි විභාගකොට වාර්තාවක් නිකුත් කරන්න කටයුතු කළහොත් මේ රට වෙනසක් කරන නායකයා හෝ නායිකාව ඉබේම මතු වී එනු ඇත. හැබැයි අද විපක්‍ෂයේ ඉන්නේ එදා වගේ නායකයෝ නොවේ. එදා බණ්ඩාරනායකට නායකත්වය ගන්න කියන්න නාහිමිවරු ගිය විට තමාට වඩා රටේ ජන බලය ඩඩ්ලිට ඇතැයි සිතා බණ්ඩාරනායක ඩඩ්ලිගේ නායකත්වය යටතේ ඉන්න කැමැති විය. ඩඩ්ලිට නායකත්වය ගන්න යැයි කී විට ඩඩ්ලි බණ්ඩාරනායකට නායකත්වය භාර දෙන්න යැයි කීය. එදා හිටියේ නායකත්වයට කුලල් කා ගන්නා නායකයන් නොව ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන නායකයන්ය. අදත් සෝභිත හිමියන්ගේ සටනට අවශ්‍ය එවැනි නායකයෙකි. එවැනි නායකයන් හෝ නායිකාවන් අහසින් කඩා වැටෙන්නේ නැත. වේලාව එන විට ජනතාව අතරින්ම මතුවී එනු ඇත. අද මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන සටනට මහ නායක හිමිවරුන්ගේ ආශීර්වාදයද ලැබී ඇත. එදා කුංකුණාවේ හාමුදුරුවන් හිර ගෙදර සිට සුද්දා පන්නන්න රජෙක් හෙව්වේය. අද සෝභිත හිමියන් හොයන්නේත් එවැනි රජෙකි. ඒ රජු මේ දේශපාලන ජන්ම භූමියේ උපදින දවස අත ළඟය.