ප්‍රජාතන්ත්‍රවාදයත් සැබෑ නිදහස් වෙනුවෙන් අඛණ්ඩව අරගල කරමු!

දේශපාලන මණ්ඩලය | ජනතා විමුක්ති පෙරමුණ

ආණAඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති ගමන තහවුරු කරන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව ඊයේ සම්මත කර ගත්තේය. එය සම්මත කර ගත්තේ අල්ලසින්, පගාවෙන් හා විවිද වරදානයන්ගෙන් පක්ෂපාතී කරගත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආධාරයෙන් ලබා ගත් තුනෙන් දෙකක බහුතරයක් මගිනි. එසේ නැතිව ආණ්ඩුවට ජනතා වරමින් ලැබුණු තුනෙන් දෙකක බහුතරයක් නැත.

එපමණක් නොවේ වත්මන් ආණ්ඩුව ජනවරමක් ඉල්ලා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට අලූත් ව්‍යවස්ථාවක් හඳුන්වාදීම සඳහාය. එහෙත් ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ එම ජනවරමට පයින් ගසමින්ය.

ආණ්ඩුව, ජනමතයට පයින් ගසා, ජනමතය නොසලකා හරිමින් 18 වන සංශෝධනය ගෙන ආවා පමණක් නොව ඒ පිළිබඳව ජනතාව අතර සංවාදයක් ඇතිවීමට ඉඩ දුන්නේද නැත.ඒ ජනමතයට බිය නිසාය. සංශෝධනය සම්බන්ධයෙන් සංවාදයක් ඇති වන විට එක්සත් ජාතික පක්ෂය සමග බොරු සාකච්ඡාවක් ආරම්භ කොට ජනතා අවධානය වෙනත් දෙසකට යොමු කළේය. එමගින් ආණ්ඩුව කළේ දේශපාලන තක්කඩිකමකි. එක්සත් ජාතික පක්ෂ නායකත්වයද ඊට දායක විය.

ඒ නිසා ආණ්ඩුව 18 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් ආකාරය ප්‍රජාතන්ත්‍ර විරෝධීය. දේශපාලන සදාචාරයට පටහැනිය.

එමෙන්ම, මෙම සංශෝධනය මගතින් සිදු කර ඇත්තේ එක් පුද්ගලයකු විධායක ජනාධිපති ධුරය දැරීමට ඇති වාර දෙකේ සීමාව ඉවත් කිරීමයි. ඒ හරහා ගොඩනැගීමට උත්සාහ කරන්නේ මාකොස් පන්නයේ ඒකාධිපති පවුල් පාලනයක් බව පැහැදිලිය. එම ඒකාධිපත් ගමනට බාධාවක් විය හැකි, ස්වාධීන කොමිෂන් සභා බලරහිත කිරීමටද ආණ්ඩුව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේම කටයුතු කර තිබේ. ඒ අනුව, ඉදිරියේදී ස්වාධීන පොලිස් සේවයක්, ස්වාධීන රාජ්‍ය සේවයක් මෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරනද බලාපොරොත්තු විය නොහැකිය. ඉදිරියේදී ඒ සියලූ ආයතන මෙහෙයවනු ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති පවුල් පාලනයට අවශ්‍ය ආකාරයටය. දැනටම ආණAඩුව තම හිතුවක්කාර කම පෙන්වමින් සිටී. රජයේ සේවකයෙක් ගස් බදිනු ලැබූ මර්වින් සිල්වාට යළි නියෝජ්‍ය ඇමැති ධුරයත් පිරිනමා තිබේ. ඉදිරියේදී තව තවත් ආශ්චර්යයන් දැක ගැනීමට හැකිවනු ඇත.

අප මාතෘ භූමිය තුළ ඒකාධිපති පාලනයක් බිහිවීමට ඉඩ දිය යුතු නැත. වත්මන් ආණ්ඩුව සැරසී සිටින්නේ එවැනි ගමනක් යාමට බව පැහැදිලිය. එම නිසා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන නතර කොට රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සියලූ පුරවැසියන්ගේ වගකීම බව මේ මොහොතේ පෙන්වාදීමට අපි කැමැත්තෙමු.

18 වන සංශෝධනය දැන් සම්මතව ඇති නිසා ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන මෙරට ප්‍රගතිශීලි ජනයා බලාපොරොත්තු සුන් කර ගත යුතු නැත. මන්දොත්සාහී විය යුතු නැත. ගොඩනැගෙන ඒකාධිපති පවුල් පාලනය ඉදිරියේ නිහ`ඩවිය යුතු නැත. පවතින ආණAඩුව තුල තම පැවැත්ම රැකගැනීම වෙනුවෙන් හර්දසාක‍ෂිය පාවාදී නිවටුන් බවට පත් වූ හා මුදලට වරප්‍රසාදවලට තම තම හෘදය සාක‍ෂිය උකස්කර නිවට නියාලූ කමක් හදාගත් තුනෙන් දෙකේ බලය සැබෑ ජන බයක් නොවන බව ඉතා පැහැදිලිය. දැන් අවශ්‍යව ඇත්තේ අද සිට ගොඩනැගෙන මේ වියරු ඒකාධිපති පාලනය පෙරලා දමා සැබෑ ජනතාවාදී ව්‍යවස්ථාවක් නිර්මාණය කළහැකි ජනතාවාදී පාලනක් වෙනුවේන ජනතාව පෙළගැස්විය හැකි ධෛර්ය සම්පන්න නායකත්වයකි. එම එම නායකත්වය සමග ගොඩනැගෙන දැවැන්ත ජනතා බලයකි. එම ජනතා බලය ගොඩනැගීම සදහා මේ මොහොතේ සිටම පෙළගැසෙන ලෙසත්, අනාගතය පිළිබඳව විශ්වාසයෙන් යුතුව පෙරට එන ලෙසත් අප ප්‍රජාතන්ත්‍රවාදය අගයන, ප්‍රගතිශීලි සමාජවාදී සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටිමු.