අධිකරණයේ නිවාඩු කාලේ ගත් කැකිල්ලේ නඩු තීන්දුව

පසුගිය 13 වැනිදා සවස පැවැති යුද අධිකරණය සරත් ෆොන්සේකා මහතාගේ නිලය පහළ හෙළීමට තීරණය කර තිබේ. පළමු යුද අධිකරණයේ මේ සදහා වන නඩු විභාගය පවත්වනු ලැබුවේ සරත් ෆොන්සේකා මහතාට නීතිමය ලෙස ඇති අවම අයිතීන් පවා උල්ලංඝනය වන ආකාරයෙනි. අධිකරණ නිවාඩු කාලය ලෙස ප්‍රකාශයට පත්කර තිබූ කාලය තුළ එනම් අගෝස්තු මස 09 වැනිදා සිට 13 වැනිදා දක්වා එක දිගට දින 05ක් යුද අධිකරණය කැඳවනු ලැබූවේ නීතිඥයන්ට ඒ සඳහා සහභාගිවීමට අවකාශ නොතබමිණි. සාමාන්‍යයෙන් අධිකරණ නිවාඩු කාලය තුල කිසිදු අධිකරණයක නඩු කටයුතු සිදු නොකෙරෙන අතර නීතිඥයන් සිය අධ්‍යයන සහ පෞද්ගලික කටයුතු සඳහා වෙන් කරන්නේ එම කාලයයි. එබැවින් යුද අධිකරණයේ නඩු විභාගය අවසන් දින කිහිපය තුළ සරත් ෆොන්සේකා මහතාගේ නීතිඥයන්ට ඊට සහභාගීවීමේ අවකාශයක් නොවීය.

තමන් සම්බන්ධ නඩු විභාගයකදී රටේ ඕනෑම පුරවැසියෙකුට නීති සහය ලබා ගැනීමේ අයිතියක් ඇති අතර ෆොන්සේකා මහතාට එම අයිතියද ආණ්ඩුව සැලසුම් සහගත ලෙස අහිමි කළේය. එබැවින් මෙම තීන්දුව දෙනු ලැබූවේ සාධාරණ සහ යුක්ති සහගත අධිකරණ ක්‍රියාමාර්ගයකින් පසුව නොවේ. යුද අධිකරණය තුළ සිදු කෙරෙන නඩු විභාගවලදී මේ ආකාරයට කටයුතු කිරීම රටේ ජනතාවට නීතිය පිළිබඳව ඇති විශ්වාසය දුර්වල වීමට හේතුවේ. ආණ්ඩුව සිය දේශපාලන වුවමනාවන් වෙනුවෙන් සිදුකරන මෙවැනි කටයුතු රටේ සහ සමාජයේ දිගුකාලීන පැවැත්මට අහිතකරය.

අනෙක් අතින් ඛෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට යුද පෙරමුණේදී නායකත්වය දුන් සෙන්පතියන්ට ආණ්ඩුව මේ ආකාරයෙන් සලකන්නේ රටට විශාල විනාශයක් කළ ත්‍රස්තවාදී නායකයන්ට සමාව දෙන අතරය. එබැවින් සරත් ෆොන්සේකා මහතා පිළිඳව ආණ්ඩුව කටයුතු කර ඇත්තේ අයුක්ති සහගත සහ අගතිගාමී ලෙසින් බව තවදුරටත් රහසක් නොවේ. එබැවින් එම අසාධාරණයට එරෙහිව පෙළ ගැසෙන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිමු.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය