The Most/Recent Articles

Showing posts with label finance. Show all posts
Showing posts with label finance. Show all posts

සිරිසේන කුරේ; මනෝ විද්‍යාවෙන් ඔබ්බට

ඕනෑම වාමාංශිකයෙකුට සහ ප්‍රගතිශීලී බුද්ධිමතෙකුට අනුව සිරිසේන කුරේ යනු, සරලමතිකයෙකි. ජවිපෙ ඇතුළුව පොදුවේ යථාර්ථයට වශී වූ බුද්ධිමතුන්ට මගහැරී ගිය සත්‍යය කුමක්ද? ජවිපෙ නායකයාට පමණක් නොව, ‘බෲස් කැප්ෆෙරර්’ වැනි මානව විද්‍යාඥයෙකුට පවා සිංහල චින්තනයේ තැනුම් ඒකකය ගැන වැරදුනේ කුමක්ද?

දීප්ති කුමාර ගුණරත්න 

වයස අවුරුදු 90 ක් ආයු වැළඳු සිරිසේන කුරේ මහතා මිය ගියේ ය. ඔහු පිළිබඳව ඇති තරම් දේශපාලන සාහිත්‍යය තුළ මිථ්‍යා වපුරා ඇත. නමුත්, කිසිවෙකු ඔහු ගැන විශ්ලේෂණයක් සිදු කර නැත. 87-89 දකුණේ සිවිල් යුද්ධය පැවති සමයේ, ඔහුගේ කාර්යභාරය තක්සේරු කරන්නේ කෙසේද? 87 වර්ෂයේ සිටම, ජේ. ආර් ජයවර්ධන රෙජීමයට රටේ සිවිල් යුද්ධය පාලනය කර ගැනීමට නො හැකි විය. ඊට හේතුව වූයේ, සිවිල් යුද්ධයේ දේශපාලන මානය වටහා නො ගැනීමයි. 89 වර්ෂයේ මුල ආර්. ප්‍රේමදාස ජනාධිපති වූ අතර එම වර්ෂයේම අග දී, විජේවීර සහ ගමනායක ඝාතනය විය. ඉන්, දකුණේ සිවිල් යුද්ධය අවසන් විය.

                     ලංකාවේ දේශපාලන පක්ෂවලට ඇති ලොකුම අභියෝගය වන්නේ, ඇත්තටම දේශපාලනය කරන්නේ කවුද යන්න හඳුනා නො ගැනීමයි. උදාහරණයක් ලෙස, සිවිල් යුද්ධයේ දරුණුතම අවධිය වූ 89 වර්ෂයේ දී, සිවිල් යුද්ධයේ මතවාදී මෙහෙයුම්කරුවා රන්ජන් විජේරත්න මහතා බවට ප්‍රචලිත විශ්වාසයක් එවකට මහජනයා අතර පැවතිණි. අරගලයේ අනෙක් පාර්ශවය වූ ජනතා විමුක්ති පෙරමුණ ද එය විශ්වාස කළේය.

                   සිංහල ජාතිය දෙකට බෙදී සිදු කළ දකුණේ සිවිල් යුද්ධයේ දී, මතවාදී යාන්ත්‍රණය හැසිරවීම පහසු වූයේ නැත. රට පුරා කඳවුරු විවෘත කර තැනින් තැන මුරපොළවල් විවෘත කිරීමෙන් ඵලක් නැති බව, 89 වන විට ප්‍රේමදාස රෙජීමයට අවබෝධ විය. තැනින් තැන සිදුවන හුදෙකලා සිදුවීම් මැඩ පැවැත්වීම ද නිශ්ඵල විය. වැඩ වර්ජන අක්‍රීය කිරීම ද ඵලක් නොවීය.

                   මෙහි ප්‍රතිඵලයක් ලෙස, ‘OPS COMBINE’ නමින් අලුත් මධ්‍යස්ථානයක් පිහිට වීය. එය, ”ඒකාබද්ධ අණදෙන මධ්‍යස්ථානය” නමින් හැඳින්වීය. එහි හමුදා නායකත්වයට, මේජර් ජෙනරාල් නෝමන් වෛද්‍යරත්න පත්වූ අතර දේශපාලන අධිකාරිය බවට පත් වූයේ, රන්ජන් විජේරත්න ය. ඔවුන් දෙදෙනාගේ මූලික උපාය වූයේ, ‘කුඩා කණ්ඩායම්’ (SMALL TEAMS) යොදා කැරැල්ල මර්දනය කිරීමයි. එහිදී, පැජරෝවක කෝප්‍රල්වරයෙක් සමඟ සෙබලු 4 දෙනෙක් ඉබාගාතේ මං මාවත්වල ගමන් කරන ලද අතර සැක කටයුතු අය අත්අඩංගුවට ගන්නා ලදී. ‘චූලානන්ද සමරණායක සහෝදරයා’ වසරකට සැරයක් තම මතකය හැටියට ලියන්නේ, මෙවැනි සිදුවීමකි. මෙම අදහස, ඇමරිකානු යුධ හමුදා ඇකඩමියේ උගන්වන ප්‍රතිත්‍රස්තනායක උපායකි. එහි දී කරන්නේ, රාජ්‍ය විරෝධීන්ගේ පහළ සාමාජිකයන් බිය වැද්දීමයි. නමුත්, එමඟින් සමාජයක් බිය වන්නේ නැත.

                   සමාජයක් බිය වැද්දීම සඳහා දේව නීතිය හෝ මිනිස් නීතිය හෝ අදාළ නැත. ඒ සඳහා, යක්ෂ නීතියක් සොයා ගත යුතු ය. මේ නීතිය සොයා ගත්තේ, සිරිසේන කුරේ විසිනි. ඔහුගේ එම න්‍යාය ඔහු හැදින්වූයේ, ”දියමන්ති වලින් දියමන්ති කැපීම” යන නමිනි. ඔහු එය කළේ, භාෂාවෙනි- යමක් විනාශ කළ හැක්කේ එම දෙයම පාවිච්චි කිරීම තුළිනි. ජෙනරාල් වෛද්‍යරත්න ඇතුළත්ව මිලිටරි බුද්ධි අංශය සහ සිරිසේන කුරේ දවසම මධුවිත පානය කරමින් කරන ලද්දේ, අල්ලා ගන්නා ලද මධ්‍යම මට්ටමේ නායකයන් එක් ‘අයෙකු’ අනෙකා ගැන නොකී කතා ඔහුට කියා ඔහුගේ සිත චංචල කිරීමයි. එමඟින්, ඔවුන් කෙටි කලෙකින් දාමයේ ප්‍රධාන ඉත්තන් වෙතට ප්‍රවේශ විය.

                      සිරිසේන කුරේ හොඳින් වටහාගෙන තිබුණේ, මිනිසා යනු, මනෝවිද්‍යාත්මක සතෙකු නොවන බවයි. මිනිසාගේ අවිඥාණය අනෙකාට සම්බන්ධ නිසා, ඔහු හෝ ඇය ඒ කෙනාගේ අනෙකාට ආශාවෙන් සහ ආදර්ශයෙන් සම්බන්ධ බවයි. එවිට, මිනිසා යනු, ගෘහයක් නොව අන්තර්ජාලයකි. උදාහරණයක් ලෙස, කොළඹ සන්නද්ධ නායකයා වූ [89]කදුරුපොකුණ, තමන්ගේ සමීපතයා වූ D. M ආනන්දව පාවා නොදෙන බව වෛද්‍යරත්න සහ කුරේ දැන සිටියහ. ඒ නිසා, ඔවුන් කළේ, කදුරුපොකුණට D. M ගැන එහෙන් මෙහෙන් ලද තොරතුරු කිහිපයක් මුදා හැරීමයි. ඒ අතර, D.M. ගේ ස්ත්‍රී ගැටලුවක් ද යොදා ගනු ලැබීය. උපාය හරි ගිය අතර, D. M .දැලට හසු වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. අද මා මේ ගැන කියනතුරු, ජවිපෙට ඒ ගැන විශ්ලේෂණයක් නොතිබූ අතර විහිළුවකටවත් සන්නද්ධ වීමට සිතන්නේ නැත.

                    ඕනෑම වාමාංශිකයෙකුට සහ ප්‍රගතිශීලී බුද්ධිමතෙකුට අනුව සිරිසේන කුරේ යනු, සරලමතිකයෙකි. ජවිපෙ ඇතුළුව පොදුවේ යථාර්ථයට වශී වූ බුද්ධිමතුන්ට මගහැරී ගිය සත්‍යය කුමක්ද? ජවිපෙ නායකයාට පමණක් නොව, ‘බෲස් කැප්ෆෙරර්’ වැනි මානව විද්‍යාඥයෙකුට පවා සිංහල චින්තනයේ තැනුම් ඒකකය ගැන වැරදුනේ කුමක්ද?

                     ජවිපෙ නායකයාට අනුව, යුධ හමුදාව ඇතුළුව රජයේ මර්දන උපකරණ තුළ වැඩ කරන මිනිසුන් අවසන් විග්‍රහයක දී හදවතෙහි තෙතමනයක් සහිත බෞද්ධ හැදියාවකින් යුතු මිනිසුන් ය. කැප්ෆෙරර්ට අනුව, බෞද්ධයා තම කෲරත්වය උපුටන්නේ කුඩා කාලයේ දකින පන්සල්වල වධ දෙන චිත්‍ර සහ මූර්තීන් (කටු ඉඹුල) හරහා ය. එම නිසා, අවසානයේ සිදු වන්නේ බෞද්ධයාට බෞද්ධයා සම්මුඛ වීමයි.

                    ජවිපෙ නායකයාගේ සහ සබුද්ධික මානව විද්‍යාඥයාගේ ප්‍රවාද මනස්ගාත කරමින් සිරිසේන කුරේ (මෙයට තවත් සාධකයක් එකතු කළ යුතු ය. සිරිසේන කුරේ යනු, කලක් කොළඹ චිත්‍රපට ශාලාවල සිටි කළමණාකරුවෙකි. ජවිපෙ ග්‍රාමීය තරුණයාව විනාශ කිරීමට ඔහු යොදා ගත්තේ, බටහිර චිත්‍රපට නැරඹූ ග්‍රාමීය තරුණයෙක්ම ය.) සහ ජෙනරාල් වෛද්‍යරත්න අපට පෙන්වා දුන්නේ, ග්‍රාමීය සිංහල පිරිමියාගේ ඥාණ විභාගය සකස් වන්නේ, බටහිර යුධ චිත්‍රපට, රහස් පරීක්ෂක කතා, පළිගැනීම සහ වධ දීම පිළිබඳ ගොපලු චිත්‍රපට මගින් බවයි. ඒ අනුව, කිසිදු ජාතිවාදියෙකු නොවූ සිරිසේන කුරේ 80 දශකයේ ජාතිවාදය පරාජය කරන ලද්දේ, බටහිර චින්තනය හරහා ය. එම නිසා, ඔහුගේ ජාතිවාදයට එරෙහි කෲරත්වය රෝග ලක්ෂණාත්මක[PATHOLOGICAL] එකක් නොව දියුණු දෘෂ්ටිවාදයකි.

                    නොවැම්බර් මාසයේ ජවිපෙ නායකත්වය විනාශ වූ වහාම, OPS COMBINE ආයතනය විසුරුවා හරින ලද්දේ, ප්‍රේමදාස රෙජීමයට ජනතා ආකර්ෂණය ලබාගත හැකි වැඩසටහනක් එවකට තිබූ නිසා ය. 2009 වර්ෂයට පසුව, රාජපක්ෂලාට නැති වූයේ මෙවැනි දේශපාලන වැඩසටහනකි. ඒ වෙනුවට, ඔවුහු ඒ තැනට තමන්ගේ ‘පවුල’ ආදේශ කරන ලදී. ඉන්, රට විනාශ විය.

                   56 යනු, පරාජයක් යැයි කිවූ සිරිසේන කුරේ මිය යන විට ඔහුගේ පක්ෂය ද ලිබරල්වාදය නිසා මිය ගොස් තිබුණි. 80 දශකයේ ‘සාංදෘෂ්ටිකවාදය’ (වාස්තවික සහ විශ්ව සාධාරණ සාරධර්ම නැතැයි ද, ක්‍රියාවෙන් සහ සෑම මොහොතක්ම පූර්ණ වශයෙන් සහ වගකීමෙන් ජීවත් වීමෙන් එක් එක් පුද්ගලයෙකු තමාට සාරධර්ම මවා ගත යුතු යැයි ද අදහන මතවාදය) නව සහශ්‍රකයේ දී මිය ගොස් ඇත. දැන් රජ කරන්නේ, විපරිතතාවය යි. අපට ඇති අනාගත අභියෝගය වන්නේ, සිරිසේන කුරේලා නැති ලොවක ජාතිවාදයෙන් තොර දුප්පතුන්ට සහන සලසන නව සාංදෘෂ්ටිකත්වයක් බිහි කර ගන්නේ කෙසේද යන්නයි. 

පල්ලියේ පන්සල

 ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ බ්‍රයන් නගරය ඉතාම කුඩා නගරයක්. ජනගහණය 8,729ක් පමණයි. එයින් 95%ක් පමණම සුදු ජාතිකයින්. මා දන්නා තරමින් ශ්‍රී ලාංකික සම්භවය ඇති කිසිවකු එම නගරයේ නැහැ. එහෙත් ඔහායෝ ප්‍රාන්තයේ වඩා විශාල නගර වල හා යාබද ප්‍රාන්ත වල තැනින් තැන ශ්‍රී ලාංකිකයින් යම් ප්‍රමාණයක් විසිරී සිටිනවා. 


ඔහායෝ ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික මෙතෝදිස්ත පල්ලියක් එහි වත්මන් හිමිකරු විසින් සඟසතු කර පූජා කිරීමෙන් පසුව මේ වන විට එය බෞද්ධ පන්සලක් හා භාවනා මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වී තිබෙනවා. පන්සලේ විහාරාධිපති ධුරය දරන තලංගම දේවානන්ද හිමියන් එහි අතීත උරුමය පිළිබිඹු වන පරිදි Father John's Loving Kindness Meditation Society යනුවෙන් මෙම ස්ථානය නම් කර තිබෙන අතර එහි අතීත ගෘහ නිර්මාණ සැලසුම හා චිත්‍ර ආදිය එලෙසම නඩත්තු කරමින් ආරක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම මෙම ස්ථානය ඕනෑම ආගමිකයෙකුට විවෘතයි. 

දේවානන්ද හිමි කැලිෆෝර්නියා හා ඉන්දියානා ප්‍රාන්ත වල පිහිටි තවත් පන්සල් දෙකක ද විහාරාධිපති ධුරය දරනවා. සම්ප්‍රදායික ක්‍රිස්තියානි පල්ලියක් පන්සලක් වීම අපූරු අත්දැකීමක්. 

ඇමරිකාවේ ඕනෑ විදිහට පන්සල් හදන්න බැහැ. ඒ වගේම ඕනෑ විදිහට වෙනත් ආගමික ස්ථාන, ව්‍යාපාරික ස්ථාන හෝ නිවාස හදන්නත් බැහැ. ගෙදරක් කුලියට දීමේ නිදහස තබා ගෙදරක ඉදිරිපස හා පසුපස වැවිය හැකි ගස් ගණන තීරණය කිරීමේ නිදහස පවා ඇතැම් විට නිවාස හිමියාට නැහැ. ඒ වගේ දේවල් තීරණය වන්නේ කිසියම් ප්‍රදේශයක බහුතරයකගේ කැමැත්ත මතයි. එහෙත්, ඇමරිකාවේ බෞද්ධයින් ඇත්තේම නැති නගරයක වුවත් පල්ලියක් පන්සලක් කරන්න බැරි කමක් නැහැ.

ඡායාරූපය දේවානන්ද හිමිගේ වත්පොත් පිටුවෙන්. ( ඉකොනොමැට්ටා)

වසංගතය අතරතුරදී දැවැන්ත ලෙස ලාභලැබූ ශ්‍රී ලංකාවේ මහ ව්‍යාපාර

විශාල විදේශ ණය  කන්දරාවක ගිලී, අපනයන ආදායම පහත වැටීමට මුහුනදී සිටින රාජපක්ෂ තන්ත්‍රය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු වී ඇති අතර සාමාජික රටවල් සඳහා බැංකුවේ ඩොලර් බිලියන 650 වැඩසටහන යටතේ ඩොලර් මිලියන 800 ක පමන නයක් ලබා ගනු ඇත.

සමන් ගුනදාස

අප්‍රේල් සහ ජුනි අතර කාලය තුලදී ශ‍්‍රී ලංකාවේ ඉහලම සමාගම් නවයක් රුපියල් බිලියන 364 ක් (ඩොලර් බිලියන 1.8 ක්) උපයා ගත් අතර ඔවුන්ගේ මූල්‍ය වර්ෂයේ මුල් කාර්තුවේදී රුපියල් බිලියන 21 ක සාමූහික ලාභයක් සාක්කුවට දමා ගත්හ. මෙම මුදල සුපිරි ධනවතුන් විසින් අත් කරගත් ධනයෙන් සුළු කොටසක් පමනි, මේ වසරේ මේ දක්වා කාලය තුල බැංකු සහ අනෙකුත් විශාල සමාගම් සඳහා ලාභ ඉහල යන බව දැක ගත හැකිය.

Courtesy: dreamstime.com

මුල්‍ය, අපනයන, සැපයුම් (ලොජිස්ටික්), මත්පැන්, සෞඛ්‍ය සහ කොටස් වෙලඳාම ආදියෙහි නියුතු සමාගම් විසින් සිදු කල විශාලතම ඉපැයීම් අනුව, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව කොලඹ කොටස් වෙලඳපොලේ ලැයිස්තුගත සමාගම් 2021 මුල් මාස තුනේදී සියයට 189 ක වර්ධනයක් වාර්තා කලේය.

ආදායම හා රැකියා අහිමිවූ කම්කරුවන්ට, කුඩා ව්‍යවසායකයින්ට, ස්වයං රැකියාකරුවන්ට සහ දුප්පතුන්ට සිදු වූ විනාශකාරී ආර්ථික බලපෑමට තියුනු ලෙස වෙනස්ව, කොවිඩ්-19 වසංගතය අතරතුරදී අඛන්ඩව ක්‍රියාත්මක වීමට අවසර ලද සමාගම් ඉහලම ලාභ උපයන ඒවා බවට පත්විය. ඊයේ (29) වන විට, කොවිඩ්-19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 8,500 කට වැඩි පිරිසකගේ ජීවිත බිලිගෙන ඇති අතර, සමස්ත ආසාදන සංඛ්‍යාව 425,000 ඉක්මවමින් ඉහල ගොස් තිබේ.

රටවල් 20 ක ශාඛා ඇති ප්‍රධාන ලොජිස්ටික් සමාගමක් වන එක්ස්පෝලංකා ඉහලම ආදායමක් ඉපයූ සමාගම් නවය අතර විය. මෙම කාර්තුවේදී එය රුපියල් බිලියන 95 ක පිරිවැටුමක් සහ රුපියල් බිලියන 6.3 ක ශුද්ධ ලාභයක් ලබා ඇත.

දෙවන ස්ථානය ගත්තේ ලීසිං, කුලී පිට ගැනීම් (හයර් පර්චේස්), රක්‍ෂන සහ අනෙකුත් මූල්‍ය කටයුතු වල ප්‍රමුඛයා වූ එල්ඕඑල්සී සමාගම විය. එය රුපියල් බිලියන 4 ක ශුද්ධ ලාභයක් සමඟින් රුපියල් බිලියන 55 ක් උපයා ඇත. පසුගිය වසරේදී, බදු ගෙවූ පසු ශුද්ධ ලාභය ලෙස එල්ඕඑල්සී රුපියල් බිලියන 53 ක් සාක්කුවේ දමාගත් අතර එය මෙතෙක් ශ්‍රී ලංකාවේ සමාගමක් වාර්තා කල ඉහලම අගයයි. එහි හිමිකරු වන ඉෂාර නානායක්කාර මෙරට බිලියනපතියන්ගෙන් කෙනෙකි.

ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා වන ධම්මික පෙරේරාට අයත් හේලීස් සහ වැලිබල් වන් මුල්‍ය ආයතනය අප්‍රේල් සිට ජුනි දක්වා වූ කාර්තුවේදී රුපියල් බිලියන 6.4 ක ශුද්ධ ලාභයක් සමඟින් රුපියල් බිලියන 90 කට ආසන්න මුදලක් උපයා ඇත.

30,000 කට අධික සේවකයින් සංඛ්‍යාවක් සිටින හේලීස් සමාගම, රබර් නිෂ්පාදනය හා වතු ආශ්‍රිත ආනයන-අපනයන කර්මාන්ත තුල කටයුතු කරයි. එම සමාගම වසර 143 ක ඉතිහාසයේ ලද ඉහලම ආදායම ලෙස පසුගිය වසරේ රුපියල් බිලියන 242 ක ආදායමක් සහ රුපියල් බිලියන 14 ක ශුද්ධ ලාභයක් උපයා ඇත.

තවත් ඉහල පෙලේ ව්‍යාපාරික ආයතනයක් වන ජෝන් කීල්ස් මෙම කාර්තුවේදී රුපියල් බිලියන 1.2 ක ශුද්ධ ලාභයක් සමග රුපියල් බිලියන 38 ක් උපයා ඇත. වසංගතයෙන් බලපෑමට ලක් වූ සමාගමේ එකම අංශය වූයේ සංචාරක ව්‍යාපාරයයි.

ඉහල පෙලේ සමාගම් නවයට අමතරව, රටේ සිව්වන විශාලතම පුද්ගලික වානිජ බැංකුව වන එන්ඩීබී, ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 5 ක් ලෙස වාර්තා කලේය—එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 15 ක වැඩිවීමකි. එම කාර්තුවේදී සම්පත් බැංකුවේ ශුද්ධ පොලී ආදායම බිලියන 10.8 දක්වා, සියයට 34 කින් ඉහල ගිය බව වාර්තා කලේය.

බිලියනපති ධම්මික පෙරේරා පසුගිය සතියේදී මාධ්‍ය තුල මැදිහත් වූයේ කිසිදු හේතුවක් මත ලංකාව අගුළු දැමිය යුතු නැති බවට කල උද්දච්ච ප්‍රකාශය සමගිනි.

'රටක් සම්පුර්නයෙන්ම අගුලු දමා පාලනය කිරීමට ආන්ඩුවකට නොහැකිය, එහෙම කල හැකිද?' කියා සිටි ඔහු, “අපනයන හරහා ඩොලර් ආදායමක් නොමැතිව” පෙට්‍රල්, ඖෂධ, කිරිපිටි සහ අනෙකුත් අත්‍යවශ්‍ය දේ ආනයනය කල නොහැකි බව පැවසීය. තම සමාගම් සහ අනෙකුත් ව්‍යාපාර විසින් ගොඩ ගසා ගන්නා ලද, අති විශාල අපනයන ලාභය ගැන පෙරේරා කිසිවක් කීවේ නැත.

පසුගිය මාසය පුරාම මහ ව්‍යාපාරිකයින් වෙනුවෙන් කතා කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඉහල යන කොවිඩ්-19 ආසාදන හා මරන සහ දැඩි සෞඛ්‍ය පියවර ගැනීම සඳහා ස්වාධීන සෞඛ්‍ය විශේෂඥයින්ගේ හදිසි ඉල්ලීම් මධ්‍යයේ, ඕනෑම අගුලු දැමීමකට විරුද්ධ විය.

රාජපක්ෂ විසින් අගෝස්තු 20 දා අකමැත්තෙන් වුවද පනවනු ලැබූ සීමිත අගුලු දැමීම් මධ්‍යයේ තවමත් විශාල ව්‍යාපාරිකයින්ට අත්‍යවශ්‍ය සේවාවන් ලෙස තම ව්‍යාපාර පවත්වාගෙන යාමට ඉඩ සලසයි. ආන්ඩුවේ සීමා පැනවීම් වල සඵලතාවය පිලිබඳව සෞඛ්‍ය විශේෂඥයින් සිය කනස්සල්ල පල කර තිබේ.

පසුගිය වසරේදී මහා ව්‍යාපාරිකයින් සඳහා අතිවිශාල සහන අරමුදල් ලබා දෙන ලෙස (මුලු එකතුව රුපියල් බිලියන 230 ක්) ජනාධිපති රාජපක්ෂ මහ බැංකුවට නියෝග කලේය. අනෙකුත් මූල්‍ය පහසුකම් සහ තවත් බදු සහන ද ලබා දෙන ලදී. නිදසුන් ලෙස බොහෝ ආයතනික බදු සියයට 14 සහ 18 දක්වා අඩු කරන ලද අතර එය දකුනු ආසියාවේ අඩුම රේට්ටුව යි.

රාජපක්ෂ, පසුගිය දෙසැම්බරයේ පැවති ලංකා වානිජ මන්ඩල සම්මන්ත්‍රනයකදී පැවසුවේ, ආයෝජකයින් කොරෝනා වෛරස් වසංගතය විසින් ලබා දී ඇති “අවස්ථාවන් ප්‍රයෝජනයට ගත යුතු” බවයි.

වෘත්තීය සමිතිවල පිටුබලය ලැබූ ආන්ඩුව, පසුගිය වසරේ මුලදී, රටේ පවතින සීමිත කම්කරු නීති පවා නොසලකා හරිමින්, හිතුවක්කාර ලෙස සේවකයින් ඉවත් කිරීමේ අයිතිය ව්‍යාපාරවලට ලබා දුන්නේය. වසංගතය සමඟ කටයුතු කිරීමේ ධජය යටතේ, සේවා යෝජකයින්ට වැටුප් කප්පාදු පැනවීමට, වැඩ බර වැඩි කිරීමට සහ සේවා කොන්දේසි කප්පාදු කිරීමට ද අවසර දෙන ලදී.

රාජපක්ෂ අගෝස්තු 20 දා ඔහුගේ සීමිත අගුලු දැමීමේ පියවර නිවේදනය කරමින්, “තවත් කැපකිරීම්” කිරීමට සූදානම් වන ලෙස ජනගහනයෙන් ඉල්ලා සිටියේය. මිලියන 1.4 ක් පමන වූ රජයේ සේවකයින්ගේ වැටුප් සියයට 50 කින් අඩු කරන ලෙස ආන්ඩුවේ ඇමතිවරු දැනටමත් උද්ඝෝෂනය කරති.

පසුගිය සතියේදී කැබිනට් මන්ඩලය නිවේදනය කලේ කොවිඩ්-19 සෞඛ්‍ය සේවා සහ ආරක්ෂක අරමුදල සඳහා මාසයක වැටුප පරිත්‍යාග කරන බවයි. මාසික වැටුපට වඩා ඉහලින් වෙනත් වරප්‍රසාද ලබන ආන්ඩුවේ සහ විපක්ෂ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැලඳගෙන ඇති “පරිත්‍යාගය” ඔවුන්ගේ මාධ්‍ය ප්‍රයෝගයකි. එය රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදු කිරීම සඳහා මහජන සම්බන්ධතා සූදානම් කිරීමේ ව්‍යායාමයකි.

සති දෙකක අගුලු දැමීම ආවරනය කිරීම සඳහා අඩු ආදායම්ලාභී පවුල් වලට රුපියල් 2,000 ක් ලබා දෙන බව ආන්ඩුව පවසා තිබේ. මෙය දිනකට එක් ආහාර වේලක් සඳහාවත් අගුලු දැමීමේ කාලය තුල ප්‍රමානවත් නොවේ.

විශාල ව්‍යාපාර දියුනු වන අතරම, අත්‍යවශ්‍ය භාන්ඩ සඳහා මිල ඉහල දැමීම නිසා වැඩ කරන ජනතාව පීඩාවට පත් වෙති. ජනවාරියේ සිට උද්ධමන රේට්ටු ඉහල යමින් පවතින අතර පසුගිය වර්ෂය සමඟ ගත්විට ජුනි මාසයේදී සියයට 6.1 ක් සහ ජූලි මාසයේදී සියයට 6.8 ක් ලෙස ඒම රේට්ටු ඉහල ගොස් තිබේ. ජූලි මාසයේදී ආහාර උද්ධමනය සියයට 11 ක් වූ අතර ආහාර නොවන ද්‍රව්‍ය සඳහා සියයට 3.2 ක් විය.

රාජපක්ෂ ආන්ඩුව විදේශ සංචිත පහත වැටීමකට මුහුන දී ඇති බැවින් (ඒවා ප්‍රමානවත් වන්නේ මාස දෙකක ආනයන සඳහා පමනි) අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාන්ඩ ආනයනය කිරීම තහනම් කර ඇත.

සංවර්ධන අධ්‍යයන ආයතනය විසින් මෑතකදී කරන ලද ගෝලීය සමීක්ෂනයකට අනුව, මූලික ආහාර මිලට ගැනීම අසීරුතම රටවල් ලැයිස්තුවේ සිරියාව, නයිජීරියාව සහ ඉතියෝපියාවට පසු ශ්‍රී ලංකාව හතරවන ස්ථානයේ පවතී.

අත්‍යවශ්‍ය ඖෂධ 60 කට උපරිම මිලක් නියම කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පසුගිය සතියේ ගැසට් නිවේදනයක් නිකුත් කලේය.

කෙසේ වෙතත්, ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මාධ්‍ය වෙත පැවසුවේ ඖෂධ බොහොමයක මිල සියයට 9 කින් ඉහල දැමීමට ඔහු ගැසට් පත්‍රය භාවිතා කල බවයි. ගැසට් පත‍්‍රයේ ලැයිස්තුගත කර ඇති ඖෂධ අතර කොවිඩ්-19 ආසාදිතයින් හෝ දියවැඩියාව සහ අධි රුධිර පීඩනයෙන් පෙලෙන අය සඳහා ලබා දෙන වේදනා නාශක ද ඇතුලත් වේ.

විශාල විදේශ නය කන්දරාවක ගිලී, අපනයන ආදායම පහත වැටීමට මුහුනදී සිටින රාජපක්ෂ තන්ත්‍රය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) වෙත යොමු වී ඇති අතර සාමාජික රටවල් සඳහා බැංකුවේ ඩොලර් බිලියන 650 වැඩසටහන යටතේ ඩොලර් මිලියන 800 ක පමන නයක් ලබා ගනු ඇත.

මුදල් සහ ප්‍රාග්ධන වෙලඳපොල පිලිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය සතියේ උද්දාමයෙන් ප්‍රකාශ කලේ, “අපි පුරෝකථනය කල ගලා ඒම එකින් එක සිදුවන” බව යි, එයට ඩොලර් මිලියන 300 ක නයක් චීනය විසින් ලබා දෙන බව ද එකතු කලේ ය.

ජාමූඅ අවධාරනය කර ඇත්තේ නය ලබා ගන්නා ඕනෑම රටක් තම ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා “ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ සටහන්” ක්‍රියාත්මක කල යුතු බවයි. වෙනත් වචන වලින් කිවහොත්, මෙම නය ගෙවනු ලබන්නේ රාජපක්ෂ ආන්ඩුව විසින් කම්කරු පන්තියට හා දුප්පතුන්ට එල්ල කරන වඩාත් නිර්දය කප්පාදු ප්‍රහාරයන් මගිනි.

හෙළදිව වාරි සංස්කෘතිය

වැව යන සිංහල වචනය පාලි හා සංස්කෘත භාෂාවල එන වාපි යන්නෙන් බිඳුණකි. පැරණි සිංහල සෙල්ලිපිවල මෙය වපි සහ වචි යනුවෙන් සඳහන් කරයි. වැව යනු ශ‍්‍රී ලාංකේය සංස්කෘතිය තුළ බිහි වූ අති විශිෂ්ටතම නිර්මාණයකි.

හංසනි දිල්හාරා

 ‘‘අපපකංපී’දිසෙ දෙසෙ සලිලං වුටඨි සමභවං

  විනා ලොකොපකාරෙන ජාතු මා ගඤජි සාගරං’’ 

 මහාවංශය තුළ සඳහන් වන මෙහි අර්ථය නම් ‘‘අහසින් වැටෙන එක දිය බිඳක් පවා මනුෂ්‍ය ප‍්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා නොයා යුතු ය’’ යන්න ය. හෙළදිව ජන සංස්කෘතිය හා ජලය අතර පැවැතියේ අවියෝජනීය සබඳතාවයකි. ජලයේ පවතින දේශපාලනික හා ආර්ථික වටිනාකම මැනවින් හඳුනාගත් පළමුවැනි පරාක‍්‍රමබාහු රජු ජලය නිසි ලෙස ප‍්‍රයෝජනයටයට ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙම පාඨය මඟින් ප‍්‍රකාශ කර ඇත. එ් අනුව විධිමත් ජල කළමනාකරණය පිළිබඳ අදහසක් මින් ඉදිරිපත් වන බව පැහැදිලි ය. ශ‍්‍රී ලාංකේය අතීත කෘෂිකාර්මික ජන ජීවිතය හා බැඳුණු ප‍්‍රධාන සංස්කෘතික අංගයක් වශයෙන් හෙළදිව වාරි සංස්කෘතිය පෙන්වා දිය හැකිය. 

 වැව යන සිංහල වචනය පාලි හා සංස්කෘත භාෂාවල එන වාපි යන්නෙන් බිඳුණකි. පැරණි සිංහල සෙල්ලිපිවල මෙය වපි සහ වචි යනුවෙන් සඳහන් කරයි. වැව යනු ශ‍්‍රී ලාංකේය සංස්කෘතිය තුළ බිහි වූ අති විශිෂ්ටතම නිර්මාණයකි. සංස්කෘතියේ සහ සභ්‍යත්වයේ මාහැඟි සංකලනයකි. වැව යන්න ගත්කල එය මූලික කොටස් කිහිපයකින් සමන්විත වේ. බිසෝ කොටුව, සොරොව්ව, ඇතුළුවාන, පිටවාන, කළිඟු බැමි, වැව් පිටිය, වැව් තාවුල්ල, ඉහත්තාව, ඉස්වැටි, වැඩඉනා මළු, පනම් බැඳි ගස්, බිසෝ වැව්, රැුළපනාව, රිඳී බැඳිල්ල, දියකැට පහන නවය, ඇළ මාර්ග ආදී වශයෙන් කොටස් ගණනාවක් මෙහිදී හඳුනාගත හැකිය. පුරාණ සිංහලයෝ විශේෂයෙන්ම ජලය පිළිබඳ සැලකිලිමත් වූහ. ඔවුන්ගේ ජීවන අර්ථ ක‍්‍රමය ගොඩනැඟී තිබුණේ ගොවිතැන මූලික කර ගනිමිනි. එහිදී ගොවිතැන් කටයුතු සඳහා වැයවන ජලය කෙරෙහි ඔවුන් දැක්වූයේ අසීමිත ඇල්මකි. ඉහළ වටිනාකමකි. සිංහල ගැමි අර්ථ ක‍්‍රමය ජලය රැුස්කර ගැනීම වටා ගෙතුණක් බව මහාචාර්ය රැුල්ප් පීරිස් මහතා ප‍්‍රකාශ කර ඇත්තේ ද එබැවිනි. විශේෂයෙන්ම ආදී සිංහල ජන ජීවිතය පෝෂණය කළ ගොවිතැන ගොඩනැඟුණේ වැව මූලික කර ගනිමිනි. 

 වැව සමඟ නිර්මාණ වූ වාරි සංස්කෘතිය වනාහී ගැමි ජන දිවියෙහි කොටසක් බවට පත් විය. පුරාණ සිංහල රජ දරුවන් ද ගොඩනැඟිලි ආදිය ඉදි කිරීමට වඩා වැව් තැනීම සඳහා යොමු වූ බව මහාවංශය, චූල වංශය, රාජාවලිය සහ පූජාවලිය වැනි පැරණි මූලාශ‍්‍රයන් සාක්ෂි දරයි. එමෙන්ම මෙරටට පැමිණි ආර්යයන් සිය ජනවාස පිහිටුවා ගනු ලැබුවේ ද දැදුරු ඔය, මල්වතු ඔය, මහවැලි ගඟ, මැණික් ගඟ, කිරිඳි ඔය වැනි ගංගා නිම්න ආශ‍්‍රිතව ය. පුරාණ සිංහල ගම්මාන පවා බොහෝ විට වැවක් කේන්ද්‍ර කොට ගනිමින් ඉදි වූ බව පැහැදිලි ය. වැව ජන ජීවිතයේ මෙන්ම රටෙහි ස්වයංපෝෂණය උදෙසා ද කළ මෙහෙය අපමණ ය. වැව සහ ගම අතර පවතින අවියෝජනීය බැඳීම මොනතරම් ද යන්න  පැහැදිලි කර ගැනීමට වැඩිදුර යා යුතු නොවේ. ඇතැම් ප‍්‍රදේශවල බොහෝ ගම් සඳහා නම් ලැබී ඇත්තේ ද වැවෙහි නාමයෙනි. නිදර්ශන වශයෙන් කරගස්වැව, දිවුලවැව, මහගල් වැව ආදිය පෙන්වා දිය හැකිය. වැව් බැඳි රාජ්‍යයේ ගමක සැකැස්ම තීරණය වූයේ වැවේ ස්වරූපය අනුව ය. වැව ගමක ඉහළ භූමියක තිබෙන අතර කුඹුර පැවැතියේ පහළ ප‍්‍රදේශයේ ය. වැවත්, කුඹුරත් අතර ප‍්‍රදේශයේ ගම පිහිටා තිබිණි. ඒ අනුව මෙරට ජන ජීවිතයේ ජීවන චක‍්‍රය නිරන්තරයෙන් වැව හා සමීප වෙමින් ගොඩනැඟුණු බව පැහැදිලි කරුණකි. සිංහල සභ්‍යත්වයත් සංස්කෘතියත් පිළිබඳව කතා කිරීමේ දී සිය ජීවිතය පවත්වාගෙන යෑමට විශාල දායකත්වයක් සැපයූ වැව ජන හදවතට සෑම අතින්ම සමීප වී තිබිණි. එහදී කාලගුණික දේශගුණික සාධක මෙන්ම විවිධ අභිචාර විධි ද සංස්කෘතික ජීවන රටාවන් ද සෑම කල්හිම සංස්කෘතිය සමඟ සමීප විණී. එහිදී විකාශනය වෙමින් ආ ගැමි ජන ජීවිතය තුළ තමා ජීවත් වූ පරිසරයෙන් පැන නැඟුණු අභියෝග සහ ඊට ඔහුගෙන් ලද ප‍්‍රතිචාර දඩයමින් ජීවත් වූ වනචාරී ජන ජීවිතයෙන් ඈත් වී කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වීමට රුකුලක් වූ අතර එහිදී බෙහෙවින් බලපෑම්කාරී සාධකය වූයේ වැවයි. ඒ අනුව වැව යන්න ගැමි ජන ජීවිතයෙහි වැදගත් සාධකයක් ලෙස බද්ධ විය. 

 ජලකළමනාකරණය වනාහී මෙරට සංස්කෘතියේ ප‍්‍රබල අනන්‍යතාවයකි. ලාංකේය ජන ජීවිතයෙහි ප‍්‍රධාන ආහාරය වන්නේ බත් ය. එකී හේතුව මත මෙරට තුළ ජල කළමනාකරණ සංස්කෘතික රටාවක් ගොඩනැඟිණි. ආර්ථිකය කෘෂිකර්මය මත පදනම් වීමත් ප‍්‍රධාන ආහාරය බත් වීමත් වැව සමඟ සංස්කෘතිය පෝෂණීය වීම කෙරෙහි බලපෑවේ ය. වැවකින් ජලය ලබා ගැනීමේ පිළිගත් සම්ප‍්‍රදායක් මෙරටෙහි විය. ජලය බෙදාහදා ගනිමින් ප‍්‍රයෝජනයට ගැනීමේ විධිමත් සම්ප‍්‍රදාය පිළිබඳ බුද්ධඝෝෂ මාහිමියන් විසින් සිත්බඳනා සටහනක් තබා ඇත්තා හ. සමන්ත පාසාදිකාවෙහි හමුවන එම විවරණය වැවෙන් ජලය ලබාගත යුතු ආකාරය පිළිබඳවත් එය සාධාරණව හෝ අසාධාරණව කළහොත් ඒ ඒ කාර්යයේ හොඳ හෝ නරක අනුව එහි ඵල විපාක විඳිය යුතු ආකාරය පිළිබඳවත් වැටහීමක් ලබා දෙයි. 

 ‘‘සියලූ දෙනාට පොදු යම් වැවක් ඇත්නම් ඒ වැවේ ජලයට සියලූ මිනිසුන්ම හිමිකම් කියනු ලබයි. එයට පහළින් ගොවිතැන් කරනු ලබයි. ගොයමට දිය ඇරීම පිණිස මහ ඇළක් වැවෙන් පිටවී කුඹුර මැදින් ගලායේ නම් එයද ගලා යන කල්හි සියලූ දෙනාට පොදු ය. ඒ මහ ඇළෙන් කුඩා ඇළවල් හරවාගෙන තම තමන්ගේ කුඹුරුවලට දිය ඇතුළු කරවති. ඒ දිය අනුන්ට ගන්නට නොදෙති. නියං කාලයෙහි දිය හිඟ වූ කල්හී පමණක් වාරයෙන් වාරයට දිය දෙති. දිය වාරය පැමිණි කල්හි යමෙක් දිය නොලබයි ද ඔහුගේ ගොයම් මැළවෙයි. එහෙයින් අනුන්ගේ වාරයේ දී අනිකෙක් ගන්නට නොලබයි. යම් කිසිවෙක් අනුන්ගේ කුඩා ඇළෙන් හෝ කුඹුරෙන් හෝ තමාගේ හෝ අනුන්ගේ හෝ ඇළට හෝ දොළට හෝ කුඹුරට හෝ සොර සිතින් දිය ඇතුළු කරවයි ද කැලෑව පැත්තට හෝ ගලා යන්නට සලසයි ද ඔහුට වරද පැමිණෙයි. යම් කිසිවෙක් මගේ දියවරය බොහෝ කලකින් වන්නේ ය. මේ ගොයම ද මැළවෙතැයි අනුන්ගේ කුඹුරට ඇතුළුවන දිය ඒ ඇතුළු වන මඟ වසා තමාගේ කුඹුරට ඇතුළු කරවයි නම් වරදම ය. ඉඳින් ජලය වැවෙන් පිට වන්නට පෙර හෝ අනුන්ගේ ඇළ කටට පැමිණෙන්නට පෙර හෝ ගලා එන දිය අනුන්ගේ කුඹුරට නොපිවිස තමාගේ කුඹුරටම ඇතුළු වන පරිද්දෙන් වියළි ඇළම තැනින් තැන බඳියි ද ජලය නික්මෙන්නට පෙර බැන්ඳා නම් යහපති. පිටවූ පසු බැන්ඳා නම් දඩ ගෙවිය යුතු ය. වැවට ගොස් තමාම සොරොව්ව හැර තමාගේ කුඹුරට දිය ඇතුළු කරන්නාට ද දොසක් නොවෙයි. කවර හෙයකින් ද යත් කුඹුර වැව නිසාම කරන ලද හෙයිනි’’ 

 වශයෙන් එහි විග‍්‍රහ වෙයි. මෙය ජලය පදනම් කරගත් සිංහල වාපි සංස්කෘතියේ එක් පැතිකඩක් පිළිබඳ වැදගත් විස්තරයක් බව කිව යුතු ය. විශේෂයෙන්ම වැව පදනම් කරගත් සිංහල සංස්කෘතිය මඟින් ගෘහ නිර්මාණ, කලා ශිල්ප, සාහිත්‍ය කලා ආදී සියලූ කලා සම්ප‍්‍රදායන් වර්ධනය විණි. සිංහල ජාතියේ ඉතිහාසය ගොඩනැඟීමෙහි ලා හේතු වූ වාරි කර්මාන්තය පිළිබඳ පුරාතන ගැමියා තුළ ඇත්තේ අප‍්‍රතිහත ගෞරවයකි. මෑත අතීතයේ දී ද වැව පදනම් කරගත් ජන වහර මෙන්ම ජන සාහිත්‍ය ගොඩනැඟී තිබීම දැකගත හැකිය. 

 ඔබත් මොබත් ඔබ සොරබොර වැවාණෝ

 අඬා දිය ගලන මහවැලි ගඟාණෝ

 දිය නොසිඳෙයි ඔබ මහවැලි ගඟාණෝ

 නිල්මල් බිසව් දිය කෙළිනා වැවාණෝ 

 ආදී වශයෙන් සිංහල ජනශ‍්‍රැතිය තුළ ජන කවි නිර්මාණය වී තිබීම දැකගත හැකි විණි. ගැමි ජන විඥානය පිළිබිඹු වන ජන කවිය මඟින් වැව හා බැඳුණු හෙළ සංස්කෘතිය විද්‍යාමාන කරයි. ගැමි ජන සාහිත්‍ය තුළින් ගැමියාගේ දරිද්‍රතාවය, ජීවන අරගලය මෙන්ම සෞන්දර්ය කුසලතාවය ද මනාව පිළිබිඹු විය. 

 වැව් ඉස්මත්තේ හේනක් කොටලා රුවට

 වපුරා කුරක්කන් හොඳ හැටි පැසුණ විට

 අටු කොටු පුරවලා අග හඟ නො වන්නට

 කැන්ඳා එමි නෑනේ නුඹ මගේ පැලට 

 කෘෂිකාර්මික ජීවන රටාව ගොඩනැඟුණු මෙරට සංස්කෘතිය පෝෂණය වූයේ විජයාගමනයෙන් ආරම්භ වූ අනුරාධ ග‍්‍රාමය මූලික කර ගනිමින් ඇති වූ නව කෘෂිකාර්මික දියුණුව සමඟින් බව විචාරක අදහසයි. ආදිතම සංක‍්‍රමණිකයන් විසින් ජලය රැුස්කොට පළමුවරට තනනු ලැබූ වැව අනුරාධපුරයේ ඇති වූ බව සිතිය හැකිය. වී වගාවට සුදුසු රජ රට තැනිතලා භූමිය කෙරෙහි ඔවුන්ගේ නෙත් සිත් ඇදී ගියේ ය. මහාවංශයේ දක්වන පරිදි එසේ නිම වූ ආදිතම වැවක් වූයේ ක‍්‍රිස්තු පූර්ව හතරේ දී ඉදි වූ වර්තමානයේ බසවක්කුලම නමින් හඳුන්වනු ලබන වැවයි.’’ 

 මාර්ටින් වික‍්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කරන ආකාරයට ශ‍්‍රී ලාංකේය සංස්කෘතිය ගොඩනැඟී ඇත්තේ විජයාගමනය සමග නොව මෙරට තුළ කෘෂිකාර්මික ජීවන ක‍්‍රමය මත පදනම් වූ වැව් සංස්කෘතිය කේන්ද්‍රකර ගනිමිනි. අනුරාධ සෙනෙවිරත්න මහතා සිය පුරාණ සිංහල වාරි සංස්කෘතිය යන කෘතිය තුළ සිංහල සංස්කෘතිය සහ වාරි කර්මාන්තය අතර පවතින සබඳතාවය මෙසේ විග‍්‍රහ කරයි. 

 ‘‘දිවයිනේ බහුතර ජනකාය වූ සිංහලයන්ගේ ශිෂ්ටාචාරය වාරිමාර්ග ක‍්‍රමෝපායන් මත රඳා පැවැතියකි. මේ ක‍්‍රියාදාමය ඔස්සේ ආදී සිංහල ජනයා ස්වකීය ජල කළමනාකරණ ශක්‍යතාව මත නිර්මිත වූ මුල් කාලීන ශිෂ්ටාචාරය තුළින් මානව වංශයේ විශිෂ්ට ස්ථාවරයකට පත් විය. මෙම සම්ප‍්‍රදායේ එක් ලක්ෂණයක් වූයේ සිංහලයා සතු වූ සංවර්ධිත වාරි තාක්ෂණික ඥානය වන අතර අනෙක නම් ලෝකයේ විස්මිත නිර්මාණයක් හා එක් බඳු වූ ඔවුන් නිමැවූ බෞද්ධ ස්මාරකයන් ය. ආගමික හා වාරි තාක්ෂණික යන උභයාංගයන් සංගෘහිතව නිපදවුණු මෙම සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය නමින් මෙලෙස හැඳින්විය හැකිය. මේ සභ්‍යත්වයෙන් අහේද්‍ය වූ වැව හා දාගැබ සිංහල බෞද්ධ සංස්කෘතියේ සංකේතයන් ය.’’ 

 සිංහල වාපි සංස්කෘතිය පිළිබඳ බද්දේගම විමලවංශ හිමියන් මෙසේ සඳහන් කරති. 

 ‘සිංහල සංස්කෘතිය හැඩගැසී ගියෙත්, දියුණුවට පත්වූයෙත් වැව නිසයි. එයට දාගැබ එක් වීමෙන් පසු සිංහල බෞද්ධ සංස්කෘතිය ඔපවත් විය. හෙළ හැඳියාවේ අංග ලක්ෂණ මේ තුළින් දැකගත හැකිය.’’ 

 වාරි සංස්කෘතිය තුළ ගොඩනැඟුණු චාරිත‍්‍ර වාරිත‍්‍ර, ඇදහිලි, විශ්වාස රැසකි. 

සුම්බරේ බැඳන් හක්මන් වැවේ නැති

පච්චවඩම් බැඳ වෑ කඳු මත නොයෙති

හරක් රංචු වෑකන්දෙන නොදක්කති

නොඑන ගමනවත් වෑකන්දෙන් නොයති

 ඡුටා, හිස්වැසුම් පැළඳ වැව වටේ ඇවිදීම වැවට සිදුකරනු ලබන අගෞරවයක් විය. පච්චවඩම් නැතහොත් රක්ත පැහැ ඉන හැඳ ඇඳ පැළඳගෙන තොවිල්, ශාන්තිකර්ම, දේව පූජා, පවත්වමින් වැව් බැම්ම මතින් ගමන් කිරීම නොකටයුත්තකි. පුණ්‍ය චේතනාවෙන් ආශිර්වාද ලද වැව් දියවර වෙනත් දෘෂ්ටිවාද හා ඇදහිලිවලින් කිලිටි විය යුතු නැත. ගව රංචු වෑකන්ද මතින් ගමන් කරවීම වැව් බැම්ම බිඳී යෑමට හේතු වෙයි. නොඑන ගමන් යෑම හෙවත් මළමිනී වැව් බැම්ම මතින් රැුගෙන යෑම වැවට කරනු ලබන අගෞරවයකි. අතීත ගැමියා තුළ වැව පිළිබඳ පැවැති ගෞරවය මෙකී කවිය තුළින් මනාව පිළිබිඹු වේ. 

 ශ‍්‍රී ලාංකේය සංස්කෘතියෙ ස්වාධීනත්වයට පදනම සකස් වූයේ වැව සහ වී ගොවිතැනෙනි. එමෙන් ම ජලකර්මාන්තය පදනම් කරගත් මෙරට ආර්ථික රටාව මඟින් පන්සල ද පෝෂණය විය. විශාල වැව් තැනූ බොහෝ රජවරු වෙහෙර විහාර ද පූජාකොට ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. වසභ රජු ඇළහැර යෝධ ඇළේ ආදායම තිස්ස වඞ්සාමානක විහාරයට පූජාකර ඇත. තවද මින්නේරිය වැව කළ මහසෙන රජතුමා මින්නේරිය දෙවියන් නමින් හැඳින්වූ අතර මින්නේරි සාමි, මින්නේරියේ හත් රජ්ජුරු බණ්ඩාර යන නම්වලින් ද හඳුන්වා දුණි. එමෙන්ම වැව් හා බැඳි දෙවිවරුන් පිළිබඳවත් ඉතිහාසය සඳහන් කරයි. වැව් බැඳි රටට අධිපති දෙවියන් වශයෙන් හඳුනාගන්නේ අයියනායක දෙවියන් ය. වැවට අධිපති දෙවියන් වන්නේ ද අයියනායක දෙවියන් බව සමාජ පිළිගැනීම වේ. අත්තප්පා, මුත්තප්පා ආදී නම්වලින් ද අයියනායක දෙවියන් හඳුන්වන අතර වැව් බැඳි රටෙහි ජනයා වන්නියා බණ්ඩාර යන නමින් ද දමිළ බසින් කයියර් යන නමින් ද අයියනායක දෙවියන්ට ආමන්ත‍්‍රණය කිරීම සිදුවේ. මින්නේරි වැවට අධිපත් මින්නේරි දෙවියන් පිළිබඳවත්, පදවිය වැවට අධිපති පදවි දෙවියන් පිළිබඳවත්, කලා වැවට අධිපති වන සෙනෙවිරත්න බණ්ඩාර, කඩවර දෙවියන් පිළිබඳවත්, නුවර කලාවිය පුල්ලෙයාර් මුත්තා යන දෙවියන් පිිළිබඳවත් ගැමි ජන සංස්කෘතිය විශ්වාස කරයි. ඒ අනුව ශ‍්‍රී ලාංකේය ගැමි සංස්කෘතිය වනාහී වාරි සංස්කෘතියෙන් පෝෂණය වූවකි. විශේෂයෙන්ම ඉහළ ගෞරව බහුමානයට පාත‍්‍රවන වැව වූ කලී සිංහල සංස්කෘතියෙහි විශිෂ්ටතම ජන උරුමයක් වන බව අවසාන වශයෙන් සඳහන් කළ හැකිය.

 

 ආශ‍්‍රිත ග‍්‍රන්ථ සහ මූලාශ‍්‍ර:

 අනුරාධ සෙනෙවිරත්න, සිංහල සමාජය හා සංස්කෘතිය - 1996

 ගුණසිරි වීරසූරිය, සිංහල සමාජය හා සංස්කෘතිය - 2006

 මිලින්ද මායාදුන්න, සංස්කෘතිය (සමාජ විද්‍යාත්මක ප‍්‍රවේශයක්*)- 2019

මොකද්ද මේ කොළඹ වරායෙ නැගෙනහිර පර්යන්තයේ කථාව

විශ්ව චින්තන

මොකද්ද මේ කොළඹ වරායෙ නැගෙනහිර පර්යන්තයේ කථාව..?? ඇයි ඕක ඔච්චර වැදගත්..?? බොහෝ දෙනා නොදන්න දැනගත යුතු ඇතුලත කථාවක්.. මුලින්ම කොළඹ වරාය ගැන කෙටි අවබෝධයක් ලබා ගමු.. කොළඹ වරාය මෙහෙයුම් සිදුවන බහාළුම් පර්යන්ත 4 කින් සමන්විත වේ.



1. ජය බහාළුම් පර්යන්තය (JCT)

මෙය වරාය අධිකාරියට අයත් ප්‍රධානතම පර්යන්තයයි.. කොටුවේ සිට කොටහේන දෙසට යන විට කහ පැහැති දැවැන්ත දොඹකර සහිතව දිස්වන්නේ මේ කිලෝමීටර් 1.64ක් දිග මෙම පර්යන්තයයි.. නමුත් මේ පර්යන්තයට මෙහෙයවීමට හැකියාව ඇත්තේ බහාළුම් ධාරිතාවය 10,000 (TEU) සිට පහළට ඇති නෞකා පමණි.. ඊට හේතුව මෙම පර්යන්ත තටාක ගැඹුර මීටර් 15 - 12.5 අතරට සීමා වීමයි.. බහාළුම් ධාරිතාවය 9000ට වැඩි නෞකා සදහද මෙම පර්යන්තයේ ඇත්තේ තටාක 2ක් පමණි.. සෙසු තටාක ප්‍රදේශ නොගැඹුරු බැවින් එම ප්‍රමාණයේ නෞකා හෝ මෙහෙයවීමට හැකියාව නැත..

2. සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (SAGT)

පිටත සිට බලන්නෙකුට රතු සුදු වර්ණ ගැන්වූ ගැන්ට්‍රි දොඹකර සහිතව වෙන්ව හඳුනාගත හැකි මෙම පර්යන්තය 1999 වසරේදී P&O - JKH සමාගමට පවරා දුන් ක්වීන් එලිසබත් ජැටියයි (QEQ).. සමාගම් කිහිපයක අතින් අතට ගිය මෙම පර්යන්තයේ වත්මන් හිමිකාරීත්වයෙන් 42%ක් ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගමටද, 26%ක් ඩෙන්මාර්කයේ Mearsk නෞකා සමාගමටද, 15%ක් වරාය අධිකාරියටද, 7%ක් ඩෙන්මාර්කයේ A.P Moller සමාගමටද, 5%ක් තායිවානයේ Evergreen සමාගමටද, ඉතිරි 5% කොටස් ආයෝජකයන් සතුවද පවතී.. මෙම පර්යන්ත තටාකයද මීටර් 15ක් ගැඹුරින් යුතු අතර එහිද මෙහෙයවිය හැක්කේ ජය බහාළුම් පර්යන්තයට සමාන මධ්‍යම ප්‍රමාණයේ නෞකා පමණි.. නමුත් මෙහි මීටර් 940ක් දිග පර්යන්තයේ බහාළුම් ධාරිතාව 10,000 (TEU) ප්‍රමාණයේ නෞකා 3ක් එකවර මෙහෙයවීමට හැකිය..

3. කොළඹ ජාත්‍යන්තර බහාළුම් පර්යන්තය (CICT)

ගාලු මුවදොර සිට බැලූ විට පෝර්ට් සිටි ව්‍යාපෘතියට යාබදව කුණු ලේ පැහැති ගැන්ට්‍රි දොඹකර සහිතව දිස්වෙන මෙම පර්යන්තය අද වන විට කොළඹ වරායේ ඇති සුවිශේෂීම පර්යන්තයයි.. 2013 වසරේ මෙහෙයුම් ඇරබූ මේ පර්යන්තයේ තටාකයේ ගැඹුර මීටර් 18ක් වන අතර අද ලොව පවතින විශාලතම බහාළුම් නෞකා මෙහෙයවීමේ හැකියාවෙන් යුක්තය.. ලෝකයේ මේ වන විට දිග දුර ප්‍රවාහන නෞකාවලින් අතිබහුතරය බහාළුම් 10,000 (TEU) ඉක්මවන නෞකා බැවින් එම නෞකා වලට කොළඹ වරායේ පැමිණිය හැකි දැනට මෙහෙයුම් කරන එකම පර්යන්තය මෙයයි.. වරායේ වාර්ශික බහාළුම් මෙහෙයුමේ වැඩිම පංගුව අයත් වන්නේද මීටර් 1,200ක් දිගැති මෙම පර්යන්තයටය.. දකුණු කොළඹ වරාය ව්‍යාපෘතිය යටතේ චීනයේ චයිනා මර්චන්ට් පෝර්ට් හොල්ඩින් සමාගම මුල් වී ඉදිකල මෙම පර්යන්තයේ 85%ක හිමිකාරීත්වය වසර 35ක් සදහා එම සමාගම සතුය.. ඉතිරි කොටස් 15%ක් වරාය අධිකාරියද සතුය.. (මෙම පර්යන්ත තටාකය සතු වැඩි ගැඹුර එහි සීග්‍ර වර්ධනයට ප්‍රධාන හේතුව වන අතර එම සීග්‍ර වර්ධනය පහළ දැක්වෙන වාර්ශික බහාළුම් ප්‍රමාණ සංඛ්‍යාලේඛණයෙන් මනාව දැක ගත හැකිය..අපේ කථාවේ මාතෘකාව වන නැගෙනහිර පර්යන්තයද මෙම CICT පර්යන්තයට සෑම අතින් සමාන වන බව මතක තබා ගන්න..)

2013 - 57,541
2014 - 686,636
2015 - 1,561,899
2016 - 2,002,599
2017 - 2,388,531
2018 - 2,676,194
2019 - 2,900,000 +
4. යුනිටි බහාළුම් පර්යන්තය (UCT)

වරාය අධිකාරියට අයත් මෙම පර්යන්තය දිගින් 590ක්ද තටාක ගැඹුර මීටර් 9 - 11ක්ද වන අතර කුඩා නෞකා පමණක් මෙහෙයවිය හැක.. මෙම පර්යන්තය වරායේ ප්‍රධාන පර්යන්තයක් ලෙස සැලකිය නොහැක..

මොකක්ද මේ ආන්දෝලනයට තුඩු දෙන 'නැගෙනහිර බහාළුම් පර්යන්තය' (ECT)..??
මතක නේ උඩ කියපු යුගයට අත්‍යාවශ්‍ය ගැඹුරක් සහිතව තියෙන චීන කොම්පැණියක් මෙහෙයවන CICT එක.. එම දකුණු කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතියටම අයිති නැගෙනහිර පර්යන්තය (ECT) කියන්නෙ CICT එකේ නිවුන් සහෝදරයා කිව්වොත් හරි.. ප්‍රමාණයෙන්ද එම පර්යන්ත දෙක සමානයි (මීටර් 1,200ක් දිග, මීටර් 18ක් ගැඹුර).. අදාල සම්පූරණ ව්‍යාපෘතියෙ වරාය අධිකාරියට ගෙඩිය පිටින් අයිතිය තියෙන පර්යන්තය තමයි මේ ECT එක..

මේ පර්යන්තය ඉදි කිරීම අධියර 3කින් අවසන් කරන්න තමයි වරාය අධිකාරිය සැලසුම් කරේ.. ඒ අනුව ලංකා බැංකුවෙන් ලබා ගත් ඩොලර් මිලියන 80ක ණය මුදලක් උපයෝගී කර 2015 අවුරුද්ද ලබන කොට මේ ECT එකේ මීටර් 440ක් දිග පර්යන්ත තටාකයක් සහිත මුල් අධියරේ ඉදිකිරීම් 95%ක් අවසන් කරන්න වරාය අධිකාරිය සමත් උනා..

ඉතිරි වෙලා තිබුනෙ එම කොටසට අවශ්‍ය දොඹකර ඇතුළු උපකරණ සවි කරලා 2015 වසර අග වන විට වරාය අධිකාරියට සම්පූරණයෙන් අයිති කොළඹ වරායෙ එකම ගැඹුරු පර්යන්ත කොටසෙ මෙහෙයුම් පටන් අරන් තමන්ගෙන් ගිලිහෙමින් තිබුණු වෙළඳ තරඟයට නැවත පිවිසෙන්න.. ඊට අවශ්‍ය දොඹකර ඇතුළු නවීන උපකරණවලට පවා රාජපක්ෂ රජය ඇනවුම් පවා ලබා දී තිබුනු නමුත් 2015 ජනවාරි 08 වනදා බලයට ආ යහපාලන ආණ්ඩුව ඒ ඇනවුම්ද අහෝසි කර වරාය අධිකාරියේ සැලසුම් සියල්ල අවුල් කර දැම්මා..

 නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියට අතිශයින් වැදගත් ඇයි..??

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් විශේෂයෙන් අවධාරණය කරන්න ඕනැම වැදගත්ම කාරනයක් තියෙනවා.. ඒ තමයි CICT එකටවත් නැනි සුවිශේෂී වාසියක් මේ ECT එකට තියෙනවා..

ඒක තේරුම් ගන්න බලන්න ඔය මේ පෝස්ට් එකට අමුනලා තියෙන වරාය සැලැස්ම..
ඒකෙ හොදින් බලන්න ECT එකේ සහ SAGT එකේ පිහිටීම..

ඒ පර්යන්ත දෙක එකතු උනොත් එක පැත්තක මීටර් 18ක් ගැඹුරු මව් නෞකා (Mother Ships) සදහා පර්යන්තයකුත් අනිත් පස මීටර් 15ක් ගැඹුරු කලාපයේ බෙදාහැරීම් කරන මධ්‍යම සහ කුඩා ප්‍රමාණයේ නෞකා සදහා (Feeder Ship) පර්යන්තයකුත් සහිත සුවිශේෂී පර්යන්තයක් නිර්මාණය වෙනවා..

එහි විශේෂත්වය තමයි මේ සුවිශේෂ පර්යන්තය පාවිච්චි කරන බහාළුම් හිමිකරුවන්ට අන්තර්පර්යන්ත හුවමාරු (Inter Terminal Transit - ITT) වියදම් කපා හරින්න අවස්ථාව ලැබෙනවා.. ඒ කොස්ට් එක කපා හරින්න හැකි නම් ලැබෙන වාසිය ලොකු ප්‍රමාණයක්.. කොළඹ වරායේ අන් කිසිඳු පර්යන්තයකට නැති සුවිශේෂ වාසියක් තමයි ඒක.. ඒ අනුව ECT එක මගින් CICT එකටත් අමතර අභියෝගයක් එල්ල වෙනවා..

 නැගෙනහිර පර්යන්තය සමග වරාය අධිකාරියට තිබුනු බැඳීම..??

නැගෙනහිර පර්යන්තයේ මෙම සුවිශේෂී පිහිටීම නිසා ජෝන් කීල්ස් සමාගමට වැඩි කොටස හිමි SAGT සමාගමත් වැඩි කොටස හිමි CICT සමාගමත් මුල සිටම වරාය අධිකාරියෙන් නැගෙනහිර පර්යන්තය ඩැහැ ගැනීම සඳහා මුල සිටම විවිධ උත්සහයන් දැරූ නමුත් 2015 වන තෙක් රාජපක්ෂ ආණ්ඩුව යටතේ තිබූ වරාය අධිකාරියේ පාලනාධිකාරිය කිසිදු ඉඩක් තැබුවේ නැත.. ඒ වෙනුවට වරාය අධිකාරියේ පාලනාධිකාරිය උත්සහ කලේ විවිධ වෙළඳ උපක්‍රම හරහා SAGT පර්යන්තයේ මෙහෙයුම් තම ජය බහළුම් පර්යන්තය (JCT) වෙත ලබා ගෙන SAGT කොටස්කරුවන්ට ආර්ථික පීඩනයක් ඇති කොට තමන්ට ඉතා වැදගත් පිහිටීමක ඇති SAGT පර්යන්තය සම්පූරණයෙන් හෝ කොටස් වශයෙන් එහි ගිවිසුම කල් පිරෙන 2030 වසරට පෙර හැකි ඉක්මනින් නැවත අත්පත් කර ගැනීමය..

ඒ සදහා ප්‍රධාන නැව් සමාගම් තෝරා ගෙන ඔවුන්ගේ බහාළුම් ඉතා අවම ගාස්තු යටතේ මෙහෙයවීම, තම පර්යන්ත නවීකරණය කිරීම සහ පුළුල් කිරීම, මෙහෙයුම් කටයුතු කාර්යක්ෂම කිරීම වැනි විවිධ උපක්‍රම වරාය අධිකාරිය ක්‍රියාත්මක කල අතර එම ක්‍රමවේද සාර්ථක වූ ආකාරය පහත පර්යන්ත වාර්ශික මෙහෙයුම් ප්‍රමාණය (JCT vs SAGT) 2010 -2015 කාලයේ වෙනස් වී ඇති ආකාරයෙන් මනාව පෙනේ.. එම කාලය තුල SAGT මෙහෙයුම් ක්‍රමයෙන් පහළ බසින අතර ඔවුන්ගේ ප්‍රධානතම තරඟකරුවා වන JCT මෙහෙයුම් වර්ධනය වන ආකාරය පැහැදිළිව පෙනේ.. එසේම යහපාලනය යටතේ (2015 - 2019) වරාය අධිකාරිය පවත්වා ගත් වෙළඳ උපක්‍රම වෙනස් කිරීමත් සමඟ ඉහත කී වෙනස නැවත ආපස්සට වෙනස් වන ආකාරයද මේ සංඛ්‍යා ලේඛණයෙන්ම දැක ගත හැකිය.

වාර්ශික මෙහෙයුම් ප්‍රමාණය (පර්යන්ත) 2010 - 2019 (TEU)

ජය බහාළුම් පර්යන්තය (JCT - SLPA)
2010 - 2,167,173
2011 - 2,299,446 (+)
2012 - 2,316,849 (+)
2013 - 2,501,863 (+)
2014 - 2,559,339 (+)
2015 - 2,252,323 (-)
2016 - 2,100,117 (-)
2017 - 2,010,702 (-)
2018 - 2,304,534 (+)
2019 - 2,352,765 (+)

සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (SAGT - JKH)
2010 - 1,970,268
2011 - 1,963,441 (-)
2012 - 1,870,271 (-)
2013 - 1,746,802 (-)
2014 - 1,661,940 (-)
2015 - 1,371,245 (-)
2016 - 1,632,207 (+)
2017 - 1,809,835 (+)
2018 - 2,066,758 (+)
2019 - 2,073,661 (+)

* සැ.යු.: SAGT පර්යන්තයේ උපරිම ධාරිතාවය තමයි 2,000,000+ TEU

 නැගෙනහිර පර්යන්තය අත්පත් කර ගැනීමේ පොරයට හේතුව..??
දින දින සංවර්ධනය වන වෙළඳ නෞකා ක්ශ්‍රේත්‍රයේ වර්ධනය අනුව දැන් අන්තර්මහද්වීපික බහළුම් හුවමාරුවේ විශාල කොටස රඟ දක්වන්නෙ අති විශාල නෞකා බව ඉහළ සදහන් කරා.. ඒ නෞකා සදහා ප්‍රමාණවත් පර්යන්ත ලෝකයේම බහුල නැහැ.. උදාහරණයක් ලෙස බහාළුම් 22,000ක් ගෙන යා හැකි විශාල නැවක මෙහෙයුම් කිරීමට අවශ්‍ය ගැඹුර සමඟ ලෝකයේම තියෙන්නෙ පර්යන්ත 30 ක් පමණ තමයි.. ඒ අතර කොළඹ සහ අනාගතයේ ඉදිවන හම්බන්තොට වරායත් තියෙනවා..

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පිහිටීම එක්ක අපේ වරාය තුලින් වෙන්නෙ විශාල වශයෙන් ප්‍රතිනැව්ගතකරණය නැත්නම් ට්‍රාන්සිට් දිග දුර ප්‍රවාහන විශාල නෞකා සහ අවට රටවල නොගැඹුරු වරායන් වෙත සහ ඒවායින් බහාළුම් රැගෙන යන එන මධ්‍යම ප්‍රමාණයේ නෞකා සම්බන්ධ කිරීම තමයි..

මේ තත්වය තුල ගැඹුර සහිත පර්යන්ත හිමිකරුවො ජයග්‍රාහකයො වෙද්දි ඒවා අහිමි අයට අනුන් මත යැපෙන්න හෝ පරාජිතයන් ලෙස පිටියෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා..
විශේෂයෙන් නැගෙනහිර පර්යන්තය සහ SAGT ඒකාබද්ධ වෙන සුවිශේෂ පර්යන්තය අනාගතයේ අතිශය වැදගත් වෙන්නෙ ඒ නිසයි.. යම් ආකාරයකට මේ පර්යන්ත දෙකම අත්පත් කර ගන්නා පාර්ශවය කොළඹ වරායේ ප්‍රමූඛයා වෙන එක කිසිසේත් වලක්වන්නත් බැහැ..

මේ අතරෙ SAGT පර්යන්තයේ ගිවිසුම 2030 දී කල් පිරෙනවා.. යම් ආකාරයකින් නැගෙනහිර පර්යන්තයේ කොටසක් ඉන්දියාව සමඟ එක්ව අත්පත් කර ගන්නට SAGT පර්යන්තයේ වැඩි කොටස උනු ජෝන් කීල්ස් සමාගම සමත් උනොත් අනිවාර්යයෙන් ඔවුන් SAGT ගිවිසුමත් තව කාලයකට දිගු කර ගන්න සියළු බලපෑම් කරමින් උත්සහ කරනවා..

මේ සටනින් වරාය අධිකාරිය ජය ගත්තොත් නියත ලෙසම ඔවුන් හැකි ඉක්මනින් SAGT පර්යන්තය නැවත අත්පත් කර ගන්න උත්සහ කරනවා.. අඩුම තරමින් 2030 කල් පිරෙන ගිවිසුම යලි දිගු කිරීමකට තියෙන ඉඩ එතනින්ම අහුරා දැමෙනවා..

'' නැගෙනහිර පර්යන්ත ඊණියා අවබෝධතා ගිවිසුමෙන් ජපානය හැලේ.. කොල්ලකෑමට ඉන්දියාව සමඟ ජෝන් කීල්ස් එයි..'' කියන වරාය සේවකයන්ගේ චෝදනාව යථාර්තවාදී සත්‍ය චෝදනාවක් වෙන්නෙ මෙන්න මේ සන්දර්භය ඇතුලෙ තමයි..

යම් හෙයකින් මේ අවස්ථාවේ වරාය අධිකාරියට නැගෙනහිර පර්යන්තය අහිමි උනොත් ඔවුන්ගේ අවසානයේ ආරම්භය මෙතැනින් සිදු වෙන බව වරාය සේවකයන් කියන්නේ ඇයි..??

මෙතෙක් කියපු කථාව ගැන අවබෝද උනා නම් ඒක තේරෙන්න ඕනැ..

මීට අමතරව යහපාලනය ඉන්දියාව සහ ජපානය සමග අත්සන් කල හිල් ගොඩක් සහිත ගිවිසුම ගැන සහ ලංකාව සම්බන්ද ඉන්දියාවේ කුහක ප්‍රතිපත්ති ගැන වෙනම කථා කරමු..

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ වරාය අධිකාරිය රටේ මහජන සම්පතක්.. ඒකට තියුනු අභියෝගයක් එන වෙලාවෙ වරායේ සේවකයන් සමග එක් වී එම සම්පත රැක ගැනීම සියළු දේශමාමක ජනතාවගේ වගකීමක්..!!!

නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ සේවක සටන දිනේවා..!!!

ඩඩ්ලිගේ වී මාෆියාව

නිර්මාල් රංජිත් දේවසිරි 

අජිත් පැරකුම් ජයසිංහ "දැක්මක් ඇති ජනාධිපතිවරයෙක් නම් ඩඩ්ලි වගේ ව්‍යාපාරිකයන්ට කෙළවන්නට හදන්නේ නැත" යනුවෙන් ප්‍රකාශයක් කර ඇත. මගේ අදහස නම් අධිපති ආර්ථික සංවර්ධන දෘෂ්ටිකෝණයෙන් සලකා බැලුවද ඩඩ්ලි සිරිසේන යනු අගය කළ යුතු ව්‍යාපාරිකයෙක් නොවේ. ලංකාවේ සහල් බෙදා හැරීම මෙවැනි ව්‍යාපාරිකයින්ට පවරා දීම ගොවියාගේ පැත්තෙන් මෙන්ම පාරිභෝගිකයාගේ පැත්තෙන්ද නොමනා ක්‍රියාවකි. මෙය ඉතා පහසුවෙන් කාර්යක්ෂම සමූපකාර ක්‍රමයක් හරහා කළ හැක්කකි. ඩඩ්ලි වැනි ව්‍යාපාරිකයින් කලේ 77 ආණ්ඩුව විසින් දුෂ්ට ලෙස විනාශ කර දමන ලද වී බෙදාහැරීමේ ජාලය වෙනුවෙට දේශපාලන අනුග්‍රහය යටතේ නව වී වෙළඳ මාෆියාවක් ගොඩ නැංවීමයි. ඒ මගින් වී සම්බන්ධයෙන් ඊනියා නිදහස් වෙළඳ පොළක් තහවුරු නොවීය. 


ඒ වෙනුවට රාජ්‍ය බලය අවභාවිත කොට ගොවියා මත අධි සූරාකෑමක් පතිත කොට වෙළද පොළ හසුරුවමින් අති දැවැන්ත ධනස්කන්ධයක් කඳු ගැසීමයි. ඩඩ්ලිගේ සූදු කෙලීමේ පුරුද්ද ගැන සොයා බැලීම පමණක් මේ ධනස්කන්ධය අවබෝධ කරගැනීමට ප්‍රමාණවත්ය. අඩුම තරමින් මේ ධනස්කන්ධය ප්‍රයෝජනවත් ආර්ථික ක්‍රියාකාරකම්හී ආයෝජනය කිරීමේ නැඹුරුවක් හෝ තිබුණානම් මේ අධි සූරාකෑම යම් තරමකට හෝ සාධාරණීකරණය කිරීමට ඉඩ තිබුණි. මා දන්නා තරමට එවැන්නක් ද සිදුවී නොමැත.

ඒ නිසා මෙවැනි ව්‍යාපාර ජාල විනාශ කර දැමීම ගොවීන්ගේ පැත්තෙන් නම් කළ යුතුම දෙයකි.

කොරෝනා තුළින් රටේ හැම දේම යටපත් කරන්න හදන්නෙපා

ලෝක තෙල් මිල අඩුවෙද්දි අපේ රටේ මිල වැඩි කරනවා. අයිඕසී එක මගින් වැඩි කරන තෙල් මිලේ වාසිය යන්නේ කොහෙටද.....

මොන යුද්ධය ජය ගත්තත් පලක් නැහැ, ආර්ථික යුද්ධය ජයගන්න බැරිනම්......

අද පක්ෂය තුල නොමැති පිරිස් පිළිබදව එක්සත් ජාතික පක්ෂයට අදාළ  කතා කරලා පලක් නැහැ ........

එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ගිහින්, පක්ෂය කඩාවට්ටන්න දගලන     පිරිස් අද වැඩකරන්නේ ළදරු පාසැල්වත් නොගිය ආකාරයට........

ආගමක් වගේ පක්ෂය අදහන, සුරකින , ආදරය කරන ජනතාවට මේ පක්ෂය ආරක්ෂා කරදීමට අපි බැදී සිටිනවා....

(හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා මාධ්‍යට අදහස් දක්වමින් අවධාරණය කරයි. )



මේ වනවිට රටේ බොහෝමයක් සත්‍ය විකෘති කරලා තමයි වැඩකටයුතු සිදුකරන්නේ. මේ වනවිට ජනතාවට පොහොර ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. අපි 2015 බලයට පත්වූ අප ඒ වස්ථාවේ ජනතාවට හොහොර සහන ලබා දුන්නා. අද වනවිට මේ ආණ්ඩුව තුළින් ජනතාවට මුදල් වියදම් කරලාවත් පොහොර ලබාගන්න බැරි තත්ත්වයක් උදා වෙලා. ජනතාවට ලබා දෙන්න තිබුණ පොහොර කෝ කියලා මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි. ඒ වගේම ගෑස් මිල. 2015 දී අපි ගෑස් මිල අඩු කලා. අද වෙනවිට ගෑස් මිල විශාල වශයෙන් අඩු කරන්න පුලුවන්. ඇයි එය  නොකරන්නේ. මිල අඩු වෙනවා කියන්නේ රජයේ ආදයම වැඩි වෙනවා කියන එකද. ඒ වගෙම තමයි තෙල් මිල.  ලෝක තෙල් මිල අඩුවෙද්දි අපේ රටේ මිල වැඩි කරනවා. අඩු ගානේ මේ වැඩිවන මිලේ ආදායම රජයට ලැබෙනවානම් කමක්නැහැ. නමුත් අයිඕසී එක මගින් වැඩි කරන තෙල් මිලේ වාසිය යන්නේ කොහෙටද.කොරෝනා තුළ හැම දේම යටපත් කරන්න හදන්නෙපා යැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා රජයට අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (20) රාජගිරියේ දී මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරුණානායක මහතා,

අපි වවමු රට නගමු කියලා කිව්වට වැඩක් නැහැ. ගොවීන්ගේ ඵලදාව මිලදී ගෙන, ඔවුන්ට සහන සලසන්න ක්‍රියාකළ යුතුයි. අද වෙනවිට ගොවීන් විශාල ලෙස අසරණ වෙලා සිටිනවා.

අද ඔවුන්ගේ ඵලදාව කුණුකොල්ලයට ගිහින්. මිලක් නියම කරගන්න නොහැකිව ඔවුන් හඩා වැටෙනවා. මෙහෙම තත්ත්වයක් යටතේ අපි වවමු රට නගමු කියලා තේරුමක් නැහැ. 

කොරෝනාව පරාජය කිරීම අත්‍යාවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් සෞඛය අංශ වලට, පොලීසියට, ත්‍රිවිධ හමුදාවට මෙන්ම විශේෂයේන ජනතාවට හිස නමා ආචාර කළ යුතුයි, දින 62 ක් ඉතාමත් අපහසුවෙන් ඇදිරි නීතිය තුළින් ගම්න කරලා මේ තත්ත්වය පරාජය කිරීමට සහයෝගය ලබාදීම පිළිබදව.ඒ එක්කම මොන යුද්ධය ජය ගත්තත් පලක් නැහැ, ආර්ථික යුද්ධය ජයගන්න බැරිනම් කියන එක අමතක කරන්නෙපා.  ඒ නිසා ජාතික ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. නැතිනම් අපේ රටට නැගිටින්න බැරි තත්ත්වයක් උදාවේවි.

රටේ මෙවැනි අර්බුධකාරි තත්ත්වයක් පවතින අවස්ථාවක, ඒ වෙනුවෙන්  රෝහල් ඉදිකරන්න හැකියාව තියෙද්දි, කෝටි ගණනක් වියම් කරලා ක්‍රිකට් ක්‍රීඩාංගන හදන්න හදන එක නිවැරදි ක්‍රියාවක්ද. බන්ධුල ගුණවර්ධන මහතා නිරන්රයෙන්ම රටේ ආන්දෝලාත්මක ප්‍රකාශ කරන කෙනෙක්. එතුමා තමයි මෙම ක්‍රීඩාංගනය පිළිබදවත් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන මනා දැනුමක් ඇති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරනවා, ලංකාව තුල ක්‍රිකට්ක්‍රීඩාව වෙනුවෙන් දැනට අවශ්‍ය ප්‍රමණයටත් වඩා පහසුකම් තිබෙන බව. එහෙමනම් මේ වගේඅර්බුධකාරී වාතාවරණයක් රටේ පවතින අවස්ථාවක, රෝහල් 35 ක් වැනි ප්‍රමාණයක් ඉදිකරන්න හැකියාව ඇති මුදල් ප්‍රමාණයක් යොදවලා, ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකරන එක විහිළුවක් නෙමෙයිද. අඩුගානේ පෙරපාසල් ඉදිකළා නම් හොද නැද්ද. මේක ප්‍රාග්ධන වියදමක්. ඒක ජනතාවට දෙන්න කියලා අපි කියන්නේ නැහැ. මේ අවස්ථාවේ වඩාත්ම උපයෝගීතාවක් සහිත දෙයකට නේද මේක වියදම් කරන්න ඕන.

පැවැත්විමට නියමිත මැතිවරණය සම්බන්ධයෙන් කරුණු දැක්වූ රවී කරුණානායක මහතා,

ඡන්ද කොමසාරිස් සහ ඡන්ද කොමිසම අද වෙනවිට අපි කියූ දෙය පිළිගෙන තිබීම සම්බනධයෙන් මම ඉතාමත් සතුටට පත් වෙනවා. අපි බොරුවට නිශ්ප්‍රභා කරන්න අවශ්‍ය වුනේ නහැ. රටේ පවතින තත්ත්වය හමුවේ රටට අවශ්‍ය වුනේ ඡන්දයක් නොවෙයි. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ නිර්දේශ කිරීමෙන් පසුව ජනතාව සාමාන්‍ය ජන ජීවිතයකට පත්වීමෙන් අනතුරුව ඡන්දයක් තියන එක සුදුසුයි කියලයි අපි කිව්වේ. ඒ තතත්ත්වය තමයි ප්‍රායෝගික වන්නේ යැයි පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් ඇසූ ප්‍රශ්න වලට පිලිතුරු දුන් කරුණානායක මහතා,

එක්සත් ජාතික පක්ෂය තුලින් යම්යම් හේතුන් මත පක්ෂයෙන් එළියට ගිහින්, පක්ෂය කඩාවට්ටන්න දගලන පිරිස් වැඩකරන්නේ ළදරු පාසැල්වත් නොගිය ආකාරයට. පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණය තමයි නිවැරදි තීරණය. ඒ තීරණ විකෘති කරලා, වැරදි අවබෝධයක් ඇති කරලා ඇතැම් පිරිස් ජනතාව නොමග අරින්න උත්සහ කරනවා. ආගමක් වගේ පක්ෂය අදහස, සුරකින ආදරය කරන ජනතාවට මේ පක්ෂය ආරක්ෂා කරදීමට අපි බැදී සිටිනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ජනතාව තුළින් ගමන් කරන පක්ෂයක්. කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන කොටයි.

අන්නඒ වගේ අද වනවිට ජනතාව අපේ ප්කෂයේ ක්‍රියාකලාපය දැකලා, පක්ෂය වටා එක්රැස් වෙමින් සිටිනවා. මේකයි සැබෑ තත්ත්වය. ජනතාවට ඔබින පරිදි හැඩගැහිලා, විශාල ජනතා මනාපයක් ලබාගන්නා පක්ෂයක් බවට අපි එක්සත් ජාතික පක්ෂය පත් කරනවා. පක්ෂයේ මහ ගෙදරින් පිටමං වෙලා සිහින දකින අයට වඩා යමක් අපට පක්ෂය වෙනුවෙන් කරන්න හැකිවෙලා තිබෙනවා. අපි කවදාවත් ත්‍රිවිධ හමුදවට පොලීසියට අකටයුත්තක් කරලා නැහැ . අන්න  ඒ නිසා තමයි අපි පළමුව ත්‍රවිධ හමුදාවට 35% ක වැටුප් වර්ධනයක් ඇති කළේ. ඒ වගේම පොලීසියට වසර ගනනාවක් නොලැබුණ වැටුප් සහ විශ්‍රාම වැටුප් ලබාදීමට කටයුතු කළේ. මම පක්ෂයේ නායකතුමා, පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන කණ්ඩායම් ස්වරූපයෙන් ක්‍රීඩාකරන කෙනෙක්. එහෙම නැතිව බෝල යවන්නා, පන්දුවට පහර දෙන්නා, කඩුලු රකින්නා කියන හැම අවස්ථාවකම ක්‍රීඩා කරන්නෙක් නෙමෙයි. කණ්ඩායම් ස්වරූපයෙන් ක්‍රීඩා කරලා ජයග්‍රහණය ගැන එක තමයි අපේ තිබෙන සුවිශේෂීභාවය. අපට ශෝට් කට් නැහැ. බෞද්ධාගමට විරුද්ධ ප්‍රකාශ කරන අය, අන්තවාදි ආගම් පිලිබද කතා කරන අය, පාස්තු බෝම්බ ගැන මත පලකරන අය, සිරිකොතට  ගල් ගැහුව අය අද අපි ලග නැහැ. ඒ අය අද වනවිට ඒ අයට අදාල ස්ථාන වල සිටින්නේ. ඒ ආකාරයේ අද පක්ෂය තුල නොමැති පිරිස් පිළිබදව එක්සත් ජාතික පක්ෂයට අදාළ කරලා පලක් නැහැ යැයි පැවසීය.