පල්ලියේ පන්සල

 ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ බ්‍රයන් නගරය ඉතාම කුඩා නගරයක්. ජනගහණය 8,729ක් පමණයි. එයින් 95%ක් පමණම සුදු ජාතිකයින්. මා දන්නා තරමින් ශ්‍රී ලාංකික සම්භවය ඇති කිසිවකු එම නගරයේ නැහැ. එහෙත් ඔහායෝ ප්‍රාන්තයේ වඩා විශාල නගර වල හා යාබද ප්‍රාන්ත වල තැනින් තැන ශ්‍රී ලාංකිකයින් යම් ප්‍රමාණයක් විසිරී සිටිනවා. 


ඔහායෝ ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික මෙතෝදිස්ත පල්ලියක් එහි වත්මන් හිමිකරු විසින් සඟසතු කර පූජා කිරීමෙන් පසුව මේ වන විට එය බෞද්ධ පන්සලක් හා භාවනා මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වී තිබෙනවා. පන්සලේ විහාරාධිපති ධුරය දරන තලංගම දේවානන්ද හිමියන් එහි අතීත උරුමය පිළිබිඹු වන පරිදි Father John's Loving Kindness Meditation Society යනුවෙන් මෙම ස්ථානය නම් කර තිබෙන අතර එහි අතීත ගෘහ නිර්මාණ සැලසුම හා චිත්‍ර ආදිය එලෙසම නඩත්තු කරමින් ආරක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම මෙම ස්ථානය ඕනෑම ආගමිකයෙකුට විවෘතයි. 

දේවානන්ද හිමි කැලිෆෝර්නියා හා ඉන්දියානා ප්‍රාන්ත වල පිහිටි තවත් පන්සල් දෙකක ද විහාරාධිපති ධුරය දරනවා. සම්ප්‍රදායික ක්‍රිස්තියානි පල්ලියක් පන්සලක් වීම අපූරු අත්දැකීමක්. 

ඇමරිකාවේ ඕනෑ විදිහට පන්සල් හදන්න බැහැ. ඒ වගේම ඕනෑ විදිහට වෙනත් ආගමික ස්ථාන, ව්‍යාපාරික ස්ථාන හෝ නිවාස හදන්නත් බැහැ. ගෙදරක් කුලියට දීමේ නිදහස තබා ගෙදරක ඉදිරිපස හා පසුපස වැවිය හැකි ගස් ගණන තීරණය කිරීමේ නිදහස පවා ඇතැම් විට නිවාස හිමියාට නැහැ. ඒ වගේ දේවල් තීරණය වන්නේ කිසියම් ප්‍රදේශයක බහුතරයකගේ කැමැත්ත මතයි. එහෙත්, ඇමරිකාවේ බෞද්ධයින් ඇත්තේම නැති නගරයක වුවත් පල්ලියක් පන්සලක් කරන්න බැරි කමක් නැහැ.

ඡායාරූපය දේවානන්ද හිමිගේ වත්පොත් පිටුවෙන්. ( ඉකොනොමැට්ටා)