ඩඩ්ලිගේ වී මාෆියාව

නිර්මාල් රංජිත් දේවසිරි 

අජිත් පැරකුම් ජයසිංහ "දැක්මක් ඇති ජනාධිපතිවරයෙක් නම් ඩඩ්ලි වගේ ව්‍යාපාරිකයන්ට කෙළවන්නට හදන්නේ නැත" යනුවෙන් ප්‍රකාශයක් කර ඇත. මගේ අදහස නම් අධිපති ආර්ථික සංවර්ධන දෘෂ්ටිකෝණයෙන් සලකා බැලුවද ඩඩ්ලි සිරිසේන යනු අගය කළ යුතු ව්‍යාපාරිකයෙක් නොවේ. ලංකාවේ සහල් බෙදා හැරීම මෙවැනි ව්‍යාපාරිකයින්ට පවරා දීම ගොවියාගේ පැත්තෙන් මෙන්ම පාරිභෝගිකයාගේ පැත්තෙන්ද නොමනා ක්‍රියාවකි. මෙය ඉතා පහසුවෙන් කාර්යක්ෂම සමූපකාර ක්‍රමයක් හරහා කළ හැක්කකි. ඩඩ්ලි වැනි ව්‍යාපාරිකයින් කලේ 77 ආණ්ඩුව විසින් දුෂ්ට ලෙස විනාශ කර දමන ලද වී බෙදාහැරීමේ ජාලය වෙනුවෙට දේශපාලන අනුග්‍රහය යටතේ නව වී වෙළඳ මාෆියාවක් ගොඩ නැංවීමයි. ඒ මගින් වී සම්බන්ධයෙන් ඊනියා නිදහස් වෙළඳ පොළක් තහවුරු නොවීය. 


ඒ වෙනුවට රාජ්‍ය බලය අවභාවිත කොට ගොවියා මත අධි සූරාකෑමක් පතිත කොට වෙළද පොළ හසුරුවමින් අති දැවැන්ත ධනස්කන්ධයක් කඳු ගැසීමයි. ඩඩ්ලිගේ සූදු කෙලීමේ පුරුද්ද ගැන සොයා බැලීම පමණක් මේ ධනස්කන්ධය අවබෝධ කරගැනීමට ප්‍රමාණවත්ය. අඩුම තරමින් මේ ධනස්කන්ධය ප්‍රයෝජනවත් ආර්ථික ක්‍රියාකාරකම්හී ආයෝජනය කිරීමේ නැඹුරුවක් හෝ තිබුණානම් මේ අධි සූරාකෑම යම් තරමකට හෝ සාධාරණීකරණය කිරීමට ඉඩ තිබුණි. මා දන්නා තරමට එවැන්නක් ද සිදුවී නොමැත.

ඒ නිසා මෙවැනි ව්‍යාපාර ජාල විනාශ කර දැමීම ගොවීන්ගේ පැත්තෙන් නම් කළ යුතුම දෙයකි.