එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අද ඇරඹේ



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන නිත්‍ය සැසිවාරය අද (සැප්. 12) ජිනීවාහිදී ආරම්භ වීමට නියමිත ය. එම සැසිවාරය අද සිට ඔක්තෝබර් 7 වන දා දක්වා පැවැත්වේ. 

දැනට වැඩබලන මහ කොමසාරිස් ලෙස සේවය කරන මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහ කොමසාරිස් නාඩා අල්-නෂීෆ් (Nada Al-Nashif), එරට වේලාවෙන් අද උදෑසන 9.00ට මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත ය.

වසර 4ක කාලයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මහ කොමසාරිස්වරිය ලෙස මිෂෙල් බැෂෙලේ කටයුතු කළ අතර අගෝ. 31 වන දා ඇයගේ නිල කාලය අවසන් විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සඳහන් කළේ, සැසිවාරය සඳහා සූදානම් වීම සඳහා අගෝස්තු 30 වන දින පැවති රැස්වීමකදී, කවුන්සිලයේ සභාපති ෆෙඩරිකෝ විලෙගාස් ඇයට සමුදුන් බව ය.

මෙවර සැසියේදී ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව පිළිබඳව සභාව වෙන ම අන්තර්ක්‍රියාකාරී සංවාද පැවැත් වීමට නියමිත ය.

සැප්තැම්බර් 13 සහ 14 යන දිනවල පැවැත්වෙන පොදු විවාදයේ දී මහ කොමසාරිස්වරයාගේ යාවත්කාලීන කිරීම් සහ ඉදිරිපත් කරන ලද අනෙකුත් වාර්තාවලට ප්‍රතිචාර දැක්වීමට ඒ ඒ රටවල්වලට අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සැසිවාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි සහ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් එක් වීමට නියමිත ය.

ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍යවරයා අද මෙම සැසිවාරය ඇමතීමට ද නියමිත ය. අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා දූත පිරිස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම හමුවී ඵලදායී සහ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ඵලදායී ලෙස සම්බන්ධ වීම සහ එක්ව කටයුතු කිරීම පිළිබඳව ඊයේ (සැප්. 11) වැඩිදුර සාකච්ඡා කළ බව ය.