අදටත් අබිරහසක් වූ ලලිත් ඝාතනය

මෙරට ජාතික නායකත්වයට පවා ඉතාමත් ළංව සිටි ලලිත් ඇතුලත්මුදලි මහතාගේ වියෝව අපේ රටේ ඉදිරි ගමනට එල්ල වූ බලවත් පහරකි. ඔහු එදා මරුවාගෙන් ගැලවුණේ නම් අපේ රටේ දේශපාලනය මෙන්ම සංවර්ධනය සහ ආර්ථිකය වෙනස් තැනක තිබෙන්නට තිබුණි.

උදිත ගුණවර්ධන

විශ්වවිද්‍යාල සිසුන්ට ‘මහපොළ’ හඳුන්වා දුන්නේ ඔහුය. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩු සමයේ වෙළෙඳ හා නාවික කටයුතු මෙන්ම ජාතික ආරක්ෂක ඇමැතිවරයා ද වූ ඔහු පසු කලෙක අධ්‍යාපන හා කෘෂිකර්ම ඇමැති ධුර ද දැරුවේය. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ බිහි කිරීමට පුරෝගාමී වූ ඔහු ලලිත් ඇතුලත්මුදලිය. ඔහු 1993 දී තුවක්කුකරුවකුගේ වෙඩි උණ්ඩයට බිලිවී අප්‍රේල් 23 වැනිදාට වසර 29ක් සපිරෙයි.



එක්සත් ජාතික පක්ෂය අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ තනි ආසනයක් හිමි කුඩා දේශපාලන පක්ෂයක් ලෙසිනි. ඔවුනට ඒ අසුන පවා හිමි වූයේ ජාතික ලැයිස්තුවෙනි. එක්සත් ජාතික පක්ෂය වැනි සියලු ජාතීන්ගේ විශ්වාසය දිනා ගත් පක්ෂයක් තනි ආසනයකට වැටීම දේශපාලන ලෝකය තුළ කිසිවකු නොසිතු දෙයකි. අපේ ඉතිහාසය තුළ පක්ෂ රැසක් අන්තයට පරාජය වූ අවස්ථා එමටය.

ශ්‍රීලනිපය 2018 දී පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය ලෙස බෙදී ගිය අතර, එම බෙදීම තුළ පවා පළාත් පාලන මැතිවරණයෙන් ඡන්ද ලක්ෂ පහළොවක් සහ පළාත් පාලන රැසක් ජය ගැනීමට පුළුවන් විය. එහෙත් මෙරට ආණ්ඩු බලය ඉසිලූ සහ ප්‍රබල ජාතික නායකයන් රැසක් නියෝජනය කළ එජාපය බිමටම සමතලා වූයේ ඇයිද යන්න විමසා බැලිය යුතු දෙයකි.

එදා එජාපය නියෝජනය කළේ ලලිත් ඇතුලත්මුදලි වැනි දැවැන්ත චරිතය. ලලිත් ලා ගාමිණී ලා අගමැතිකම් ජනාධිපතිකම් නොදැරුව ද ඔවුන්ට ජාතික නායකයකුට ඇති පිළිගැනීම සමාජය තුළ තිබුණි. එමෙන්ම අසූව දසකය සහ අනූව දසකය ආරම්භයේදී එජාපයට ජාතික මට්ටමේ නායකයන් රැසක් සිටියහ. ඒ අතරින් මැද පන්තියේ සහ උගතුන්ගේ විශ්වාසය දිනූ නායකයා වූයේ ලලිත්ය.

ලලිත් ඇතුලත්මුදලි යනු ලොව පිළිගත් නායකයෙකි. මෙරට නායකත්වයට වුවද ඕනෑවටත් වඩා සුදුසුකම් තිබූ නායකයෙකි. මුලින්ම 1977 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඇතුලත්මුදලි මහතා උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ඉටු කළ සේවය අති මහත්ය.

ඔහු ආරම්භ කළ මහපොළ ක්‍රමය නිසා සරසවි සිසුනට විශාල සහනයක් අත්විය. අදත් සරසවි සිසුනට ලලිත් දුන් මහපොළ ශිෂ්‍යත්වය නිසා සැලසෙන්නේ විශාල සෙතකි.

ලලිත් නායකයකු ලෙස ජනතාව අතර ස්ථාපිත වූයේ මෙවැනි දේ නිසාය.ඒ නිසාම එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විවිධ අඩුපාඩු මැද පවා දීප්තිමත්ව බැබලුනි. ලලිත්, ගාමිණී, රොනී, වැනි ඇමැති පෙළක් ද ප්‍රේමදාස මහතාද එජාපය සවිමත් කළේය. එදා ඔවුන් අතර වැඩ කිරීම පිළිබඳ මහා තරගයක් ඇතිව තිබුණි. එහිදී ප්‍රේමදාස, ලලිත් සහ ගාමිණී අතර 1988 ජනාධිපති ධුර අපේක්ෂකත්වය ගැන බලාපොරොත්තු දැල්වී තිබුණි. ගාමිණී දිසානායක මහතාට ගොවි ජනතාව සහ කඳුකරයේ විශාල පිළිගැනීමක් තිබුණි. එකල තිබූ සමාජ පිළිගැනීම වූයේ ගාමිණීට ඉන්දියානු සහාය ද ලැබෙන බවය.

ලලිත් ඇතුලත්මුදලි මහතාට මැද පන්තියේ ලොකු සහයක් ලැබුණු අතර, ඔහුට ද ජනාධිපති අපේක්ෂකත්වයට ඕනෑවටත් වඩා සුදුසුකම් තිබුණි. ප්‍රේමදාස මහතාට නැති බැරි මිනිසුන්ගේ සහාය බලවත්ව ලැබුණි. එහෙත් මේ තුන්කොන් තරගයේ ජයග්‍රාහකයා වූයේ ප්‍රේමදාස මහතාය. එහෙත් ඒ ගැන ලලිත් ඇතුලත්මුදලි මහතාගේ කිසිදු කහටක් නොතිබුණි. ගාමිණී ද එසේමය. එදා 1988 ජනාධිපතිවරණය පැවැත්වූයේ උතුරේත්, දකුණේත් ප්‍රචණ්ඩ භීෂණය මැදය. ප්‍රේමදාස මහතා එහි භයානක බව පෙන්වා දුන්නේ දෙකොන පත්තු කළ විලක්කුවක උදාහරණය සමඟය. එහෙත් ඒ බියකරු වටපිටාව මැද ලලිත් ජීවිත අවදානම ද නොතකමින් රට පුරා ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළේය. එය ඇත්තෙන්ම අතිශය දුෂ්කර කාර්යයක් ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. ලලිත් යනු තමන් භාරගත් වගකීම නිසි ලෙස ඉටු කරන්නෙකි. එදා බණ්ඩාරනායක මැතිනිය සමඟ කරට කර සටනකින් පසු ප්‍රේමදාස මහතා ජය ගත්තේ ලලිත්ලාගේ නොපසුබට සහ වීර්යවන්ත සටන නිසාය.

එහෙත් ලලිත් ලා ගාමිණී ලා කළ කැප කිරීම් නොවන්නට එජාපය විපක්ෂයට වැටෙන්නේ 1994 වසරේදී නොව 1988 දීය. එහෙත් ජය ගත් ප්‍රේමදාස මහතා මේ සියල්ල අමතක කළේ මාස කිහිපයකිනි. 1989 මහ මැතිවරණයේදී ලලිත් ඇතුලත්මුදලි මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබා ජය ගත්ත ද ඔහුට ලැබුණේ වැදගැම්මකට නැති ඇමැතිකමකි. ගාමිණීට ද එසේමය. අගමැතිකම ලැබුණේ රටේ එතරම් ප්‍රසිද්ධියක් නොතිබූ විශ්‍රාම ලැබිය යුතු වයසක සිටි ඩී. බී විජේතුංග මහතාටය.

ඔහු වැදගත් මහත්මයකු වුවද ලලිත් ලා තරම් සක්‍රීය චරිතයක් නොවීය. එයින් එජාපය තුළ කෙමෙන් ඇවිලෙන්නට වූයේ ගින්නකි. මුලදී අළු යට ගිනි පුපුරු ලෙස වර්ධනය වූ මේ තත්වය කෙමෙන් එජාපය තුළ බෙදීමකට අවශ්‍ය පසුබිම නිර්මාණය කළේය. ප්‍රේමදාස මහතාට අනාගතයේ නියත අභියෝගයක් වන ලලිත් ඇතුලත්මුදලි මහතා වැන්නන් නිහඬ කිරීම ප්‍රේමදාස මහතා තම බලය ආරක්ෂා කිරීමට ගත් තීන්දුවක් ලෙස සඳහන් කිරීම වඩාත් නිවැරැදිය.

එහෙත් ඔහු ගත් ඒ තීන්දුව නිසා එජාපය මෙන්ම රට ද අසමත් ඉසව්වකට තල්ලු කළේය.

1991 පළාත් පාලන මැතිවරණයේදී එජාපය ලබා ගත්තේ විශාල ජයකි. ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රීලනිපය 32%ක ප්‍රතිශතයක් ලබා ගනිද්දි පාලක එජාපය පළාත් පාලන ආයතන තුන් සියයකට කිට්ටු ප්‍රමාණයක් ජය ගත්තේය. ලැබූ ප්‍රතිශතය 52% ද ඉක්මවීය. එදා ආණ්ඩුවට හිතවත් පිරිස් කීවේ ඉර හඳ පවතිනතුරු එජාප ආණ්ඩු කරන බවය.

එහෙත් 1991 අගෝස්තු වන විට එජාපය නමැති මහ ගලේ පතුරු ගැලවෙන්නට වූයේ ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර, ලයනල් ජයතිලක, වීරවන්නි, එස්. ඒ. මුතුබණ්ඩා ඇතුළු පිරිසක් එක්ව ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාවක් නිසාය. මාස කිහිපයකින් එම යෝජනාව අසාර්ථක වුවද එජාපයේ බෙදීම බිම් මට්ටමටම ගමන් කළේ ලලිත් ඇතුළු පිරිස එජාපයට විකල්පයක් ලෙස රාජාලියා ලකුණෙන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නම් අලුත් දේශපාලන පක්ෂයක් බිහි කිරීම නිසාය. මෙමඟින් එජාපයේ ප්‍රාදේශීය නායකයන් රැසක් එජාපයට අහිමි වූ අතර, ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රීලනිපයටත් වඩා වේගයෙන් ආණ්ඩු විරෝධීන් අතර ජනප්‍රිය විය. එම ජනප්‍රියත්වයට හේතුවක් වූයේ ලලිත් ඇතුලත්මුදලි මහතා වැන්නෙක් එම පෙරමුණේ සම නායකත්වය දැරීමය.

එහෙත් පාර්ලිමේන්තු බෝම්බයෙන් මරු කටට ගොස් ජීවිතය බේරා ගත් ලලිත්ට ඉක්මනින් මරුවා නැවත සම්මුඛ වීමට හේතුව වූයේ රාජාලියා පක්ෂයයි. ඔහුට ඒවන විට දේශපාලන සතුරන් රැසක් සිටි අතර, වරින් වර ඔවුන්ගෙන් තර්ජන එල්ල විය. වරෙක කොළඹ කොටුවේදී මැර ප්‍රහාරයකට ලක් විය. එදා ආණ්ඩුවේ සිටි වගකිව යුත්තන් කීවේ දුම්රිය මගීන් ප්‍රකෝප වී මේ පහර දීම සිදු කළ බවය. ඒ දේ කවුරුන් කළද ලලිත්ගේ දේශපාලන ගමනේ ඇති අවදානම ගැන මෙයින් මනා ලෙස තහවුරු විය.

එම වාතාවරණය තුළ එළඹුණේ 1993 පළාත් සභා මැතිවරණයයි. සියලු පළාත් සභා එකවර විසුරුවා පැවැති මේ මැතිවරණය ජාතික මැතිවරණයක ස්වරූපය ඉසිලුවේය. පසෙකින් එජාපයද, අනෙක් පසින් බණ්ඩාරනායක මැතිනිය නායකත්වය දැරූ පොදුජන එක්සත් පෙරමුණු සන්ධානය ද අනෙක් පසින් ලලිත්, ගාමිණී නායකත්වය දැරූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ද තරග බිමට පිවිස තිබුණි. තරගයේ වැඩි අවධානය දිනා ගත් පක්ෂය වූයේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණය. ලලිත් එම පෙරමුණේ බස්නාහිර මහඇමැති අපේක්ෂක ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණේය.

ලලිත් ඇතුළත්මුදලි මහතාගේ මරුවා ද කොළඹ දිස්ත්‍රික්කය පුරා ඔහුත් සමඟ ඇවිද යමින් තිබුණි. නොසිතූ නොපැතූ මොහොතක ලලිත්ට මරුවා මුණගැසුනේ කිරුළපන ක්‍රීඩාංගණයක පැවැති ප්‍රචාරක රැලියකදීය. ඔහුට නාඳුනන තුවක්කුකරුවකු එල්ලය බලා කළ ප්‍රහාරයෙන් බරපතළ තුවාල සිදුවූ අතර, රෝහල්ගත කරන විටද ඔහු මරුමුවට පත්ව තිබුණි.

මෙරට ජාතික නායකත්වයට පවා ඉතාමත් ළංව සිටි ලලිත් ඇතුලත්මුදලි මහතාගේ වියෝව අපේ රටේ ඉදිරි ගමනට එල්ල වූ බලවත් පහරකි. ඔහු එදා මරුවාගෙන් ගැලවුණේ නම් අපේ රටේ දේශපාලනය මෙන්ම සංවර්ධනය සහ ආර්ථිකය වෙනස් තැනක තිබෙන්නට තිබුණි.

ලලිත් ඇතුලත්මුදලි ඝාතනය ගැන එකල විවිධ සමාජ අදහස් පැවතිනි. ආණ්ඩුව සඳහන් කළ නිල මතය වූයේ මෙය කොටි සංවිධානය කළ ඝාතනයක් බවය. ආණ්ඩු විරෝධීන් කෙළින්ම චෝදනා කළේ එවක සිටි ආණ්ඩුවටය. තවත් පිරිසක් අනුමාන කළේ රට අවුල් කිරීම සඳහා තුන්වන පාර්ශ්වයක් විසින් මේ දේ සිදු කරන්නට ඇති බවය. එහෙත් දසක තුනක් ගෙවී ගියද ලලිත්ට තුවක්කුව මෑනීමට නියෝගය දුන්නේ කවුද යන්න අභිරහසකි.