සිහින ජනාධිපති අනුරගේ හැංගි මුත්තන්

දේශපාලන පක්ෂ බේදයකින් තොරව සංවිධානය වී ඇති ජනවිරෝධයක් යැයි නම් කරන මෙම විරෝධතාව තමන්ට අවශ්‍යය ආකාරයෙන්  මෙහෙවීම සඳහා විවිධ දේශපාලන කණ්ඩායම් වල අවදානය යොමු වී ඇති බව පැහැදිලිය

කතුවැකිය 

මෙය මොවුන්ට අලුත් දෙයක් නොවේ. පාවාදීම අපේ රටේ බොහෝ මිනිස්සුන්ට පුරුද්දෙන් උරුම වූ දෙයකි. ඊයේ පාර්ලිමේන්තු සැසිවාරය අවසානයේදී ඉන් පිටව යන අනුර කුමාර දිසානායක මහතා ( කොම්රේඩ් අනුර) විරෝධතා කරුවන් ඉදිරියේ අමුතුම ආකාරයේ ප්‍රකාශයක් ලබා දෙනු ලැබීය. ඔහු සමග ගමන් ගත් ඔහුගේ දේශපාලන සගයා වූයේ ආචාර්යය හරිණි අමරසූරියය. අනුරගේ කතාව අතරතුර හෙල්මට් එකක් පැළඳ ගෙන සිටි එක් විරෝධතා කරුවෙකු ඔහුගේ රථයේ පිටුපස දොරින් ඇතුළු වන්නේය. ඒ සමගම අනුර ඇතුළු පිරිස රැගත්  රථය පිටව ගියේය. නාට්‍යයේ එක් ලස්සන ජවනිකාවක් අවසන් වන්නේය. මෙම සිදුවීම ඉතාම පැහදිලිව ඔප්පු කරනු ලබන්නේ අනුර කුමාර දිසානායක තම දේශපාලන පක්ෂය නියෝජනය කරන කණ්ඩායම් විරෝධතා අතරට යොමු කොට සිටින බවයි.  මෙය ඔහු පෞද්ගලකව මෙන්ම දේශපාලන පක්ෂයක නායකයෙකු වශයෙන් ලජ්ජා විය යුතු කාරණයකි. ඔහු ඇතුළු ඔහුගේ කණ්ඩායම මේ මොහොතේ වෙරදරන්නේ තරුණ තරුණියන්ගේ හැඟීම් අවුස්සා පවතින ජන විරෝධයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමටය. වත්මන් ආණ්ඩුවට එරෙහිව දේශපාලන බේදයකින් තොරව උද්ඝෝෂණයේ යෙදෙන පිරිස් මෙම වෙස්වලාගෙන පැමිණෙන යක්ෂයා ගැන මනා සිහියෙන් කටයුතු කළයුතු නොවේද? 

දයා පතිරණ ; ඔහු කවුදැයි දන්නෝ දනිති 

දේශපාලන පක්ෂ බේදයකින් තොරව සංවිධානය වී ඇති ජනවිරෝධයක් යැයි නම් කරන මෙම විරෝධතාව තමන්ට අවශ්‍යය ආකාරයෙන්  මෙහෙවීම සඳහා විවිධ දේශපාලන කණ්ඩායම් වල අවදානය යොමු වී ඇති බව පැහැදිලිය. ඊයේ රැස් වූ පාර්ලිමේන්තුවේදී එහි සභිකයින්ගේ රටේ ජනතාව ගැන හෙලූ කිඹුල් කඳුළු වලින් පෙනී යන්නේ මොවුන් කෙතරම් රඟපෑම් වලට උපන් හපන්නුද කියාය. ඉන් එක් අයෙක් හෙරොයින් ජාවාරමේ යෙදෙන්නෙක් බව ඔහු නියෝජනය කරන ප්‍රදේශයේ වෙසෙන ජනතාව දිගින් දිගටම කරන චෝදනාවකි. තවත් අයෙක් එතනෝල් ජාවාරමට සම්බන්ධ වී මූල්‍ය වංචා රාශියකට චෝදනා ලද්දෙකි. 

මෙවැනි සන්දර්භයක අනුර කුමාර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ ඉතාම නීච ලෙස උත්සහ දරමින් සිටින්නේ පවතින ජනතා විරෝධය තමන්ගේ බූදලයක් කර ගැනීමටය. ඔවුන්ට රටේ ඇති බරපතල සමාජ ප්‍රශ්නය විසඳීමට කෞශල්‍යයක් නැත. පුහු විවේචන වලට පමණක් දක්ෂ මෙම කණඩායමට ජාතික වගකීමක් ගැන මෙලෝ හසරක දැනීමක් නැත. ඒ නිසා ඔවුන්ට මේ මොහොතේ සර්ව පාක්ෂික ජාතික ආණ්ඩුවක් වැදගත් නැත. ඔවුන්ට වැදගත් වන්නේ මහමැතිවරණයකි. මන්ද, මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන දේශපාලන සන්ධානය වන  ජාතික ජන බලවේගය ගැන සමාජය පුරා සැලකියයුතු අවදානයක් යොමු වී ඇත. සමාජ අවදානය පහව යෑමට පෙර ඉන් ප්‍රයෝජනය ගත යුතුය. එම ප්‍රවණතාවය ප්‍රයෝජනයට ගනිමින් මහාමැතිවරණයක් ලබා ගැනීමෙන් ඔවුන්ට පාර්ලිමේන්තුවේ හිමි වී ඇති ආසන තුන උපරිම තිහක් දක්වා වැඩි කර ගැනීමට මෙය අවස්ථාවක් කරගත හැකිබව ඔවුන් දන්නේය.  නමුත් මේ මොහොතේ මැතිවරණයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් ඔවුහු කෙරෙහි මතු වී ඇති සමාජ රැල්ල ක්‍රමයෙන් ක්‍ෂය වනු ඇත. සිහින සියල්ල බොඳවනු ඇත. 

මැතිවරණයක් පැවැත්වීම රටේ වත්මන් සමාජ අර්බුදයට පිළිතුර නොවුණත් එය ජාතික ජන බල වේගයට තම දේශපාලන බලය වැඩිකර ගැනීම සඳහා අවශ්‍යය පියවර වේ. අනුර කුමාර මේවන විටත් රටේ නොනිල ජනාධිපති මෙන් හැසිරෙන්නේය. නමුත් ඔහුට සැබෑ ජාතික නායකෙකු වීමට අවංක වුවමණාවක් තිබේ නම් වචන වලින් සිදුකරන හරඹ වලට වඩා එහා ගිය දුරදක්නා නුවණකින් කටයුතු කළ යුතු වේ. ඕනෑම පුද්ගලයෙකුට සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර මත පදනම් වී අනාගත ජයග්‍රහණ ගැන කල්පිත නිර්මාණය කළ හැකි නමුත් සැබෑ ජනතා ජයග්‍රහණය බලෙන් ලබාගත නොහැකිය. ජනතා විමුක්ති පෙරමුණට සෑම විටම අවබෝධ කර ගැනීමට නොහැකි වූයේ මෙම යථාර්ථයයි. එම අසමත්කම ඔවුහු වසා දැමුවේ රටේ විශ්ව විද්‍යාල පද්ධතිය විනාශ කිරීමෙන් සහ රට අරාජිකත්වයට තල්ලු කිරීමෙනි. සැබෑ ආණ්ඩුකරණයකට අවශ්‍යය ගුණාංග එවැනි මමත්වයෙන් සහ වෛරයෙන් පිරිණු  ගති ලක්ෂණ ඇති පුද්ගලයින්ට නැති බව අපට අපේ ඉතිහාසය නීරස අත්දැකීම් ලබා දෙමින් උගන්නවා ඇත. අරගල තමන්ගේ බූදලයක් කරගෙන ඒවා නීච ලෙස පාවාදීමට ජවිපෙ රුසියෝය. මොවුන්ට ඔබ සහ ඔබේ දරුවන්ගේ රුහිරය යනු අයර්ලන්තය වැනි රටවල ඉතාම ලාබෙට විකිණෙන ස්කොට්ලන්ත විස්කි බඳුය. ඉතින් අපි රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබේ විනීත සහ අහිංසා විරෝධය මංකොල්ල කෑමට කුමන්ත්‍රණය කරන අවස්ථාවාදීන්ගෙන් ප්‍රවේශම් වන ලෙසය.    

[ ශ්‍රී ලංකා ගාඩියන් කතු වැකිය - 2022 අප්‍රේල් 06 ]