ජනාධිපති හුදෙකළා වීද?

ජනාධිපති ගෝඨාබය රාජපක්‍ෂ මහතා භාරගනු ලැබුවේ කුණු වූ රටකි. ඔහුට සිහිනයක් තිබුණි. ඒ වෙනුවෙන් ඔහු කැපවීමෙන් කටයුතු කරනු ලැබීය. නමුත් ඔහුට ඔහුගේම ආණ්ඩුවේ දේශපාලනය තේරුම් ගැනීමට නොහැකි විය.

කතුවැකිය 

ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා දේශපාලනිකව හුදෙකලා වී ඇත. ඔහුගේ පවුලේ සාමාජිකයින්ද ඔවුන්ගේ ගැලවීම සඳහා ඔහු බිල්ලට දීම හැර වෙනත් විකල්පයක් තෝරාගෙන නැත. නිල මුදල් ඇමතිවරයෙකු  පත්කර නැතත්  මහා පරිමාණයෙන් දේශීය මුදල් නෝට්ටු මුද්‍රණය අඛණ්ඩව සිදුවේ.  අර්බුදය පෙර සිටම දැනගෙන සිටි හිටපු ජනාධිපති ලේකම් ජයසුන්දර සහ මහා බැංකු අධිපති කබරාල් වැනි මිනිසුන් දැන දැනම සමස්ත රට ආඝාදයට තල්ලු කළේය. මොවුන්ගේ සාපරාධි අපරාධ වලට චෝදනා ගොනු කොට නඩු පවරමින් වහාම යුක්තිය ඉටු කිරීම සඳහා කටයුතු කළයුතුව ඇත. නිස්සංක සේනාධිපති වැනි නීච තැරව්කාරුවන්ට සහ ඔහුගේ පවුලේ සියලුම සාමාජිකයින්ට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කළ යුතුව ඇත. 

මෙම කාරණයේදී  අපි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මීට දින දෙකකට පෙර සේනාධිපති නමැත්තා කොටු කරගැනීම සඳහා  පාර්ලිමේන්තුවේදී සිදුකළ යෝජනාවට එකඟ වන්නෙමු. මෙරට ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අභූත චෝදනා එල්ල කරමින් සංචාරක තහනමක් පැනවීමට එක්සත් ජනපදය වැනි රටවලට හැකිනම්, මහජන මුදල් සහ රාජ්‍යය සම්පත් මංකොල්ල කමින් රටින් පලාගොස් සිටින සේනාධිපති වැනි  සහචරයෙකුට එරෙහිව කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර වැඩපිළිවෙලක් වහාම සකස් කළ යුතුය. 

රට විනාශ මුඛයට තල්ලු කලේ රාජපක්ෂලා පමණක් නොව සිරිසේන ඇතුළු පාර්ලිමේන්තුවේ සිටින බොහෝ පිරිසක් මේ මහා විනාශයට වගකිව යුතු ප්‍රභල කොටස්කරුවන්ය. මේ සියලුම දෙනා රටේ සහ ජනතාවගේ අවාසනාවට මනුෂ්‍යය වේසයෙන් ඉපදුණු පරපෝශිතයින්ය. රටේ රාජ්‍යය බැංකු පද්ධතියම විනාශ කිරීමට මේ සියලු දෙනාම සම්පූර්ණයෙන් වගකිව යුතුය. ප්‍රධාන ගැටලුව රට පාලනය කිරීමට පැමිණි එකෙකුවත් මූල්‍ය විනය සහ විනිවිදභාවය ගැන සතයකට මායිම් නොකිරීමය.  

ජනාධිපති ගෝඨාබය රාජපක්‍ෂ මහතා භාරගනු ලැබුවේ කුණු වූ රටකි. ඔහුට සිහිනයක් තිබුණි. ඒ වෙනුවෙන් ඔහු කැපවීමෙන් කටයුතු කරනු ලැබීය. නමුත් ඔහුට ඔහුගේම ආණ්ඩුවේ දේශපාලනය තේරුම් ගැනීමට නොහැකි විය.  වසර දෙකකට මදක් වැඩි කාලයකදී සිදුවූයේ ගෝඨාබය රාජපක්ෂ ඔහු බලයට ගෙන් එනු ලැබූ කණ්ඩායම තුළම ගොදුරක් බවට පත්වීමය. අවාසනාවට මෙන් ඔහු විසින් පත්කරුනු ලැබූ නිලධාරීන්ද සිය වගකීම් ඉටුකිරීමට අසමත් වූහ. 

නව ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට කළ ඉල්ලා අස්වීම සඳහා යෝජනා කර ඇතත් ඔහු එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළේය. එසේම ඔහු ඉවත් වුවහොත් පොහොට්ටුවේ සාමාජිකයින් රාශියක් ජනාධිපතිවරයාට සහදීමෙන් ඉවත්වන බව තර්ජනය කොට ඇත. මෙම උභතෝකෝටිකය හමුවේ ජනාධිපතිවරයා මුහුණ දී සිටින්නේ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී තත්වයටය. මෙවැනි  සංකීර්ණ දේශපාලන ව්‍යාකූලත්වයක් තමන්ට වාසි ආකාරයෙන් විසඳීම සඳහා ජනාධිපතිවරයාට ඇති විකල්ප ඉතාම සීමිතය. එම සීමිත විකල්ප වෙත යොමු වීමට හැකි මූලික දේශපාලන පසුබිම ඔහුට නැත. මන්ද එහි පළමු පියවර වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම කිසිදා සිදුනොවන දවල් සිහිනයක් වන බැවිනි. අවාසනාවන්ත ලෙස ජනාධිපතිවරයා තමන් ජනාධිපතිධූරයට රැගෙන එන ලැබූ කණ්ඩායමේ කිහිපදෙනෙකුගේ පටු දේශපාලන ආශාවන් හමුවේ අපකීර්තිමත් ලෙස සමාජය ඉදිරියේ ප්‍රතික්ෂේප වීම ඉතා කනගාටුදායක සිදුවීමකි. 

( ශ්‍රී ලංකා ගාර්ඩියන් - අප්‍රේල් 07, 2022 )