සාගලට යුඇන්පිය ගොඩගත හැකිද?

වැදගත් වන්නේ පරාජයට වගකිව යුතු අයවලුන් දෝෂ දර්ශනය ලක් කරමින් කාලය නාස්ති කිරීම නොවේ. නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පක්ෂය තුළ වගකීමක් දැරීමට කෞෂලයක් සහ අවංක චේතනාවක් ඇති පිරිස් බලය වැඩි කිරීමය.

කතුවැකිය 

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු  සාගල රත්නායක මහතා වෙත පවරා ඇතැයි දේශීය  ජනමාධ්‍යය වාර්තා කොට ඇත. මෙය ඉතා යහපත් තෝරා ගැනීමක් වන අතර එක්සත් ජාතික පක්ෂය එරී සිටින මඩ ගොහොරුවෙන් ගොඩ ගැනීම සඳහා සාගලට හැකියාව තිබේ. සාගල මෙරට දේශපාලනයේ සිටින ඉතාම අතලොස්සක් වූ මහත්මා දේශපාලනඥයින්ගෙන් එක්  අයෙකි. 

එක්සත් ජාතික පක්ෂය යළිත් ප්‍රකෘර්ති තත්වයට පත්කිරීම සඳහා සාමන්‍යය මට්ටමේ ප්‍රතිසංවිධානයකට නොහැකිය. පක්ෂය  ව්‍යුහීය සහ  දෘෂ්ටිමය තලයන් දෙක තුළම සම්පූරණ ප්‍රතිව්‍යුගහත කිරීමට ලක් කළ යුතුව ඇත. එවිට දේශීය සහ කලාපීය දේශපාලන ප්‍රවණතා හඳුනා ගමින් නව දේශපාලන පෙරමුණක් බවට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව තිබේ. 

මෙහිදී වැදගත් වන්නේ පරාජයට වගකිව යුතු අයවලුන් දෝෂ දර්ශනය ලක් කරමින් කාලය නාස්ති කිරීම නොවේ. නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පක්ෂය තුළ වගකීමක් දැරීමට කෞෂලයක් සහ අවංක චේතනාවක් ඇති පිරිස් බලය වැඩි කිරීමය. ඊට අවශ්‍යය වන්නේ කුමන්ත්‍රණ කරුවන් නොවේ. ඒ සඳහා අවශ්‍යය තරුණ පිරිස රටේ සෑම ජනවර්ගයක්ම නියෝජනය වන පරිදි හඳුනා ගැනීම සහ එම පිරිස් ඒකරාශී කිරීමයි. ඊට සමගාමීව  පක්ෂයේ පරිපාලන ව්‍යුහය වත්මන් භූ-දේශපාලන ප්‍රවණතා වලට සරිලන පරිදි රටේ ජනතාවගේ මනෝභාවයන් තේරුම්ගෙන වෙනස් කිරීම අත්‍යවශ්‍යය වී තිබේ. 

සාගලගේ දේශපාලන කලාව ග්‍රාමීය මට්ටමේ ජනතාව ආකර්ශනය කරගැනීමට සමත් එකක් නොවේ. මන්ද ඔහු ව්‍යාජ නළුවෙක් නොවේ. එබැවින් ඔහු කොළඹ දිස්ත්‍රිකයට පැමිණ තම දේශපාලන කටයුතු සිදුකිරීමට තීරණය කිරීම ඔහුගේ දේශපාලන අනාගතයට යහපත් වේ. විශේෂයෙන් ලලිත් ඇතුලත්මුදලිගෙන් පසු රත්මලාන ආසනයට නව පණක් ලබා දීම වෙනුවෙන් විශාල ඉල්ලීමක් තිබේ. ඒ සඳහා කිහිප දෙනෙකු උත්සහ ගත් නමුත් ඔවුහු අසමත් වූහ. එවැනි ප්‍රදේශයක ජීවත් වන ඉහළ මැදපන්තියේ පිරිස් වෙත සාගලගේ දේශපාලන කලාව සහ ඉන් රටට ඇති ප්‍රයෝජනය දුෂ්කරතාවයකින් තොරව තේරුම් ගැනීමේ හැකියාව තිබේ. එය ඔහුගේ දේශපාලනය ශක්තිමත් වීමට ප්‍රභල හේතුවක් වනු ඇත. 

කොවිඩ් වසංගතයෙන් පසු  සමාජ පිළිවෙල  පෙර නොවූ විරූ ලෙස වෙනස්වී තිබේ. තැරැව්කරුවන්ගේ සහ වංචාකරුවන්ගේ පාරාදීසයක් බවට පත්වී ඇති ශ්‍රී ලංකාවේ දේශපාලනය වෙනස් කිරීම සඳහා රටේ විශාල පිරිසකට උනන්දුවක් සහ ඕනෑකමක් තිබේ. ක්‍රමෝපායිකව සිතන දේශපාලන කෞශල්‍යයක් ඇති මහත්මා දේශපාලනඥයෙකුට මෙම ප්‍රවණතාවය හඳුනාගැනීමට සහ ඉන් ප්‍රයෝජන ගැනීමට හැකියාව තිබේ. එක්සත් ජාතික පක්ෂය විසින් සාගල රත්නායක ඒ සඳහා තෝරා ගැනීම ඉතා යහපත් දෙයක් ලෙස නිරීක්ෂණය කළ හැකිය.