ස්ටාලින්; ඔබට දැන් ආඩම්බරයිද?

මිනිසෙක් වතුරේ ගිලෙද්දී වැදගත් වන්නේ එම මිනිසා බේරා ගැනීම සඳහා කටයුතු කිරීමය. ඒ වෙනුවට එම මිනිසා ගිලී මියැදෙන ආකාරය වීඩියෝ ගත කරමින් තමන්ගේ සමාජ මාධ්‍යය පුරා ප්‍රචාරය කිරීම නොවේ. ස්ටාලින් ඇතුළු කල්ලිය, ඉගෙන ගත යුතු මූලික පාඩම එයයි.

කතු වැකිය

රටේ පවතින අතිශය භායනක තත්වය ශතයක මායිම් නොකරමින් සහ සෞඛ්‍ය නිරෝධායන නීති අමු අමුවේ උල්ලඝනය කරමින්  පවත්වන උද්ඝෝෂණ වල විපාකය මාරාන්තිකය. ස්ටාලින් ඇතුළු වෘත්තීය සමිති නායකයින් විසින් සංවිධානය කරන මෙම වැඩපිළිවෙල පිටුපස විවිධ දේශපාලන පක්ෂ සහ වෙනත් කණ්ඩායම් සිටින බව නොරහසකි. 

දශක ගණනාවක් තිස්සේ සන්නද්ධ අරගල වලට අවශ්‍යය පහසුකම් සපයමින් විවිධ රටවල සහ කණඩායම් වල දුෂ්ඨ අරමුණු ඉටුකර ගැනීමට ශ්‍රී ලංකාව භාවිතා විය.  මන්ද ඇතැමෙකුට අවශ්‍යය වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන සහ සමාජ අස්ථාවරත්වය දිගින් දිගටම පවත්වාගෙන ගෙන යෑමය. එවිට ශ්‍රී ලංකාව  රූකඩ රාජ්‍යයක් ලෙස විවිධ රටවල සහ බලවේගවල ආශාවන් පිනවීම සඳහා ඉතාම කැත විදිහට පාවිච්චි කළ  හැකිය. ඉතිහාසය පුරාම ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ අකරදැබ්බය මෙයයි.  මෙය වෙනස් කිරීම සඳහා වෙහෙසී කටයුතු කල ඉතාම සුළු පිරිසට හැකි උපරිමයෙන් පහර දී ඔවුහු විනාශ කර දැමුහ. 

අපි ජාතියක් ලෙස නිවට පිරිසක් බවට පත්වන විට අනෙකුත් ජාතීන් නැගී සිටීම සඳහා අරගල කළෝය. මාළු වාඩියක් ලෙස පැවති සිංගප්පුරුවේ වරාය ලෝකයේ කාර්යක්‍ෂම වරාය බවට පත්වන්නේත්, තණකොළ පැළයක් හරියට වැවුනේ  නැති ඊශ්‍රායලය  කෘෂි නිෂ්පාදනයෙන් ලෝකය පළමු තැනට පත්වන්නේත්, ඒ අනුවය. එම රටවල මිනිසුන් විප්ලව කරනු ලැබුවේ ජනතාවගේ ජීවත වලට නව පණක් සහ අභිමානයක් දීමට මිස මිනීකඳු මතින් තම ආත්මාර්ථකාමී පටු අරමුණු ඉටුකර ගැනීමට නොවේ.

නමුත්, අපට ඉතුරු වූයේ අපේ ඉතිහාසය ගැන හිස් උජාරුබස් දෙඩීම පමණි. අපි, අනෙකුත් රාජ්‍යයන් දියුණු වන විට එම රාජ්‍යයන් දෙස බලා දියුණු වීමේ ආශාව ඇති කර ගැනීම වෙනුවට තම අසල්වැසියාට අකුල් හෙළීම එකම පුරුද්ද බවට පත්කර ගත්තේය. කුහකකම සහ ඉරිසියාව හැරෙන්නේට රටෙන් බහුතරක් පුරුදු වූ යහගුණයක් නැත. 

මේ වන විට ක්‍රියාත්මක වන ගුරුවරුන්ගේ විරෝධයෙන් ඔප්පු වන්නේ කුමක්ද? මොවුන් අවසානයේදී මේ අතවරය කරමින් සිටින්නේ මේ රටේ දුප්පත් පාසල් වල ඉගෙන ගන්න ළමුන්ගේ ජීවිත වලටය. මොවුන් මේ විනාශ කරමින් සිටින්නේ රටේ මීළඟ පරම්පරාවය.  මෙවැනි ජාතියක් දියුණු වන්නේ කෙසේද?  

මේ මොහොතේ වැදගත් වන්නේ රට තවදුරටත් අරාජික කොට තම කුණු වූ දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම නොව. වසංගතය හේතුවෙන් සිදුවී ඇති බිඳවැටීමෙන් ගොඩඒම සඳහා එකතුවීමය. පාරිලිමේන්තු මන්ත්‍රී විග්නේස්වරන්  මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කල ආකාරයට, මේ මොතේ වැදගත් වන්නේ රට මුහුණ දී සිටින බරපතළ තත්වයෙන් ගොඩ ඒම  සඳහා විවිධ බේද නොසලකා සියලුම දෙනා එකතුවීමය. මන්ත්‍රීවරයාගේ දේශපාලන මත සමග බොහෝ දෙනෙකුට විවේචන ඇතත් ඔහු මේ මොහොතේ ඉදිරිපත්කරන අදහස වැදගත්ය. 

මිනිසෙක් වතුරේ ගිලෙද්දී වැදගත් වන්නේ එම මිනිසා බේරා ගැනීම සඳහා කටයුතු කිරීමය. ඒ වෙනුවට එම මිනිසා ගිලී මියැදෙන ආකාරය වීඩියෝ ගත කරමින් තමන්ගේ සමාජ මාධ්‍යය පුරා ප්‍රචාරය කිරීම නොවේ. ස්ටාලින් ඇතුළු කල්ලිය, ඉගෙන ගත යුතු මූලික පාඩම එයයි. ඔවුන් මෙම මූලික මානුෂීය කාරණය  අනුගමනය නොකරන්නේ නම්, ඔවුන්ට තේරෙන බසින් එය ඉගැන්වීම ජනතාවගේ වගකීමකි.  එය නොකොට මේ රටට ඉදිරි ගමනක් නැත.