රජයේ වෘත්තීය සංගම්වලට නියාමනයක් අවශ්‍යයයි!

 මේ අතරින් පසුගිය වසර කිහිපය තුළ රට පුරාම දුර්ගන්දයට හේතු වූ එක් වෘත්තීය සංගමයක් වන්නේ රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ වෘත්තීය සංගමයයි. මෙහි නායකයා ලෙස කටයුතු කරනු ලැබූ වෛද්‍යවරයා වෙදකම හැරෙන්නට රටේ සිදුවන අනෙකුත් සියලුම කටයුතු වලට  අත පොවන්නෙකි.

කතුවැකිය 

වෘත්තීය සංගම් වලින් ශ්‍රී ලංකාවට සිදු වූ සුගතියක් නැත. ඒවායෙන් සිදුවූයේ අගතියක් පමණි. ලංකාවේ අහේනියට මෙම වෘත්තීය සංගම් වල ප්‍රතිපත්ති තීරකයින්  වගකිව යුතුය. මේවාට  පැවරී ඇති ඇති වගකීම් ගැන මෙමෙ සංගම් වල කිසිවෙකුට කිසිඳු හැඟීමක් නැත.  කම්කරු ජනතවාගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ඈත අතීතයේ මෙම සංගම් වල ඇතැමුන්   කැපවීමෙන් කටයුතු කළ බව සැබෑය. ඒ මීට දශක ගණනාවකට පෙරදීය. නමුත් මේ වන විට ලංකාවේ ක්‍රියාත්මක වන වෘත්තීය සංගම් සියල්ලම පාදඩයින්ගේ පාරාදීස බවට පත්වී තිබේ.  දැන් මේ රටේ වෘත්තීය සංගම් අටවාගෙන සිටින බොහෝ දෙනෙකු හැසිරෙන්නේ දැලි පිහිය ජනතාවගේ බෙල්ල්ලට තබාගෙන සිටින රිලවුන් වාගේය. මොවුන් ජනතාව මෙන්ම රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ඇතුළු ප්‍රධාන ආයතන සහ ක්ෂේත්‍ර ප්‍රාණ ඇපයට ගෙන තිබේ. මොවුන්ගේ මෙම කටයුතු සහ ත්‍රස්තවාදීන්ගේ ත්‍රස්තක්‍රියා අතර වෙනසක් නැත. 

මේ අතරින් පසුගිය වසර කිහිපය තුළ රට පුරාම දුර්ගන්දයට හේතු වූ එක් වෘත්තීය සංගමයක් වන්නේ රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ වෘත්තීය සංගමයයි. මෙහි නායකයා ලෙස කටයුතු කරනු ලැබූ වෛද්‍යවරයා වෙදකම හැරෙන්නට රටේ සිදුවන අනෙකුත් සියලුම කටයුතු වලට  අත පොවන්නෙකි. මේ හාදයා අවසන් වරට රජයේ රෝහලක රෝගියෙකු පරීකෂා කරනු ලැබුවේ කවදාද යන්න පවා ගැටලුවකි.  එහෙත් ලෝකයේ ඇති සෑම ලෙඩකටම බෙහෙත් මේ මිනිහා කියන්නේය. පසුගිය වසර දෙකක පමණ කාලයක සිට ලෝකයම පීඩා විඳිමින් සිටින කොරෝනා වෛරසය නැසීමට දුම් මුට්ටියක් කරේ තාබගෙන ගිය මේ මිනිහා  රටේ ජනතාව මුළාවේ හෙළීමේ වරදට වග කිවයුතු ප්‍රධාන පෙලේ අයෙකි. මේ හාදයා ද්විත්ව නියෝජිතයෙකි (ඩබල් එජන්ට්). එක්  අතකින් රටේ සාරධර්ම සහ දියුණුව ගැන කතා කරන්නේය. අනෙක් අතින් රටේ ජනතාවගේ ජීවිත ප්‍රාණ ඇපයට ගනිමින් දේශපාලන වාසි ගන්නේය. මේ හා සමාන අයෙකු පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී කෙනෙකු වූයේය. ඉන් ඔප්පු වන්නේ ආණ්ඩු මාරු වූ පමණින් මෙම කඳ පණුවන් නැති නොවන බවයි. මන්ද මොවුන් රටේ හැම කොණක්ම කුණු කරමින් සිටිති. 

මෙවැනි අවාසනාවන්ත තත්වයක් පසුකරමින් සිටින ජනතාවට, රජයේ වෛද්‍යය නිලධාරීන්ගේ වෘත්තීය සංගමයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ වෛද්‍යය අනුරුද්ධ පාදෙණියට එරෙහිව වාරණ නියෝගයක් පනවාව තීබීම අස්වැසිල්ලකි. ගරු අධිකරණය විසින් ගත්  එම තීන්දුව ඉතා වැදගත්ය. එසේම රටේ ඇති අනෙකුත් වෘත්තීය සංගම් වලටද මෙය ඉතාම වැදගත්ද පූර්වාදර්ශයකි.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය නාස්ති කිරීම සඳහා අවලස්න්න කටයුතු රාශියක් සිදුකළ කල්ලියේ ප්‍රධානියෙකු ලෙස මෙම පුද්ගලයා බොහෝ දෙනෙකු හඳුන්වති.   මෙම වෘත්තීය සංගමය පමණක් නොව රටේ ඇති සෑම වෘත්තීය සමිතියක් ගැනම   ස්වාධීන විඝනණයක් අවශ්‍යය වේ. එසේම මේවායේ තනතුරු වෙනස් කිරීම සඳහා පවත්වන මැතිවරණ ස්වාධීනව විමර්ශනය කල යුතු වේ. සරලව කිවහොත් මෙරට වෘත්තීය සංගම් වලට නිවැරදි නියාමනයක් අත්‍යවශ්‍යය වේ. මන්ද මෙම වෘත්තීය සංගම් සහ ඒවායේ සාමාජිකයින් සියල්ලම නඩත්තු වන්නේ ඔවුහුගේ පෞද්ගලික මුදල් වලින් නොව රටේ මහජනතාවාගේ බදු මුදල් වලිනි. ඒ නිසා මොවුන් රටට සහ ජනතාවට වගකිව යුතුය.