ප්‍රතිගාමීන් වහාම පෝට් සිටියට පිටුවහල් කරනු !



මහේෂ් හපුගොඩ 


හරි දැන් අපි සටන් කරලා හරි නිකම් ඉඳලා හරි ඉංග්‍රීසින්ගෙන් නිදහස ඉල්ලා ගත්තා නේ...අවුරුදු හැත්තෑවක් ගිහිල්ලා දැන් තත්වේ මොකක්ද? හරක්, බල්ලෝ, පූසෝ පාර පුරා. ටුක් ටුක් පාර පුරා. බස් කාරයෝ පාර පුරා. හැම හන්දියක් හන්දියක් ගානේම සුරුවම් තියල, බුදු පිළිම තියල, ලවුඩ් ස්පිකර් දාල. එකම එක අවුලක්. කාල ගෝට්ටියක්. බස් එකකට නැංගත් එහෙමයි. බස් එකෙන් බැස්සත් එහෙමයි. හෝල්ට් එකේ හිටියත් එහෙමයි. කෑමක් කෑවත් එහෙමයි. ඉස්පිරිතාලෙට ගියත් එහෙමයි. දැන් අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ ශේෂ පත්‍රය...

ඉතිං නිකම් ආකෘතියක් හැටියට හරි බලන්න කියල දියුණු නගරයක් කියල එකක් අපි හදල තියනවද මේ නිදහසින් පස්සේ? ඉතිං ඇයි අපි අර පෝට් සිටි එක ඕනි කියල කෑ මොර දෙන්නේ? මොකටද අපිට තවත් කොළඹ වගේ නගරයක්? ගම්පහ වගේ නගරයක්? අපේ පාලකයින්ට (පොදුවේ අපිට) උපරිම කරන්න පුළුවන් උනේ මේ අවුරුදු හැත්තෑවටම මෙච්චර නම් (කොළඹ සහ ගම්පහ වගේ නම්) අපි ඇයි තව තව අපේ අපේ කිය කිය ගොඩ ගහ ගන්නේ? හදනවා නම් ඔය ඕනි තරම් දූපත් අපිට තියෙන්නේ මුහුද වටේටම. හදපල්ලාකෝ.

බ්‍රිතාන්‍ය කොළනියක් හැටියටම තිබුණා නම් හොඳයි කියලත් දැන් කට්ටිය කියන එකේ ඔය පෝට් සිටි එකවත් චීන අධිරාජ්‍යයට කරන්න දෙමු. ලොකු නගර පිළිවෙල කරලා තියා ගන්න විදිය උන් දන්නවා. නැත්නම් පස්සේ අපරාදේ කියල හිතෙයි.

උන්වත් මිනිස්සුන්ට පිළිවෙලකට ඉන්න නගරයක් හදයි නේ...බස් සේවයක් දායි නේ...මහල් නිවාස ටිකක් හදයි නේ...ලෞකික මිනිස්සු ගැන හිතලා වැඩ කරයි නේ. වීසා අරගෙන හරි බලලා එන්නවත් යමක් එතකොට තියෙයි නේ. දැන් ඒකත් නැහැනේ.


සියළු ප්‍රගතිශීලි දේශීය බලවේග මෙහෙ හිටපල්ලා. 'ප්‍රතිගාමී' අපි පෝට් සිටි එකට පිටුවහල් කරපල්ලා. සූරාකෑම තිබුණට කමක් නැහැ. අපි එහෙ ඉන්නම්.

ලෝකෝත්තර ජීවිතයක් ඕනි උන් මෙහෙ හිටපල්ලා. ලෞකික අපි එහෙ යන්නම්.

කුලී වැඩක් කරලා හරි කණක් ඇහිලා ඉන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්...

ඉන්න එකාට කොහෙත් ඉන්න පුළුවන්.