බුද්ධි අංශවලට එරෙහි නොසන්ඩාලයින්

පාර්ලිමේන්තුව තුළ මෙම පුද්ගලයින්ට හිමි වී ඇති නිදහස ඔවුහු විසින් අවභාවිතා කරන අයුරු නින්දා සහගතය. ඒ ගැන මෙරට සෑම පුරවැසියෙකුටම ඇත්තේ පිළිකුලකි. 

කතුවැකිය

රාජ්‍යය බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට එරෙහිව අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කොට ඇත. ඊට හේතුව වන්නේ මෙම මන්ත්‍රීවරයා, බුද්ධි අංශ ප්‍රධානියාට එරෙහිව සිදුකරන බරපතල අවලාදයකි. මෙම මන්ත්‍රීවරයාගේ අවලාදය බරපතල වන්නා සේම එමගින් අගතියට පත් පාර්ශවයට සුවපත් කළ නොහැකි හානියක් සිදුවී ඇතැයි අපට සිතේ. ඒ සඳහා යුක්තිය සහ සදාරණය අපේක්‍ෂාවෙන්  නීතියේ පිහිට පැතීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත.  

නලින් බණ්ඩාරට අනුව වත්මන් බුද්ධි අංශ ප්‍රධානියා  මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කටයුතු කරන අවධියේදී 2019 වසරේදී සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරය මෙහෙයවනු ලැබුවේ යැයි කියන සහරාන් නමැති පුද්ගලයෙකු සමග සම්බන්ධතා පවත්වා ඇත. නලින් බණ්ඩාර නියෝජනය කරන දේශපාලන බලඇණිය විසින් මෙරට රාජ්‍යය පරිපාලනය කරන සමයේදී සිදු වූ අදාළ  ත්‍රස්තවාදී  බෝම්බ ප්‍රහාරය සහරාන් සමග සුරේෂ් සලෙයි එකතු වී සැලසුම් කරනු ලැබූ බව බණ්ඩාර වැඩිදුරටත් චෝදනා කරන්නේය. 

මේ හා සමාන බරපතළ අවලාදයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මනුෂ නානායක්කාර සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින්ද සිදු කරනු ලැබීය.නමුත් එම කිසිඳු චෝදනාවකට පිළිගත හැකි සාක්ෂියක් නැත.  ඕනෑම කුණුහරපයක් කියා තමන්ගේ ප්‍රමෝදය විඳීමට හැකි කුණු වළක් බවට පත් වී ඇති මෙරට පාර්ලිමේන්තුව තුළ මෙවැනි පුද්ගලයින්ට ලැබී ඇති නිදහස ගැන මෙලොව නොව පරලොව වාසීන් පවා මවිත වනු ඇත. 

පාර්ලිමේන්තුව තුළ මෙම පුද්ගලයින්ට හිමි වී ඇති නිදහස ඔවුහු විසින් අවභාවිතා කරන අයුරු නින්දා සහගතය. ඒ ගැන මෙරට සෑම පුරවැසියෙකුටම ඇත්තේ පිළිකුලකි.  තම වගකීම් නිවැරදිව ඉටු නොකොට, තමන්ගේ අසමත්කම් වසා ගැනීම සඳහා වෙනත් අයෙකුට චෝදනා කිරීමේ විලිලැජ්ජා නැති පුරුද්ද මොවුන් බොහෝ දෙනෙකු තම ජන්මයත් සමගම රැගෙන ආ කුසලතාවයක් බව පෙනේ. මෙම පාදඩ සංස්කෘතිය අවසන් නොකළහොත්  අපට ඉතුරුවන රටක් නැත. මෙම පුදගලයින් පාර්ලිමේන්තුව පිටතදී පමණක් නොව පාර්ලිමේන්තුව තුළදීද වගවීමට සහ වගකීමට නතු කළ යුතුය. ඔවුහුට ඒ සඳහා අනුගත විය නොහැකි නම් වසරක කාලයකට හෝ පුනරුත්තාපන කඳවුරක් වෙත යවා කතා කිරීමට සහ රටක් ඉදිරියේ හැසිරීමට අවශ්‍යය මූලික විනය  ඉගැන්විය යුතුය. 

බුද්ධි අංශය මෙම අසික්කිත දේශපාලන කඳවුරේ ගොදුරක් බවට පත් වූයේ අද ඊයෙක නොවේ. ඔවුන්ගේ මෙම වගකීම් විරහිත හැසිරීම නිසා මෙරටට අහිමි වූ සහ සදාකාලික අබ්බගාත වූ බුද්ධි අංශ නිලධාරීන් රාශියක් වෙති.  ඒ සඳහා උදාහරණ ඉතිහාසය පුරාම ඇත. එම අප්‍රසන්න ඉතිහාසයේ තවත් එක් සිදුවීමක් ලෙස පමණක් ඉහත සඳහන් කළ මන්ත්‍රීවරුන්ගේ අවලස්සන හැසිරීම හැඳින්විය හැකිය.  නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ තම චෝදනාව එල්ලකොට ඇත්තේ, සහරාන් සහ මේජර් ජෙනරාල් සුරේෂ් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සඳහා කුමන්ත්‍රණය කරන අවස්තාවේදී රහසිගතව එය නිරීක්ෂණය කර ඇති ආකාරයෙනි.   නලින් එහි සම්පූර්ණ වගකීම බාරගත යුතුය.  ඔහු විසින් සිදුකරනු ලැබූ බරපතළ සැහැසි චෝදනා වල සත්‍යය බව  රට සහ ජනතාව හමුවේ සාක්‍ෂි සහිතව ඔප්පු කළ යුතුය. නියම මහත්වරු හැසිරිය යුත්තේ එලෙසය. 

නමුත් මෙරට දේශපාලනය අමුතුම සෙල්ලමකි. එහි සිටින බොහෝ දෙනෙකු හැසිරෙන්නේ තීන්ත බාල්දියට වැටුණු පසු කැලේ වීරයා වීමට ගොස් නිවටයා වූ හිවලාගේ ස්වභාවයෙනි. ඔවුහුගේ වීරත්වය පුහු ප්‍රසිද්ධිය උදෙසා පමණි.  

රූපවාහිනී නාලිකාවක නිවේදකයෙකු ලෙස සේවය කොට දේශපාලනඥයෙකු වූ මනුෂ නානායක්කාර, හමුදාපති ලෙස සේවය කොට දේශපාලනඥයෙකු වූ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා, නලින් බණ්ඩාර, අශෝක අබේසිංහ ආදී දේශපාලනඥයින්ට සහරාන් ගැන සොයා බැලීමට එතරම් උනන්දුවක් තිබේ නම්, ඔවුහුට මෙම ත්‍රස්වාදියාගේ ගුවන් ගමන් වාර්තා ලබා ගත හැකිය. එම වාර්තා අනුව වැදගත් නිගමනයකට පැමිණිය හැකිය.  එසේම, ඔවුහු ආණ්ඩුව කරන සමයේදී එක් අවස්ථාවක මෙරට නීතිය හා සාමය ඇමතිධූරයේ සේවය කළ රංජිත් මද්දුම බණ්ඩාර වෙත එවකට රාජ්‍යය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසින් යවනු ලැබූ ලිපි පරික්ෂා කර බලා මේ ගැන සත්‍යය දැනගත හැකිය. එවිට මෙම ප්‍රහාර  කාගේ නොසැලකිලිමත්කම සහ අමනකම හේතුවෙන් සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරද යන්න රටට ඔප්පු වනු ඇත. මෙම මූලික ක්‍රමවේදය නොසලකා හරිමින් විවිධ බොරු සමාජ ගත කොට රටට යහපත් සේවයක් කළ නිලධාරීන්ට චෝදනා කිරීම සහගහන අපරාධයකි.

මෙම සටහන ලිවීමට පෙර අප කතෘ මාණ්ඩලිකයෙකු විසින් නලින් බණ්ඩාර මහතා අමතනු ලැබීය. එහිදී අපි ඔහුගෙන් විමසා සිටියේ ඔහු විසින් මෙරට රාජ්‍යය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකට එරෙහිව සිදුකරනු ලැබූ චෝදනා ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඇත්තේද යන්නයි. ඊට ඔහු ප්‍රතිචාර දක්වනු ලැබුවේ එක්තරා වෙබ් අඩවියක පල වූ දෙයක් උපුටා දැක්වූ බව කියමිනි. ඒ හැරෙන්න ඔහු සතුව කිසිඳු සාක්ෂියක් හෝ වෙනත් ස්වාධීන තොරතුරක් අදාළ සිදුවීම් ගැන නැති බව ඔහු කියන්නේය. අහෝ පුදුමයකි! 

ප්‍රජාතන්ත්‍රවාදය නාමයෙන් ජනතා නියෝජිතයෙකු ලෙස පැමිණි අයෙකුගේ ප්‍රතිචාරයේ ස්වභාවය මෙයයි. මොවුන් සිතන්නේ ඕනෑම කුණු ගොඩක් ජනතාවගේ ඔලු ගෙඩි වලට දමා තම වැරදි වසා ගැනීමට හැකි බවය. තමන්ගේ සිතට එන හෝ කොහේ හෝ තැනක ප්‍රසිද්ධ වන දෙයක් සමාජ ගත කොට රාජ්‍යය නිලධාරීන්ගේ හෝ වෙනත් අයවලුන්ගේ චරිත ඝාතනය කිරීමෙන් තම ආශාවන් මුදුන් පමුණුවා ගැනීම මොවුන්ගේ එකම ජනතා සේවය බවට පත්වී තිබේ. ඒ හැරෙන්නට මොවුහුට රටට වැදගත් කිසිඳු දෙයක් සඳහන් කිරීමට තරම් මොළයක් හෝ හැඟීමක් නැත. 

යම් කිසි නිලධාරියෙකුගේ චරිතය ඝාතනය කොට ඔහුගේ ආත්මගරුත්වය කෙළසා දමමින් ඔහුගේ පවුලේ සාමාජිකයින් අපහසුතාවයට පත් කරනු ලැබූ නලින් බණ්ඩාර සහ ඔහුගේ කල්ලියට තම වැරදි තෙවැනි  පාර්ශ්වයකගේ වගකීමට නතු කොට  නිදහස් විය නොහැකිය. යුක්තිය සහ සාදාරනය ගැන අබමල් රේණුවක හෝ හැඟීමක් ඇති  කිසිවකු එවැනි කූඨ උපායන් වලට සහය නොදිය යුතුය.  මෙම අශිෂ්ඨත්වය පහළකළ හැක්කේ එවිටය. 

මෙහිදී රාජ්‍යය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක විසින් ගත් ක්‍රියාමාර්ගය පැසසිය යුතුය. මන්ද, මන්ත්‍රීවරුන් ලෙස වෙස් වලාගෙන ජනතාවගේ බලය අවභාවිතා කරන මෙවැනි නොසන්ඩාල පුද්ගලයින් මට්ටු කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් තිබිය යුතුය. ඒ සඳහා නියමිත ක්‍රියාමාර්ග ප්‍රමාදයකින් තොරව ගැනීමෙන් රටට සහ ජනතාවට සිදුවිය විය හැකි හානිය අවම කරගත හැකිය.  මෙය ජාතික අවශ්‍යතාවයකි.