නවකවදයට එරෙහිව බුද්ධිඅංශ කැඳවීම

මෙරට උසස් අධ්‍යාපනය විවිධාකාර මුදලාලිලාගේ ග්‍රහණයට නතු වී වසර ගණනාවක් ගත වී ඇත.මෙරට විශ්වවිද්‍යාල වලින් බිහි කරන සිසුන්ගේ තත්වය ගැන ජාතියක් හැටියට අපි ලජ්ජා විය යුතුය. බොහෝ සිසුන්ට තමන් ඉදිරියේ ඇති අවස්ථා ගැන අවබෝධයක් නැත. ඔවුන්ගේ ලෝකය පුළුල් කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් නැත. 

කතුවැකිය

මෙරට රාජ්‍යය විශ්වවිද්‍යාල වල සිදුවන නවකවදය හේතුවෙන් සිසු ජීවිත ගණනාවක් අපට අහිමි විය. ඇතැම් සිසුන් සදාකාලික අබ්බගාතයින් වූහ.  මෙම පාදඩ සංස්කෘතිය වෙනස් කිරීම සඳහා පියවර ගණනාවක් ගනු ලැබුවද එම සෑම පියවරක්ම බොරදියේ මාළු බාන තත්වයට පත්විය.පවතින කනගාටුදායක තත්වය මැනවින් අවබෝධ කර ගනිමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මේ සඳහා නව විසඳුමක් සොයාගත හැකි මාර්ගයක් ඉදිරිපත් කොට ඇත. ඊට සෑම රාජ්‍යය විශ්වවිද්‍යාලයකම කුලපතිවරුන්ගේ අනුමැති ලැබී ඇත. එනම්, විශ්වවිද්‍යාල වල සිදුවන නවකවදය නවතා දැමීම සඳහා රාජ්‍යය බුද්ධි සේවයේ සාමාජිකයින් සේවයේ යෙදවීමය.  මෙම උපාය ඉතා හොඳය. එසේම එය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමෝපායික වැඩපිළිවෙලක් ආණ්ඩුවට ඇතිබව අපි විශ්වාස කරමු.හාස්‍යය ජනක කාරණය නම බුද්ධි අංශ ඔස්සේ නවකවදය නවත්වනවා යැයි කියමින් බුද්ධි මෙහෙයුම් කිරීමට උත්සහ කිරීමය. එය එතරම් බුද්ධිගෝචර නැත.  


නවකවදය විශ්වවිද්‍යාල වලින් තුරන් කිරීම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් නිල ඇඳුමින් හෝ සිවිල් ඇඳුමින් විශ්වවිද්‍යාල තුළට කැඳවීමට උත්සහයක් තිබේ නම් එය උචිත නැත. එවැනි තත්වයක් උදා වුවහොත්, විශ්ව විද්‍යාල සිසුනට ඊට විවිධාකාර අර්ථ නිරූපන ලබා දෙමින් විරෝධය පලකළ හැකිය. එය කබෙලෙන් ලිපට වැටීමට හේතුවක් විය හැකිය. මෙහිදී වැදගත් වන්නේ, නීතියානුකූල රාමුවට යටත්ව ක්‍රමෝපායික බුද්ධි මෙහෙයුම් මාලාවක් ස්තර කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමය. ඒ සඳහා අවශ්‍යය තාක්ෂනික දැනුම රාජ්‍යය ආරක්‍ෂක අංශ ඔස්සේ ලබා දිය හැකිය. නමුත් ඊට අවශ්‍යය මානව සම්පත සොයා ගත යුත්තේ විශ්ව විද්‍යාල තුළින්මය. එසේම, විශ්වවිද්‍යාල තුළ සිදුවන තාඩන පීඩන සහ හිරිහැර වාර්තා කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් අත්‍යවශ්‍යය වේ. එසේ වාර්තාවන සිදුවීම් වලට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ නිවැරදි සහ සාදාරන වැඩපිළිවෙක් තිබිය යුතුය. 

මෙරට උසස් අධ්‍යාපනය විවිධාකාර මුදලාලිලාගේ ග්‍රහණයට නතු වී වසර ගණනාවක් ගත වී ඇත.මෙරට විශ්වවිද්‍යාල වලින් බිහි කරන සිසුන්ගේ තත්වය ගැන ජාතියක් හැටියට අපි ලජ්ජා විය යුතුය. බොහෝ සිසුන්ට තමන් ඉදිරියේ ඇති අවස්ථා ගැන අවබෝධයක් නැත. ඔවුන්ගේ ලෝකය පුළුල් කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් නැත. ඇතැම් සිසුන්, සාන්තුවරුන් සේ වෙස්වලාගෙන සිටින ගුරුවන්ගේම අතවරයට ලක්වෙන බව නිල නොලත් වාර්තා පෙන්වා දී ඇත. විශ්වවිද්‍යාල වල අධ්‍යන සහ අනධ්‍යන කාර්යය මණ්ඩලයේ පුරප්පාඩු පිරවීම සඳහා ඇති ක්‍රමවේදය ඉතාම දුර්වලය. ඇතැම් පත්වීම් සඳහා වැදගත් වන්නේ ලිංගික ආකර්ෂණය  පමණක් බවට චෝදනා නැගෙන්නේය.  මේවා හිස් චෝදනා නොවන බව අපේ හැඟීමයි. 


මෙරට රාජ්‍යය විශ්වවිද්‍යාල නිවැරදිව කටයුතු කරනු ලැබුවේ නම්, ඒවායින් බුද්ධිමතුන් බිහිවිය යුතුය. එම ආයතන ලෝකයේ ඇති ඉහළම උසස් අධ්‍යාපන ආයතන බවට පත්විය යුතුව තිබුණි.  ඒ වෙනුවට සිදුවී ඇත්තේ කුමක්ද? මේවායේ ඇතම් කොටස් එක්තරා කාලයක වදකාගාර බවට පත්විය. එසේම,  බුද්ධිමතුන් යැයි මෙම ආයතන වලන් බිහි කරනු ලැබූ බොහෝ දෙනෙකු දේශපාලන කතා කියන වාචාලයින්ය. ඔවුන්ට ඔවුන්ගේ පුරසාරම පමණක් තිබේ. ඒ හැරෙන්නට තමන් ගුරුවරයෙකු ලෙස සිසුන්ගේ ජීවිත අර්ථ ගැන්වීම සඳහා කළ දෙයක් නැත. ඇතැමුන් දේශපාලන බලය හමුවේ සපත්තු ලේවකන්නන් බවට පත්වී ඇත. මෙම සැබෑ බිඳ වැටීම දකින විශ්වවිද්‍යාල සිසුවා නිතැතින්ම කනස්සලට පත්වේ. තම ජීවිතයට මගපෙන්වා දිය යුතු ගුරුවරයා, ගඳ ගසන දේශපාලන හෙන්චයියකු නම් හෝ ලිංගික ලෝලියෙකුනම්, සිසුවාට විශ්වාසය තැබිය හැකි කෙනෙක් සිටින්නේද? මෙරට රාජ්‍යය විශ්වවිද්‍යාල වල සේවය කරන ගුරුවරුන්ගේ සමාජ ජාල අඩවි වලට පිවිසීමෙන් මෙම තත්වය මනා ලෙස අවබෝධ කරගත හැකිය. ඔවුන් සිදුකරන ප්‍රකාශ ඉතාම නීරසය. එසේම කිසිම බදු ගෙවීමකට වග නොකියන ටියුෂන් මාස්ටර්ස්ලාගේ කතාවද එසේමය. අවසන් විග්‍රහයේදී මොවුහු, ජාතික හොරුය. 

වයසින් වැඩි සිසුවකු තමන්ට පසුව පැමිණෙන සිසුවෙකුට වදදීම ඉතාම ගැඹුරු සමාජ ගැටලුවකි. නවකවදය යනු රෝගයට වඩා රෝග ලක්ෂණය බව අපේ විශ්වාසයයි. අවාසනාවට මෙන් මෙම ගැටලුව දෙස ගැඹුරු සමාජ විද්‍යානුකූල හැදෑරීමක් අපට දැක ගත නොහැකිය. එසේම, බොහෝමයක් විශ්ව විද්‍යාල සිසුන් විවිධ දේශපාලන කඳවුරු වල මෙලම් බවට පත් වූහ. මේ නිසා මෙම රාජ්‍යය ආයතන කිසිඳු පිළිගැනීමක් සහ ප්‍රසාදයක් නැති ආයතන බවට පත්විය. කැමති දේශපාලන දර්ශනයක් වෙනුවෙන් සහයෝගය දැක්වීම මූලික අයිතියකි. නමුත්, අනුන්ගේ කුණු හේතුවෙන් තමන්ගේ ජීවිතය නාස්ති කර ගැනීම මෝඩකමේ උච්චතම අවස්තාව වේ. මේ නිසා බොහෝ සිසුන්ට ඔවුහුගේ සිසු ජීවිතය අහිමිවිය. ඔවුහු බොහෝමයක් ව්‍යාජ විමුක්තිඔයක් වෙනුවෙන් සිහින දකින හිස් මිනිසුන් බවට පත්වූහ. එම හිස්කම පුරවා ගනු ලැබුවේ අනෙකාට වෛර කිරීමෙන් සහ අනෙකාව නොඉවසීමෙනි.   අවසානයේදී, ඔවුහුට තම ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහා තිබුණු අවස්ථාවන් මගහැරුනි. උපාධිය රැගෙන නිවසට යන සිසුවාට උදේ සිට සවස් වන තුරු රාජ්‍යය ආයතනයකට වී ඈනුම් අරිමින් කාලය කා දමන සංවර්ධන නිලධාරියෙකු ලෙස පත්වීම ගැනීම සඳහා දේශපාලනඥයෙකුගේ පිහිට පැතීමට සිදුවේ. ජාතිය මුහුණ දී සිටින අවාසනාව මින් නොපෙනේද? 

මෙම සමස්ථ ක්‍රමවේදය වෙනස් වීම සඳහා සැබෑ ප්‍රතිසංස්කරණයක් අත්‍යවශ්‍යය වේ. සිසුන් සිසුන්ට පමණක් නොව ගුරුවරුන් සිසුන් හමුවේ වගකීමට සහ වගවීමට යටත්වන පාරදුශ්‍ය වැඩපිළිවෙලක් තිබිය යුතුවේ.

නවකවදය මැඩලීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගැනීම රාජ්‍යයේ වගකීම වේ. එහිදී බුද්ධි අංශ වලට පැවරී ඇති වගකීම අති විශාලය. එය මනා ලෙස ක්‍රමෝපායික ගතකළහොත් දශක ගණනාවක් තිස්සේ ලැජ්ජාව පමණක් ලබාදුන් මෙම රාජ්‍යය අධ්‍යාපන ආයතන දිගුකාලීන වශයෙන් වැදගත් වන වැඩපිළිවෙලකට යොමු කළ හැකිය. ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශනයට අනුව සෑම සිසුවෙකුටම විශ්වවිද්‍යාල වරම් ලබා දීමෙන් ජාතියට ප්‍රයෝජනයක් වන්නේ එවිටය.