‘‘20 ලිව්වේ එක්සත් ජනපද කාර්යාලයෙන්ද ?‘‘ - බිමල්



20 වන සංශෝධනයට විරුද්ධ නම්  අධිකරණයට නොයන්නේ මන්දැයි ආණ්ඩුවේ මැති ඇමතිවරු පවා විමසන බවත් මෙම සංශෝධනය රචනා කිරීම ගැන වගකීම කිසිවෙකුත් භාරනොගන්නා බවත් එය එක්සත් ජනපද කාර්යාලයෙන් රචනා කළාදැයි යන්න ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක අද පැවති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් විමසුවේය. 

20 ලිව්වේ එක්සත් ජනපද කාර්යාලයෙන්ද ? 

මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ,  ‘‘ඊයේ (22) 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 20 වැනි සංශෝධනය පසුගිය අගෝස්තු 28 වැනිදා ගැසට් පත්‍රයේ පළ කළා. ඒත් එක්කම සමාජයෙන් දැඩි විවේචනයක් එල්ල වුණා. ඒ විවේචන හමුවේ 20 වැනි සංශෝධනය ලිව්වේ කවුද කියලා ඉදිරිපත් වීමටවත් ආණ්ඩුවේ ඇමතිවරුන් බය වුණා. අලි සබ්රි ඇමතිවරයා, ජී.එල්. පීරිස් ඇමතිවරයා වගේ කවුරුත් එහි වගකීම බාරගත්තේ නැහැ. ඒ නිසා මේක එක්සත් ජනපද කාර්යාලයෙන් ලිව්වාද කියන ප්‍රශ්නයක් මතු වුණා. මෙහි අඩංගු කරුණුවල ප්‍රජාතන්ත්‍රවිරෝධීභාවයේ තරම ඇමතිවරුන් ඉදිරිපත් නොවීමෙන්ම පැහැදිලි වෙනවා. ගෝත්‍රික පවුලක් වටා බලය ගොඩනංවන රට අවුරුදු 40ක් පස්සට ගෙනයන අවජාතක දරුවෙක් වගේ 20 වැනි සංශෝධනය ඉදිරිපත්කර තිබෙනවා. 

මේ සංශෝධනය ගැසට් කළාට පසු කෙටුම්පත ගැන සලකා බලන්න කැබිනට් ඇමතිවරු පස්දෙනෙක් සහ මන්ත්‍රීවරුන් හතර දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් අග්‍රාමාත්‍යවරයා පත් කළා. මේ අනුව අගෝස්තු 28 වැනිදා ගැසට් කළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සංශෝධන සහිත අලුත් එක ගේනවා කියලා ප්‍රකාශ කර තිබුණා. නමුත් 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පරණ කෙටුම්පතමයි. අගමැතිවරයා පත්කළ කමිටුව විසින් අධ්‍යයනකර ලබාදුන් වාර්තාව මේ වන විට කළු කුහරයට දාලා තිබෙන බව පේනවා. 20 වැනි සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර, එදිනම අනුමත කරගැනීම ඉතාම දුර්ලභ දෙයක්. සාමාන්‍යයෙන් කෙටුම්පතක් අධ්‍යයනය කරන්න කැබිනට් සාමාජිකයන්ට සතියකවත් කාලයක් ලබාදෙනවා. නමුත් ඒ කිසිදු අවස්ථාවක් ලබානොදීමෙන් කැබිනට් මණ්ඩලය තුළ සම්මත කරගෙන මේ වන විට ආණ්ඩුව හත්පොලේ ගාගෙන තිබෙනවා.  සියල්ල ඩෝසර් කරගෙන යන බලයක් ඉදිරියේ අගමැතිවරයා පවා දැන් හීනෙන් බයවෙලා වගේ වැඩකරන්නේ. එහෙම නැත්නම් අගමැතිවරයාත් ඉන්න කැබිනට් මණ්ඩලයෙන් මේ කෙටුම්පත අනුමත කළ පසුව අධ්‍යයනය කරන්න කියලා අගමැති කමිටු දාන්නේ කොහොමද? 

20 අවජාතක කෙටුම්පතක්

අලුත්ම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් හදන්නත් විශේෂඥ කමිටුවක් පත්කළා. එහෙම තිබියෙදී අයිතිකාරයෙක් නැති අවජාතක 20 කෙටුම්පත සංශෝධනයක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට සිදුවී තිබෙන්නේ දිව විකාගෙන මේකට ඡන්දය දෙන්න. නමුත් අපි ජනතාවට පැහැදිලි කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ සංශෝධනය පරාජය කළ යුතු බවයි. ආණ්ඩුව තුළමත් එයට දැඩි විරෝධයක් තිබෙන බව පේනවා. මේ අතරේ ජනතාවගේ ඇහැට වැලි ගහලා ආණ්ඩුවේ 2/3කේ බලය යොදාගෙන ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළවල්වලින් ආණ්ඩුවේ විකෘති හැසිරීම් ජනතාවට දැකගන්න ලැබෙනවා. මේ සංශෝධන කෙටුම්පත ප්‍රගතිශීලී එකක් නම්, එය බාරගන්න අයිතිකාරයෝ බොහොම දෙනෙක් ඉදිරිපත් වෙනවා. නමුත් 20 මගින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ බලය ශක්තිමත් කරගන්න යන නිසා මේ වගකීම ගැන ප්‍රසිද්ධියේ කවුරුවත් ඉදිරිපත් වන්නේ නැහැ. 

එක්සත් ජාතික පක්ෂය, සජිත් පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ මේ පක්ෂ දෙක මොන වේශයෙන් හිටියත් 1978 සිටම ඔප්පු කරමින් තිබෙන්නේ ඔවුන් ජනතාවගේ කපටි ආරක්ෂකයන් බවයි. මොවුන් ජනතාවගේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටිමින් ඉතිරිවී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ සෙවනැල්ල පවා විනාශකර දමන්නයි උත්සහ කරන්නේ. මේ සංශෝධනය නිසා ජනතාවට සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් වගේම ජීවිතවලින් පවා වන්දිගෙවීමට සිදුවන තත්ත්වයක් ඇතිවෙන බවට අපි අනතුරු අඟවනවා. මේ නිසා මේ තත්ත්වයට විරුද්ධව පාර්ලිමේන්තුවේදී මෙය පරාජයට පත්කරගන්න බැරි වුණොත් දිගුකාලීනව ජනතාව අතර, පරාජයට පත් කළ හැකි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. 

ආණ්ඩුවේ ඇමතිවරු පවා අහනවා මේකට විරුද්ධ නම් අධිකරණයට යන්නේ නැත්තේ ඇයි කියලා ?

ඇතැම් අය, ආණ්ඩුවේ ඇමතිවරු පවා අපෙන් අහනවා මෙයට විරුද්ධ නම් අධිකරණයට යන්නේ නැත්තේ ඇයි කියලා. මේක හොරකමක් කළ කෙනෙක් අල්ලලා දඬුවම් කරනවා වගේ වැඩක් නොවෙයි. අධිකරණය කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන හරි වැරැද්ද බලන තැනක් නෙවෙයි. අධිකරණය සලකා බලන්නේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කරනවාද? නැත්නම් 2/3ක බහුතරයක් ඕනෑද එසේත් නැත්නම් ජනමත විචාරණයකට යා යුතුද වගේ තාක්ෂණික කාරණා. මීට පෙර 18වැනි සංශෝධනය මගින් ලබාගත් ඒකාධිපති බලතල හරයාත්මකව 20වැනි සංශෝධනයේ තියෙනවා. 18 වැනි සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුව මතක්කර ගැනීම වැදගත්. හොඳද, නරකද කියලා සලකා බැලුවේ නැහැ. අධිකරණය තියෙන්නේ තාක්ෂණික පැත්තේ තිබෙන කරුණු ටික විසඳන්න. නමුත් මෙතැන ඇත්තටම තිබෙන්නේ දේශපාලන ගැටලුවක්. එය සමාජයේ ජනතාව අතර විසඳාගත යුතු දෙයක් මිස අධිකරණයේ භූමිකාවක් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයත්, ඉතිරිවී තිබෙන ජනතාවගේ අයිතීන් ආරක්ෂාකර ගතයුතු බවත් තමයි ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය. පාර්ලිමේන්තුවේ දී මෙය සම්මත කර, පාර්ලිමේන්තුවට ඉතිරිවී තිබෙන මුදල් පාලනය පිළිබඳ භූමිකාවත් මරාදානවා. ඒ වගේම නීති සම්පාදනයේ භූමිකාවත් මරාදානවා. ජනතාව 2/3කේ බලයක් ලබාදීලා මේ වෙනකොටත් පාර්ලිමේන්තුව මරාදාලා ඉවරයි. 

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිලත් දැන් 19 ගැන අඬනවා

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පිලත් දැන් 19 ගැන අඬනවා. මේ අය ප්‍රජාතන්ත්‍රවාදයේ කපටි ආරක්ෂකයන් හැටියටයි ඉන්නේ. ඒ බව පහුගිය පාලන කාලයේදී පෙන්නුවා. 2015දී රාජපක්ෂලාගේ කළු සල්ලි, කළු මාධ්‍ය මෙහෙයුම්වලට යට නොවී මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ දෙපිරිසට ජනවරමක් ලබාදුන්නා. ඒ ඒකාධිපති විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කියලා. නමුත් ඒ දෙපිරිසම ක්‍රියා කළේ ජනවරමට එරෙහිවයි. බොහොම අමාරුවෙන් සම්මත කරගත්ත 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතුව තිබෙන ඒකාධිපති බලතල ප්‍රමාණයක් අඩු කළා. මේ නිසාම 19 වැනි සංශෝධනය වැඩක් නැති බවට ජනමතයක් එදා ඉඳලාම රාජපක්ෂවරුන්ගේ පැත්තෙන් ගොඩනැගුවා. නමුත් රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන වගේම සජිත් ප්‍රේමදාස කණ්ඩායමත් 19 වැනි සංශෝධනයෙන් ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පවා පාවාදුන්නා. 2018 ඔක්තෝබර් කුමන්ත්‍රණය අධිකරණයේදී පරාජයට පත්කළාට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හැමපැත්තෙන්ම හිරවුණා. ඒ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ඔහුගේ පැත්තෙන් කැබිනට් මණ්ඩලට ගෙනත් තිබුණා. අද සෝභිත හිමියන්ගේ පිළිරුව ඉස්සරහාට ගිහින් 20වැනි සංශෝධනයට විරෝධය පළකරන සජිත් පිළේ සියලුම දෙනා එදා එම කැබිනට් යෝජනාවට විරුද්ධව විශාල ඝෝෂාවක් ඇති කළා. ජනතා විමුක්ති පෙරමුණේ අපි පෞද්ගලික මන්ත්‍රී පනතක් හැටියට 20 වැනි සංශෝධනය ගෙන ආවත්, මේ දෙපිරිසම එය ක්‍රියාත්මක කරන්න තරම් සහයෝගයක් ලබාදුන්නේ නැහැ. විශේෂයෙන් අද සජිත් ප්‍රේමදාස පිල කපටි ආර්ෂකයන්ගේ භූමිකාව රඟපාමින් ජනතාව මුලා කරනවා. 

මේ දෙපැත්තේ ඉන්න කිසිම කෙනෙකුට ජනතාවගේ ආරක්ෂාව සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර, වර්ධනය කරමින් ඉස්සරහට ගෙනියන්න බැහැ. 1978 ඉඳලා අවුරුදු 40ක් පුරා ජනතාව විරෝධය පළකළ මේ ඒකාධිපති ව්‍යවස්ථාව ඉවත් කරන්න පෙළගැසී සිටින බව පෙන්වන කපටි ආරක්ෂකයන්ගෙන් ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ දෙයක් නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලනවා. සමගි ජනබලවේගය දැන් මහින්ද රාජපක්ෂ ගැන අනුකම්පාවක් උපදවන කතාවක් කියනවා. ඒ ව්‍යාජ මවාපෑම්වලට ජනතාව තල්ලු කිරීම නිසා ඔවුන්ට ඇත්ත දකින්න ලැබෙන්නේ නැහැ. මේ ව්‍යවස්ථා සංශෝධන ගේන්නේ මහින්දට විරුද්ධව පාවිච්චි කරන්න නොවෙයි. නිදහස් අධ්‍යාපන අයිතීන් ඉල්ලන, නිදහස් සෞඛ්‍යය අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණය කරන, පොහොර සහනාධාරය ලබාගැනීමට උද්ඝෝෂණය කරන ජනතාවට විරුද්ධව පාවිච්චි කරන්නයි මේක ගේන්නේ. ඒ වගේම දේශීය සහ විදේශීය ධන කුවේරයන්ට ජාතික සම්පත් කොල්ලකන්න දෙන්න ජනතාව ලබාදුන් 2/3 බලය යොදාගන්නවා. ඉඩම් සහ වනාන්තර විනාශකර, කොල්ලකෑමට අවස්ථාව වැඩිකරන්න ක්‍රියාකරන විට ජනතාවගෙන් එල්ලවන විරෝධය මර්දනය කිරීමට මේ ව්‍යවස්ථා සංශෝධනය හරහා විශාල ඉඩක් ලබාගන්නවා.

මේ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ රටේ සම්පත් කොල්ල කන ආර්ථික දේශපාලනික ක්‍රියාවලිය ආරක්ෂා කිරීමට ගෙන එන, ඒ  වගේම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඉතිරිවී තිබෙන ටිකත් හකුළන, මේ සංශෝධනයට විරුද්ධයි. ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කරනවා. ඒ වගේම සමාජය තුළ මෙය පරාජයට පත්කිරීමේ ප්‍රමුඛ තම වැඩකොටස පක්ෂයක් හැටියට අපි ඉටුකරනවා.‘‘ යන්නයි.