අවලස්සන රාජ්‍ය තාන්ත්‍රිකභාවය

කොරෝනා වසංගතය විශාල අභියෝග රැසක් අප හමුවේ තබා ඇත. මෙහිදී වැදගත් වන්නේ, සෑම රටක්ම එකතු වී සාමූහිකව කටයුතු කිරීමයි.

කතුවැකිය 

කුවේට් රාජ්‍යයේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක්  මෙරටට ගෙන් වූ අතර ඔවුහු බොහෝ දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී ඇත. අවාසනාවට මෙන් මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස කිසිඳු වෛද්‍යය පරීක්ෂණයකට ලක් නොකොට මෙරටට එවීමට කුවේට් බලධාරීන් මෙන්ම කුවේට් හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කොට ඇත. මෙම සිදුවීම රාජ තාන්ත්‍රික සම්බන්ධතාවල කටුක යථාර්තය සහ මෙරට තානාපති කාර්යාල වල ඇති දුර්වල පරිපාලන ක්‍රමවේදය ඔප්පු කරනු ලබයි. මෙරට ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන බොහෝමයක් තානාපති කාර්යාල වල සේවය කරන පුද්ගලයින් ඔවුහුගේ සුව පහසුව මිස ජනතා සේවයක් ගැන තකන්නේ නැත. 



ශ්‍රී ලංකාව දුප්පත් රටක් වුවද  කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටින් පිටවීමට නොහැකි වූ දහස් ගණනක් වූ විදේශ ජාතිකයින් ඉතාම ප්‍රවේශමෙන් රැක බලා ගත්තේය. ඔවුහුට උදව් අවැසි අවස්ථාවේදී මෙරට ජනතාව ඔවුහු වෙනුවෙන් පෙනී සිටියෝය. එසේම, කිසිඳු විදේශිකයෙකු හාමතේ නොතබා ඔවුහුගේ ජීවිතය සුරක්ෂිත කිරීමට කටයුතු කළේය. අපි දුප්පත්ය. නමුත් අනෙකාගේ දුකට පිහිටවීමට අපි අපේ දුප්පත් කම බාධාවක් කර ගත්තේ නැත.  නමුත්, ලෝකයේ බොහෝ ධනවාදී රටවල් තම රටවල සේවය කරන සහෝදර ජාතීන් වලට අයත් ජනතාවට සලකන ආකාරය ඉතාම අසාධාරණය. 

කුවේට් රාජ්‍යය ඉතාම අවලස්සන ලෙස ශ්‍රී ලාංකිකයින්ට සලකා ඇත. එය ඉතාම කනගාටුදායක තත්වයකි. එසේම මෙය කුවේට් රාජ්‍යයේ ආතමර්තකාමී  අරමුණු වල ඇති කුණු වූ ස්වභාවය කෙතරම්ද යන්න ඔප්පු කරන සිදුවීමකි.  කිසිඳු  මූලික වෛද්‍ය පරීක්ෂණයකට ලක් නොකොට මෙරටට එවනු ලැබූ ශ්‍රී ලාංකිකයින්ගෙන් බොහෝමයක් කුවේට් හි නිවෙස් වල සේවය කරන අයවලුන්ය. ඇත්ත වශයෙන්ම කිව්වොත් මොවුන් බොහෝ දෙනෙකු ඉතාම සුළු වැටුපකට බැලමෙහෙවරකම් කරන පිරිසක්ය. මොවුන්ගේ ජීවිත වල ආරක්ෂාව සහතික කිරීමේ වගකීමක් කුවේට් බලධාරීන්ට තිබේ. එය, මෙවැනි අවාසනාවන්ත අවස්ථාවක, මනුෂ්‍යයකු විසින් තවත් මනුෂයෙකුට කළ යුතු මූලික යුතුකමකි. මෙවැනි අවස්ථාවක, අපි කුවේට් ඇතුළු බොහෝමයක් මැදපෙරදිග රටවලින් ඉල්ලා සිටින්නේ එම මූලික මනුෂ්‍යයත්වයට ගරු කොට කටයුතු කරන ලෙසයි. 

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් හා සම්බන්ධ තවත්  සිදුවීමක් රෝමෙනියාවෙන් වාර්තා විය. රොමේනියාවේ බෝටෝසානි ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හලක සේවය කරනු ලැබූ ශ්‍රී ලාංකිකයින් 36 දෙනෙකු පසුගියදා රැකියාවෙන් දොට්ට දැමීය. ඔවුහුගෙන් එක් අයෙකු කොවිඩ් වෛරසය ආසාධිත පුද්ගලයෙකි. එම පුද්ගලයා වහාම රෝහල් ගත කිරීමට එරට බලධාරීන් කටයුතු කළ අතර අනෙකුත් පිරිස නිරෝධායනයට ලක් කළේය. නිරෝධායන කාලය අවසන් කිරීමෙන් පසු, ඔවුහුට නව රැකියා අවස්ථා ලබා දීම සඳහා එරට බලධාරීන් විසින් සිදු කරමින් සිටිති. විවිධ දුෂ්කරතා මධ්‍යයේ රොමේනියානු බලධාරීන් මෙහිදී කටයුතු කරන ආකාරය පැසසිය යුතුය. 

කොරෝනා වසංගතය විශාල අභියෝග රැසක් අප හමුවේ තබා ඇත. මෙහිදී වැදගත් වන්නේ, සෑම රටක්ම එකතු වී සාමූහිකව කටයුතු කිරීමයි. රෝගය ව්‍යාප්ත වීමට ඇති අවස්ථා හැකිපමණ නැති කිරීම රෝගය පාලනය කිරීමේ එකම ක්‍රමය වේ. අඩුම වශයෙන් මූලික වෛද්‍යය පරීක්ෂණ වලට යොමු කොට ඊට අදාළ වාර්තා සමග එම පුද්ගලයින් එක් තැනක සිට තවත් තැනකට රැගෙන ආ යුතුය.  ඒ වෙනුවට තමන් යටතේ සේවය කළ මිනිසුන්ට කුඩම්මාගේ සැලකිලි ලබා දීම ඉතාම කැත ගතියකි.