දියගම ක්‍රීඩාංගණය ඉදිවන්නේ නැති බව අගමැති කියයි


දියගම ක්‍රීඩාංගණය ඉදි කිරීමට වෙනුවට පාසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට හා දැනට වැඩි දියුණු කළ යුතු ක්‍රීඩාංගණය සංවර්ධනය කොට පහසුකම් සැලසීමට අද (21) අරලියගහ මන්දිරයේ දී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී එකඟතාවක් ඇතිවිය. ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රිකට් පරිපාලනය සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් මේ අවස්ථාවට සහභාගී විය. 

මෙහිදී ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම අදහස් දක්වමින් කියා සිටියේ “අග්‍රාමාත්‍යතුමා කිව්වා වගේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන අවස්ථාවක අපි ක්‍රිකට් ගොඩනගන්න අවධානය යොමු කළ යුතුයි. මහේල සහ අපි එකතු වෙලා ක්‍රිකට් ගොඩනැංවීම පිළිබඳව සැලැස්මක් සකස් කරලා අධ්‍යාපන අමාත්‍යංශයට භාර දුන්නා. මම හිතනවා පාලක මණ්ඩලය පැත්තෙනුත් ක්‍රිකට් ගොඩ නගන්න සංවිධානය විය යුතුයි කියලා.”

ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන පැවසුවේ “ක්‍රිකට් කණ්ඩායම කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. දැන් ඒ බ්‍රෑන්ඩ් එක නැහැ. කොවිඩ් 19 එක්ක ඉදිරි අවුරුදු තුන ගත්තොත් ජාත්‍යන්තරව අනුග්‍රහය සපයන පිරිස ඉදිරියේදී අඩු වෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවා මේ වෙනකොට ඒ වැඩ කරන අයගේ මුදල් ගෙවීම් අඩු කරලා තිබෙනවා. අපි හිතන්නේ නැහැ අපි හිතන විදියටම ඉදිරි අවුරුදු පහ තුළ අදායමක් ලැබෙයි කියලා. එහෙම සැලැස්ම හැදුවොත් අපි ලොකු කරදරයක වැටෙනවා ඒ නිසා අපේ රට ඇතුලේ තිබෙන තත්ත්වය බලමින් වැඩ කරන එක තමයි හොඳම දේ“

ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය ද අදහස් දක්වමින් කියා සිටියේ “මම හිතන්නේ මම වෙන්නැති ලංකාවේ කණ්ඩායමට දුරින්ම ආපු ක්‍රීඩකයා. මම කියන්නේ අපි අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙන්. කොළඹ ඉඳලා මාතරට මාතර ඉඳලා හම්බන්තොටට යනකම් පාසල් වල තිබෙන තිබෙන දේවල් දැක්කම ඉතාම කණගාටුයි. ඒ නිසා පාසැල් ක්‍රිකට් ක්ෂේත්‍රයට ළමයි වෙනුවෙන් කරන්න ලොකු වැඩ කොටසක් තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා පාසල් වලට දෙන්න පුළුවන් සහයෝගය ලබා දිය යුතුයි“


ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර තම අදහස් ලෙස කියා සිටියේ “පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රීඩා සමාජවල තරඟාවලි අපි මිට වඩා ශක්තිමත් කළේ නැත්නම් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දුන්නේ නැත්නම් අවශ්‍ය තණතීරු අවශ්‍ය අත්දැකීම් ලබා දුන්නේ නැත්නම් අපිට ශක්තිමත් ජාතික කණ්ඩායමක් බිහිකරන්න අමාරු වෙනවා." යන්නයි.