‘‘ජූනි මසදී 5000 මූල්‍ය ආධාරය ලබාදෙන්නේ නැහැ‘‘ - බන්දුල


සැමවිටම මෙරට මැතිවරණ නීතියට ගරු කිරීමට බැඳී සිටින බවත්, ඉතාම දුෂ්කර මුල්‍ය තත්ත්වයක් යටතේ වුව ද වත්මන් රජය විසින් කෙසේ හෝ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රුපියල් 5,000 ක මුල්‍ය ආධාර ලබා දීමට කටයුතු කළ නමුත් මැතිවරණ කොමිසම විසින් සිදු කර ඇති නියෝග වලට ගරු කරමින් ජුනී මස ලබා දීමට ඇති රුපියල් 5,000 ක මුල්‍ය ආධාර ලබා නොදීමට සිදුවන බවත්  කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය  බන්දුල ගුණවර්ධන අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

පොරොත්තු ලේඛන වල සිටින අයවළුන් ද සමඟ සමෘද්ධිලාභීන් විසිපන් ලක්ෂයකට අධික පිරිසකට ගෙවීම සඳහා රුපියල් මිලියන 12,651 ක් ග්‍රාමීය ව රක්ෂා කරමින් සිට මේ වන විට රැකි රක්ෂා වල නිරත විය නොහැකි තත්ත්වයේ සිටින සමෘද්ධි ලාභීන් නොවන 1924,967 ක පිරිසක් වෙනුවෙන් රුපියල් මිලියන 9,624 ක් අවශ්‍යව තිබේ.

රාජ්‍ය සේවකයින් විසින් හා වෙනත් පාර්ශ්ව විසින් දීමනා දීම පිලිබඳව ගණනය කිරීමේ දී එකී සහනාධාර ලැබීමට සුදුසු යැයි හමු වූ 688,811 ක් වෙනුවෙන් ද ගෙවීම් කළ යුතු යැයි තීරණය කොට තිබේ. ඒ අනුව, මැයි මස දී මුල්‍යාධාර ලබා දෙන මුළු පිරිස 5,144,046 ක් වන බව ඔහු මෙහි දී කියා සිටියේය.

කෙසේවුව ද, පවතින තත්ත්වය හමුවේ රජය විසින් ලබා දෙන සහනාධාර/මුල්‍යාධාර සියල්ල දේශපාලන පක්ෂ පාට වලින් තොර ව මානව හිතවාදී ලෙස ලබා දීමට කටයුතු කළ බවත්, මෙම මාස දෙක සඳහා රුපියල් කෝටි 5,000 කට වැඩි මුදලක් මෙම සහනාධාර වශයෙන් ලබා දීමට කටයුතු කර ඇති බවත්, මෙම මුදල ලබා දීම සඳහා රජය විසින් මුදල් සපයා ගන්නේ භාණ්ඩාගාරයේ දුෂ්කරතාවයක් පවතිද්දී බවත් කියා සිටියේය.

එහෙයින්, සමෘද්ධි ප්‍රතිලාභීන්, පොරෝත්තු ලේඛන වල සිටින අයවළුන් සහ අනිකුත් පිරිස සඳහා මැයි මස ලබා දීමට අවශ්‍ය මුදල් ගෙවීමට අමතරව අවශ්‍ය වන අරමුදල් යෝජිත පරිදි සමෘද්ධි දෙපාර්තමේන්තුව සතු අරමුදල් වලින් ලබා ගැනීමට ඇති අපහසුව මෙන්ම මේ වෙනුවෙන් භාණ්ඩාගාරය විසින් අරමුදල් සලසා දීමට ප්‍රතිපාදන නොමැති වීම යන කරුණු හේතුවෙන් මේ සදහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් සමෘද්ධි ලාභීන්, පොරොත්තු ලේඛන වල සිටින හා බලපෑමට ලක් වූ මෙන්ම අනිකුත් අඩු ආදායම්ලාභීන් සදහා 2020 මැයි මස ලබා දීමට අදාළ රුපියල් 5,000 මුදල ගෙවීමට අමතරව අවශ්‍ය වන රුපියල් මිලියන 16,000 ක මුදල වන රුපියල් කෝටි 1,600 ක මුදල සමෘද්ධි දෙපාර්තමේන්තුව සතු මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ ඇති සුරැකුම් ලෙස භාවිතා කරමින් සමෘද්ධි දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මුල්‍ය බැංකු අරමුදල වෙත කෙටිකාලීන ණය මුදලක් ලෙස ලබාගැනීම සහ ඒ සදහා සුදුසු පොළී අනුපාතයක් තීරණය කිරීමට බැංකුව සමඟ සාකච්ඡා කිරීමේ බලය භාණ්ඩාගාරයේ ලේකම් වෙත පැවරීමටත්, මෙම ණය මුදල ලබා ගනිමින් මැයි මස ලබා දීමට නියමිත මුදල ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, එලෙස ලබා ගන්නා ණය මුදල නොපමාව ගෙවීමට අවශ්‍ය කටයුතු කිරීමට ඉදිරි ඇස්තමේන්තු ගත භාණ්ඩාගාරයේ ලේකම්ට නියම කිරීමටත් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සදහන් කළේය.