මුහුදු මහා විහාරයට නාවික හමුදා මුර පොලක්


 පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම භූමිය ආරක්ෂා කිරීම සඳහා  වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කරන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න අද (14) නාවික හමුදාපති පියල් ද සිල්වාට නියෝග කළේය

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ය.

මුහුදු මහා විහාරයට අයිති ඉඩම් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම නතර කිරීමේ අරමුණින් හෙට (15) දින සිට මෙම නාවික හමුදා අනුඛණ්ඩය මුහුදු මහා විහාරයේ ස්ථාපනය කරන බවද ආරක්ෂක ලේකම්වරයා එහිදී කියා සිටියේය.

මුහුදු මහා විහාරයට අයිති ඉඩම් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සහ විහාරස්ථානයේ ඉඩම් හිමිකම් ගැන මේ දිනවල සිදුවන විවිධ ගැටුම් පිළිබඳ සොයා බැලීමට පැමිණෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ආරක්ෂක ලේකම්වරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක ලේකම්වරයා අද පස්වරුවේ එම විහාරස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. 

මුහුදු මහා විහාරයට ඉඩම් අක්කර 72 අයිතිව ඇති බව සඳහන් වුවද මේ වන විට ඉතිරිව ඇත්තේ ඉඩම් අක්කර 14 ක ප්‍රමාණයක් බව ද මෙහිදී හෙළි විය

විහාරයට අයිති සියලු ඉඩම් යළි ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන බවද පෙන්වාදුන් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ මින් ඉදිරියට විහාරස්ථානය සතු එක වැලි කැටයක් හෝ කිසිම පුද්ගලයකුට අත්පත් කර ගැනීමට ඉඩ නොතබන බවය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව විහාරස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී උපදෙස් දුන්නේය

ඉදිරි සතියේ පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සමග අගමැතිවරයා  හමුවී මෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය

මේ අතර දිගවාපිය විහාරස්ථානයට අයිති විශාල ඉඩම් ප්‍රමාණයක් ද වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති අතර එම ඉඩම් නැවත ලබාගැනීම සඳහා ද කටයුතු කරන බව ආරක්ෂක ලේකම්වරයා කීවේය. දිගවාපිය විහාරස්ථානය ද නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු  පිරිස ඊයෙ දීඝවාපිය විහාරස්ථානයට ද ගියහ