කොරෝනා වසංගතයෙන් රට මුදාගැනීම සියලුදෙනාගේ අරමුණ විය යුතු බවත් කොරෝනා පරද්දන ධෛර්යයෙන්ම ධනවාදය පැරදවීමේ අරගලයත් 1971 අප්‍රේල් විරුවන්ගෙන් ලබාගැනීම ඔවුන් වෙනුවෙන් කළ හැකි ඉහළම සැමරුම බව ජනතා විමුක්ති පෙරමුණේ 49 වන අප්‍රේල් විරු සමරුව අද (5) දින බත්තරමුල්ලේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු අවස්ථාවේ අදහස් දැක්වූ එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසුවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු අවධාරණය කළේ,
‘‘අපි අද අන්තර්ජාලය ඔස්සේ සජීවීව එකතුවෙලා ඉන්නේ මීට අවුරුදු 49කට පෙර අද වගේ දවසක අයුක්තියට, අසාධාරණයට එරෙහිව නව සමාජ ක්‍රමයක් වෙනුවෙන් සටන් කොට දිවිදුන් පරපුරක ආදරණීය සහෝදර සහෝදරියන් සැමරීම සඳහායි. අපි කුමණ පක්ෂයක හිටියත් අපේ පක්ෂයේ ආරම්භක පරපුරේ දිවිදුන් සහෝදර සහෝදරියන් අනුස්මරණය කිරීම, ඔවුන්ගේ අත්දැකීම් එකතුකර ගැනීම හා ඔවුන් මඟපෙන්වූ නව සමාජයක් නිර්මාණය කිරීමේ කාර්ය සඳහා ධෛර්ය එකතුකර ගැනීම වෙනුවෙන් අප්‍රේල් විරුවන් අනුස්මරණය කරලා තියෙනවා. වනගතව සිටියදී, සිරගතව සිටියදී පවා සිදුකළ අනුස්මරණය හැකි අවස්ථාවලදී විශාල පිරිසක් එකතු කරගෙන සිදුකළා. මෙවර කොවිඞ් 19 වසංගත තත්වය නිසා අප්‍රේල් විරු සමරුව විශාල පිරිස් එකතු කරගනිමින් ප්‍රසිද්ධ ස්ථානයක සිදුකරන්න බැරිවී තිබෙනවා. ඒ නිසා අන්තර් ජාලය ඔස්සේ සහෝදර සහෝදරියන් සම්බන්ධ කර ගනිමින් කෙටි සැමරුමක් සිදුකරනවා.
1971 අරගලයේදී දිවි පිදූවන් සැමරීමට හේතු ගණනාවක් තිබෙනවා. මේ අරගලයේදී අපේ සහෝදරුවන් දිවි පිදූවේ ඉතාම පවිත්‍ර පොදු අරමුණක් වෙනුවෙන්. ඔවුන් සටන් කළේ ජාතිවාදය, ආගමික අන්තවාදයක් වෙනුවෙන් නෙවෙයි. වෙනත් ප්රතිගාමී අරමුණක් වෙනුවෙන් නෙවෙයි. මානව වර්ගයාට විමුක්තිය ලබාදීමේ, මිනිස්සුන්ට මිනිස්සු වශයෙන් ජීවත්වෙන්න පුළුවන් සාධාරණ සමාජයක් වෙනුවෙන් තමන්ගේ දේශපාලන අයිතිය වෙනුවෙන් ඔවුන් සටන් කළා. පවතින අයුක්තිසහගත ධනවාදී ක්‍රමය වෙනස් කරලා සමාජවාදී සමාජයක් නිර්මාණය කරන්න, නිර්ධන පංතියට දේශපාලනය කිරීමේ අයිතිය වෙනුවෙන් සටන් කොට ඔවුන් දිවි පිදුවා. ඒ නිසාම ඔවුන් හැමදාමත් අපේ පරමාදර්ශයන් බවට පත්වී ඉන්නවා.
අපේ පක්ෂයේ ආරම්භක පරපුරේ සහෝදර සහෝදරියන් 1971 අරගලයේදී දිවිපුදා දැන් සියවස් බාගයකට ආසන්න වී තිබෙනවා. ගෙවීගිය අවුරුදු 49 දෙස බැලීමේදී ඉතිහාසය විසින් ඔවුන්ගේ අරගලය සාධාරණ බව යළි යළිත් ඔප්පු කරමින් ඉන්නවා. ඔවුන් සමාජවාදය වෙනුවෙන් දිවිපුදා වසර 50කට ආසන්න කාලයක් ගෙත වෙන මොහොතේ ධනවාදයට අපේ රටේ කිසිම ප්‍රශ්නයක් විසඳන්න බැරිවූ බව ඔප්පුකරමින් ඉන්නවා. ලෝකයේ කිසිම ප්‍රශ්නයක් විසඳන්න බැරි බව ඔප්පුකරමින් තිබෙනවා. ලෝක පරිමාණයෙනුත් ධනවාදය අර්බුදයට ගිහිල්ලා. ලෝකයේ උපදින දරුවන්ට අත්‍යාවශ්‍ය මූලික පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය ලබාදෙන්න බැරිවෙලා. තරුණවියට පත්වුණාට පස්සේ රැකියා ලබාදෙන්න බැරිවෙලා. තනි වචනයෙන් ගත්තොත් මිනිසෙකුට ජීවත්වෙන්න පුළුවන් විදිහේ පරිසරයක් නිර්මාණය කරන්න ධනවාදයට බැරිවෙලා. අසාධාරණය, අයුක්තිය, ලෙඩරෝග, සාගත යුද්ධ මිනිස් ඝාතන, ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් මිනිසා එකිනෙකාට එරෙහිව අවි ඔසවාගැනීම් තමයි ධනවාදය ලබාදී තිබෙන්නේ. වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 1971 විරුවන් දිවිපුදා ආරම්භ කළ අරගලය දේශපාලනය මර්දනයෙන් පවා පරාජය කළ නොහැකිව අදත් අපට මග පෙන්වන පහන් ටැඹවල් බවට පත්වී තිබෙනවා. ඔවුන් හැම විටම අපේ හදවත් තුළ ජීවත්වෙමින් වත්මන් දේශපාලනයට ධෛර්යය, ශක්තිය ආදර්ශ ලබාදෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට ලබාදෙන දේශපාලන ආදර්ශයේ උල්පත බවට පත්වී තිබෙන්නේ 71 දිවිපිදූ සහෝදර සහෝදරියන්.
අපි කාගේත් ප්‍රාර්ථනාව, මූලිකම අරමුණ විය යුත්තේ මේ වසංගතයෙන් රට මුදාගැනීමයි. රෝගය පරාජයට පත්කිරීමයි. ඒ වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අපි කරන සහන කටයුතු වගේම මේක අත්දැකීමක් කරගෙන අලුත් සමාජයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. පාලක පංතිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාමාර්ග සසඳා බලා තේරුම් ගත යුතුව තිබෙනවා. කොරෝනා පරද්දන ධෛර්යයෙන්ම ධනවාදය පැරදවීමේ අරගලයත් 1971 අප්‍රේල් විරුවන්ගෙන් ලබාගැනීමයි ඔවුන් වෙනුවෙන් කළ හැකි ඉහළම සැමරුමයි. තම තමන් ආරක්ෂා වෙමින් අසල් වැසියන් වෙනුවෙන් මැදිහත්වීමත් මනුෂ්‍යත්වය වෙනුවෙන් කැපවීමත් කරන ලෙස අපි ඉල්ලනවා. මනුෂ්‍යත්වය නැති ධනවාදය වෙනුවට මනුෂ්‍යත්වයෙන් පිරි සමාජයකුත්, ජාතිභේද, ආගම්භේද නැති සමාජයකුත් 71 විරුවන් බලාපොරොත්තු වුණා. රෝගී තත්වය මැද්දෙත් ජාතිවාදය වපුරන, ආගම්වාදය වපුරන කුණුවෙච්ච සමාජ ක්‍රමය වෙනුවට කවුරුත් මිනිසුන්ට මිනිසුන් වශයෙන් සලකන විනයගරුක සමාජයක් අපි ගොඩනැගිය යුතුව තිබෙනවා. මේවා කරන්න ධනවාදයටත් ධනවාදී නායකයන්ටත් බැහැ. මීට අවශ්‍ය විනය, කැපවීම සමාජවාදී රටවල් තුළ තිබෙනවා. ඒ නිසා අපි සාධාරණ යුක්තිගරුක මනුෂ්‍යත්වය පිරිච්ච මිනිසුන් බිහි කරන සමාජවාදී සමාජයක් වෙනුවෙන් අපි අරගල කළ යුතුව තිබෙනවා.
මේ වසංගතයෙන් රට මුදවා ගත්පසු ආර්ථික අර්බුදයක් ඇතිවීමේ අනතුර තිබෙනවා. නිෂ්පාදන කඩාවැටීම, රැකියා අහිමිවීම වගේ සමාජ අර්බුද මතුවීමේ අනතුරක් තිබෙනවා. මේ හැමදේකටම උත්තර තිබෙන්නේ සමාජවාදී සමාජයක් තුළ. ඒ සමාජවාදී සමාජයක් ගොඩනගා ගැනීම සඳහා උපරිම ආකාරයෙන් කැප වෙමු කියන ඉල්ලීම අපි කරනවා. මනුෂ්‍යත්වය ගොඩනැගීම වෙනුවෙන් අසීමිත කැප කරීමක් කළ 71 අරගලයේදී දිවිපිදූ අපේ ආදරණීය සහෝදරයෙකු ලියූ කවියකින් අපි ඔබෙන් සමු ගන්නවා.‘‘ යන්නයි.
Post a Comment