ආදරය කරන හැටි ශ්රෙක් ගෙන් ඉගෙන ගමු...



- මහේෂ් හපුගොඩ - 


මේ ලොක්ඩවුන් කාලයේ ස්පීල්බර්ග්ගේ සිනමාපට බලන්න 

මේ වනාහී හොලිවුඩ් වීරයින් අර්බුදයට යවන සමයක් වුනත් එක්තරා ආකාරයකට ගත්තම මට ස්ටීවන් ස්පීල්බර්ග් අමතක කරන්න බැහැ. හේතුව තමයි යම් දෙයකට අනුරාගික ලෙස බැඳෙන මිනිහෙක් ඒ වැඩේ අවසානයක් දක්වා අරන් යන එක එයා එයාගේ කලාකෘති වල නිරූපණය කිරීම. Munich, Empire of the Sun, Saving Private Ryan, Amistad, Lincoln, Bridge of Spies ඒවායින් සමහරක්. ඒ කියන්නේ එයාගේ කෘති වලින් එයාලගේ පැවැත්ම ගැන ආශ්වාදයක් (inspiration) අරන් එනවා විතරක් නෙවෙයි අපිව ප්‍රබෝධමත් කරන්න ඒවා සමත් වෙනවා. මම කියන්නේ මේ දුක්ඛිත ලොක් ඩවුන් කාලයේ ඒ චිත්‍රපටි වැදගත් වෙන්න පුළුවන් මේ ටිකේ කොහොම හරි පවතින්න නම්. අද තියන තත්වයෙන් අපිව සහ ලෝකය බේරා ගන්න වීරයෙක් එයිද මම දන්නේ නැහැ. විශේෂයෙන් කොරෝනා ඖෂධයක් නිෂ්පාදනය කරන කෙනෙක් අනිවා වීරයෙක් වෙයි. හැබැයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඒ වගේ වැඩක් ගැන තදින් බැඳුන කෙනෙකුට. ජීවිතේම ඒ වැඩේට දාපු පර්යේෂණාගාර පිස්සෙකුට (lab freak). ඒ කියන්නේ උදේ දිවා රෑ නොබලා ඒ ගැනම වෙහෙසෙන 'උපාදානයක්' තියන කෙනෙකුට. උමතුවෙන් යම් අරමුණක් කරා යන කෙනෙකුට.   

ස්පීල්බර්ග් විසින් නිෂ්පාදනය කරලා තියෙන ඒවට අමතරව ඒ වගේ මරණය පෙනී පෙනී පැවැත්මේ අර්ථය හොයාගෙන ගිය මිනිස්සු ගැන ගොඩක් හොලිවුඩ් චිත්‍රපට තියනවා. මේ තමයි බටහිර ආත්මය ගොඩ නැගෙන විදිය. Everest, Ford vs Ferrari, වගේම ඇන්තනි හොප්කින්ස් ඉන්න The World's Fastest Indian චිත්‍රපටයත් කෙනෙක්ගේ ආත්මය අවුස්සන්න පුළුවන් ආශ්වාදනීය කෘති වලින් කිහිපයක්. යුරෝපීය සමාජයම මරණයට කැපවෙලා වගේ ඉන්න වෙලාවක උනත් එයාල එයාලගේ පැවැත්මේ නිදහස ගැන නොහිතනවා නෙවෙයි. තමන් ඉස්සරහා තියෙන්නේ මරණය තමයි. ඒත් තාමත් යුරෝපයේ වගේම ස්කැන්ඩිනේවියානු රටවල් වල මිනිස්සු ගෙවල් වලට පන්නන එක පොලීසියට ලේසි නැහැ. එයාල අහන්නේ මෙච්චරයි. 'කොරෝනා වෛරසය වෙනුවෙන් අපේ නිදහසෙන් කොපමණ ප්‍රමාණයක් කැපකළ යුතු ද' කියල. සියවස් ගණනක් අරගල කරලා එයාල උදා කරගත්ත නිදහස එහෙම වෛරස් එකක් නිසාම කැප කරන්න එයාල ලැහැස්ති නැහැ. අපේ අය මරණ බයේ දුවගෙන එද්දී එයාල මරණය පෙනී පෙනී ප්‍රශ්න අහනවා. නමුත් ඒ නිදහස රැකල දෙන්න එයාල තෝරා ගත්ත ධනේශ්වර මොඩලයට බැරි වෙලා තියනවා. ප්‍රශ්නේ ඒකයි. 

ශ්රෙක් ගැන මතකය ආයෙත් 

එයාල එයාලගේ ආශාව වෙත යන්නේ අමාරු බාධක ගොඩක් පහු කරලා. අවදානමක් අරගෙන. මරණය පෙනී පෙනී. නිකම් බලන්න ජනප්‍රිය කාටුන් චිත්‍රපටයක් වෙච්ච ශ්‍රෙක් (Shrek, 2001). දශකයකට දෙකකට විතර කලින් ආපු මේ චිත්‍රපටය දැන් නම් කාටවත් මතකත් නැහැ. බුකියේ ඔක්කොමල මේ දවස් වල කතා කරන්නේ පට්ට සීරියස් චිත්‍රපට ගැන. ඒ මතුපිටින්. හේතුව තමයි උඩින් සීරියස් කියල පෙන්නන කිසි කෙනෙක් මේ සිද්ද වෙන දේ ගැන ඇත්තටම සීරියස් නැතිකම. බටහිර මුහුණ දෙන ඇත්ත ආත්මීය ප්‍රශ්නේ අපි කාටවත් තේරුම් ගන්න අවශ්‍ය නැහැ. මම කියන්නේ ඇත්තටම තේරුම් ගන්න ඕනි නැහැ කියල.  

Andrew Adamson ගේ Shrek කියන්නේ ළමා ෆැන්ටසි චිත්‍රපටයක් උනාට ඒක ඕනි තරාතිරමක කෙනෙකුට ගැලපෙනවා. එයාලගේ සමාජයේ පොඩි ළමයෙක් ට ජීවිතේ ගැන එයාගේ අවිඥාණයේ පැළපදියම් කරන ෆැන්ටසි එක තමයි ඒ සින්ඩරෙල්ලා කුමරිය. උස කන්දක් මුදුනේ තියන, ගිනි වළලු කැරකෙන අගලක් මැද, ගිණි පිඹින මකරෙක් ඉන්න (මකරා චීන - පෙරදිග ව්‍යුත්පන්නයක්. 'ආශාවේ පෙරදිග බාධාව' කියන්නත් පුළුවන්), එක්ටැම් ගෙයක හිර කරලා ඉන්න තමන්ගේ දෛව ස්ත්‍රිය සොයා යන එක තමයි එයාලගේ ලයිෆ් මිෂන් එක. ආශාව ට වඩා තියෙන්නේ ඒ ආශාව සොයා යන ගමනේ තියන බාධක අතික්‍රමණය කිරීම. ඒ ස්ත්‍රිය සිතන්නෙත් එහෙමයි. මම වටිනා ගැහැණියක් නම් ඒ බාධා බිඳගෙන මා වෙතට එන්න කියන එක. ෆියෝනා දැන ගත්තම එයාව බේරා ගත්තේ එයාව ඇත්තටම ඕනි කෙනා නෙවෙයි වෙන කොන්ත්‍රාත් කරුවෙක් කියල ගෑණි අප්සෙට් වෙනවා. එයා බිම ඉඳ ගන්නවා. ඉඳගෙන කියනවා ෆාර්ක්වාඩ් ට මම ඕනිනම් ඇවිල්ලා බේරා ගන්න කියන්න කියල. එතකොට තමයි ශ්රෙක් එයාව බලෙන් ම වගේ උස්සගෙන එන්නේ. 

මිනිහෙක්ද ? යකෙක්ද ? අදාළ නැහැ - බේරාගත්ත වීරයාට ආදරය පුදදුන් ෆියෝනා

ඉතිං ඇත්තටම එයාව බේරා ගත්ත වීරයාට තමයි එයාගේ ආදරේ දෙන්නේ. මිනිහෙක් ද යකෙක් ද කියන එක එතැනදී එයාට අදාල වෙන්නේ නැහැ. පුර්ණ ලෙස ශ්රෙක් එයා වෙත ඇද වැටෙනවා ද කියන එක තමයි එයා බේරා ගන්න හදන්නේ. මොකද එයා වෙනුවෙන් නෙවෙයි ශ්රෙක් මරණයේ කන්ද නගින්නේ. එයාට ඕනි එයාගේ මඬ වගුර (swamp) නැවත ගන්න. ඒ භූ දේශපාලන වගුර තමයි එයාගේ මිනිස් සමාජයෙන් රැඩිකල් දුරස් බව සංකේතවත් කරන්නේ. කොහොම උනත් මුලින් එච්චර සීරියස් නැති උනාට පස්සේ ෆියෝනා නැති උනාම තියන ආත්මීය හිස් බවේ ගැඹුර දැන ගත්තම ශ්රෙක් හොඳටම අවුල් වෙනවා. එහෙම පට්ට අවුල් වෙලා කට කමසෙයියාවක් නැති ඩොන්කිත් අරගෙන (කතා කරන ඇලන් මිලර් විෂය - speaking Subject - තනිකම විසින් යටපත් කළ ශ්රෙක් ගේ අවිඥාණය) මකරා උඩ නැගල රජ වාසලට ආවම ෆියෝනා සතුටින් ඒ මිනිස් නොවන එහෙත් මිනිසාටත් වඩා මිනිස් වන යක්ෂ පෙම්වතා බාර ගන්නවා. ඒ විතරක් නෙවෙයි දවල්ට ලස්සන රෑට කැත ෆියෝනා ගේ පැවැත්මේ ශාපයත් (ආශා පෙරලුම) ඒ විදියටම ශ්රෙක් බාර ගන්නවා. පුර්ණ ලෙස ඇද වැටෙනවා කියන්නේ ඒකට. දෙදෙනාම නොසිතූ දෙයක් (යථ) පැවැත්ම තුළින් ඉස්මතු උනත් ඒ නොසිතූ දෙය සම්පුර්ණයෙන් බාර ගන්න තරම් ගට් ෆීලින් එකක් ඒ ෆැන්ටසි චිත්‍රපට විසින් හදනවා. 

ආශා පෙරළුම පිළිගත්තු ශක්තිමත් මිනිහෙක් 

අර මුලින් ෆිල්ම් එක පටන් ගන්නකොට 'සත්‍ය ආදරයේ මුල්ම හාදුව'  (true lover's first kiss) කියන කොටස තියන සුරංගනා කතා පොතේ පිටුව ශ්රෙක් ගන්නේ ටොයිලට් පේපර් එකක් හැටියට. ඒ වගේ (මිනිස්) ආදරයක් හම්බවෙයි කියල එයා කවදාවත් හිතුවේ නැහැ. එහෙම එකක් තියෙයි කියල හිතුවෙත් නැහැ. අන්තිමට එයාට හම්බ වුනේ ඒ කවදාවත් නොසිතපු දේ ම තමයි. 

එක යුගයක රැඩිකල් තනිකමට (දුරස්තබවට) ආදරය කරපු ශ්රෙක් ට හම්බ වුනේ කවදාවත් නොසිතපු දෙයක්. මිනිස් ආදරයක්. ඊටත් වඩා උදේට ලස්සන ම ලස්සන රෑට කැත ගැහැනියක්. වැදගත් දේ වෙන්නේ ඒ ආශා පෙරළුම (twist in desire) පිළිගන්න එයාට තියන හයිය. ෆැන්ටසියට එරෙහි වෙන්න එයාට තියන හයිය (එකට ඉන්න කොට ගුටි ගහගෙන ඉස්පිරිතාලේ එන එක වෙනුවට). ඒකට අර 'උපාදානය' කියන එක ටිකක් ඕනි වෙනවා. ආශාව එක්ක දුරස් වෙලා බැහැ. සමීප වෙන්න ඕනි. එතකොට තමයි සියල්ල පේන්න ගන්නේ. කැත කුණු, අඩුපාඩු, හොඳ නරක සියල්ල දකිමින් ඒ දේ තරණය කරන්න හදන එක තමයි ෆැන්ටසි තරණය. ශ්රෙක් හොඳම හොඳ උදාහරණයක් ඒ දේ තේරුම් ගන්න.    

ඒ වගේ තදින් තමන් කරන වැඩේ එක්ක අනන්‍ය වෙච්ච් කෙනෙක් තමයි Bridge of Spies (2015) චිත්‍රපටයේ ජේම්ස් පී. ඩොනවන් කියන්නේ. මුලින් එයා ලෝයර් කෙනෙක් උනාට පස්සේ ඒ වෘත්තිය නිසාම එයාට එක්සත් ජනපද ආණ්ඩුව පවරනවා රහසිගත මට්ටමේ රටවල් අතර සිදුවන පුද්ගල ගණුදෙනු කිරීම් (negotiations - හුවමාරු කිරීම්) ගැන යම් වගකීමක්. ගනුදෙනු කියන ඒවා හැම රටකම හැම පුද්ගලයින් අතර උනත් සිදුවෙනවා. සමහර ඒවා තිරෙන් එළියේ සමහර ඒවා තිරෙන් ඇතුලේ. තිරෙන් ඇතුලේ ඒවා එළියට ලීක් වෙන අවස්ථා උනත් නැතුවා නෙවෙයි. ලීක් කරන අයත් වීරයෝ වෙනවා. ලීක් අතර හඬ පටි ලීක් වගේ ඒවත් තියනවා. විකී ලීක්ස් වගේ ඒවත් තියනවා. දෙරණ ලීක්ස් වගේ ඒවත් තියනවා.

නමුත් ඩොනවන් තමන් ගේ අරමුණ වෙනුවෙන් දිගටම ඉදිරියට යනවා. අවසානය දක්වා ම යනවා. මුළු සමාජයක් (සෙනඟ) හෙලා දකිද්දී උනත් තමන් විශ්වාස කරන අරමුණ දක්වා යනවා. තමන්ගේ දෙනලද හුවමාරුවට විතරක් සීමා වෙන්නේ නැතුව ඉනුත් ඔබ්බට යනවා. ඔහුගේ මිෂන් එක ඇතුලේ තව සරසවි ශිෂ්‍යයෙක් පවා බේරා ගන්නවා. අවසානයේ සියළු මිනිස්සු ඔහුව පිළිගන්නවා. ඔහු නිවැරදියි කියල පිළි ගන්නවා. ඔහු තමන්ගේ වෘත්තීය ඉවර කරන්නේ මිනිස්සු දහ දාහකට කිට්ටුවෙන් බේරා ගෙන. අන්තිමට රුසියානු ඔත්තු කරු වන ඒබල් ඔහුට කියන්නේ 'නැගිටින මිනිසා' (standing man) කියල. සෙනඟ ගල් ගැහුවට ඔහු වැටෙන්නේ නැහැ. ඔහු නැගෙනහිර ජර්මණියට යන්නේ මරණීය සවාරියක්. ගෙදර අයට කියන්නේ මාළු අල්ලන්න යනවා කියල. අන්තිමට ටී. වී. එකෙන් තමයි එයාලත් දැන ගන්නේ ඇත්ත මිෂන් එක. 

ෆැන්ටසි මූලය තියෙන්නේ ජීවිතේ ඇතුළේ නෙමෙයි - එළියේ 

ඉතිං ඔයාලට තේරෙනවා ඇති බටහිර ආත්මය මරණය එක්ක කරන සෙල්ලමේ ෆැන්ටසි මූලය තියෙන්නේ කොහෙද කියල. එයාලගේ ජීවිතේ අර්ථය තියෙන්නේ එයාල ඇතුළේ නෙවෙයි. එයාලගෙන් එළියේ. අනෙකා ඇතුලේ. පෙරදිග අපි අපි ඇතුලෙම පැවැත්මේ අර්ථය හෙව්වට එයාල හොයන්නේ එළියෙන් අර්ථවත් වෙන ඇතුලක් ගැන. ඒ නිසා ඔය යක්කු කොරෝනා තියා මොන මඟුලක් තිබ්බත් ගෙවල් ඇතුලේ තියන්න බැහැ. 

හැබැයි සමාජ දුරස්තකරණය දැන් රැඩිකල් සංකල්පයක් වෙමින් යන නිසා සහ බටහිර සමාජය පැවැත්මේ මරණීය සිරගත වීමක ඉන්න නිසා මේ මොහොතෙන් පස්සේ සමාජය නව පශ්චාත් නූතන පිම්මක් පනින්න නියමිත බව තමා මගේ මේ මොහොතේ ප්‍රවාදය. 

ඒ ගැන තොරතුරු ටිකක් එක්රැස් කරමින් ඉන්න නිසා ඊළඟ සටහනෙන් ඒක විස්තර කරන්නම්. බැලුවේ නැත්නම් ශ්රෙක් ආයිත් බලන්න. මිනිස් ආදරයේ ගැඹුර මිනිස් නොවන ශ්රෙක් ගෙන් ඉගෙන ගන්න. තමන් ඉස්සරහා ඉන්න කෙනා දෙවියන් ගේ තෑග්ගක් කියල හිතන්න. අමාරුවෙන් තමයි දෙවියන් එහෙම තෑග්ගක් දෙන්නේ කියලත් හිතන්න. එහෙම හිතුවොත් ඔය ගෘහස්ත ප්‍රචණ්ඩ බව ටිකක් අඩුවෙලා යයි.