- නීතිඥ ජගත් ලියන ආරච්චි -
පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවකදී යළි කැඳවිය හැකි අවස්ථාවන් දෙකක් අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ දක්නට ලැබේ.
එම අවස්ථා දෙකේදීම පාර්ලිමේන්තුව යළි කැදවීමේ නිවේදනය නිකුත් කළ හැක්කේ ජනාධිපතිතුමාට පමණි.
එම අවස්ථා වන්නේ,
01. හදිසි තත්වයක් උද්ගතවී ඇති අවස්ථාවකදී
විසුරුවා ඇති පාර්ලිමේන්තුව යලි කැදවීම ප්‍රතිපාදන දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (7) ව්‍යවස්ථාව තුළය. ඒ අනුව
“පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමෙන් පසුව කවර අවස්ථාවක වුව ද පාර්ලිමේන්තුව නියමිත දිනයට කලින් රැස්වීම අවශ්‍යවන ස්වභාවයක හදිසි තත්ත්වයක් උද්ගත වී ඇති බවට ජනාධිපතිවරයා සෑහීමකට පත් වුවහොත් විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව ප්රකාශනයක් මගින්, ඒ ප්රකාශනයේ දින සිට තුන් දවසකට කලින් දිනයක් නොවිය යුතු දිනයක දී රැස්වන ලෙස කැඳවීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය. එසේ කැඳවනු ලැබූ පාර්ලිමේන්තුව හදිසි අවස්ථාව අවසන් වීම හෝ මහ මැතිවරණය අවසන් වීම යන මෙයින් කලින් එළඹෙන අවස්ථාවේ දී විසිරෙන්නේ ය.”
මේ අනුව විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ බලය ව්‍යවස්ථාවට අනුව පවතින්නේ ජනාධිපතිවරයාටය. එවැනි අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව නැවත කැදවුවහොත් හදිසි අවස්ථාව පහවීම හෝ මහ මැතිවරණය දක්වා එකී පාර්ලිමේන්තුව බලපැවෙත්වෙනු ඇත.
02. හදිසි අවස්ථාව පිළිබඳ ප්‍රකාශය සම්මත කිරීම සඳහා
පාර්ලිමේන්තුව විසුරුවාහැර ඇති අවස්ථාවකදී ජනාධිපතිතුමා විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති විටක එම හදිසි අවස්ථාව පිළිබඳ ප්‍රකාශය දින 10ක් තුල පාර්ලිමේන්තුව තුලින් සම්මත කරවා ගැනීමේ සදහා පාර්ලිමේන්තුව කැදවීමේ බලය ජනාධිපතිවරයාට ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155(4) ව්‍යවස්ථාවේ මෙසේ දැක්වේ.
“(4)එවැනි ප්රකාශනයක් කරනු ලැබූ විට ඒ බව, මේ ව්‍යවස්ථාවේ අනෙකුත් විධිවිධානවලට යටත්ව, නොපමාව ම පාර්ලිමේන්තුවට දන්වා යැවිය යුත්තේ ය; තවද ඒ අනුව
(i) ඒ ප්රකාශනය නිකුත් කරනු ලැබුවේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමෙන් පසුව නම්, ඒ ප්රකාශනයෙහි පාර්ලිමේන්තුව රැුස්වීම සඳහා කලින් දිනයක් නියම කර ඇතොත් මිස, ඒ ප්රකාශනයෙන් අනතුරුව එළඹෙන දස වන දිනයෙහි පාර්ලිමේන්තුව රැුස්වීම පිණිස කරන කැඳවීමක් සේ ඒ ප්රකාශනය ක්‍රියාත්මක වන්නේ ය. පාර්ලිමේන්තුව රැුස්වීම සඳහා ඒ ප්රකාශනයෙහි යම් දිනයක් නියම කරනු ලබන්නේ නම් ඒ දිනය එකී ප්රකාශනය හෝ වැඩිදුරටත් කරනු ලැබූ යම් ප්රකාශනයක හෝ කාලය ඉකුත් වීම හෝ ඒ ප්රකාශනය හෝ වැඩිදුර ප්රකාශනය ප්‍රත්‍යාදිෂ්ට කිරීම නැතහොත් මහ මැතිවරණය නිමවීම යන අවස්ථා දෙකෙන් කලින් එළඹෙන අවස්ථාව තෙක් පවත්වා ගෙන යා යුත්තේ ය. එකී කාලය ඉකුත් වූ විට හෝ ප්‍රත්‍යාදිෂ්ට කිරීම කරනු ලැබූ විට හෝ මහ මැතිවරණය නිම වූ විට හෝ එසේ කැඳවනු ලැබූ පාර්ලිමේන්තුව විසිරෙන්නේ ය.
මෙම අවස්ථාව වන විට ජනාධිපතිතුමා හදිසි අවස්ථාව පිළිබදව ප්‍රකාශයක් නිකුත් කර නොමැති බැවින් මෙම ව්‍යවස්ථාමය ප්රතිපාදනය භාවිතා කළ නොහැක.
Post a Comment