ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතයට එරෙහි සටන සඳහා ඉන්දියාව ලබා දෙන සහයෝගය තවදුරටත් ඉදිරියට ගෙනයමින් අද දින ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් වෛද්‍ය අත්වැසුම් තොගයක් ශ්‍රී ලංකා රජය වෙත භාර දෙන ලදී. 2020 අප්‍රේල් මස 7 සහ 8 දෙදින ඉන්දියාව විසින් ජීවිත සුරකින අත්‍යාවශ්‍ය ඖෂධ ටොන් 13ක පමණ තොගයක්ද පරිත්‍යාග කරන ලදී.
2020 මාර්තු 15 වන දින වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාක් නායක සමුළුවේදී ඉන්දියාව කොවිඩ්-19 වෛරසයට මුහුණ දීම සඳහා අසල්වැසි රටවල හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සඳහා අන්තර්ජාලය හරහා පුහුණු වැඩසටහන් පිරිනමන බව ප්‍රකාශ කළේය.
මේ අනුව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයන් සඳහා කොවිඩ් වසංගත කළමනාකරණ ක්රමෝපායන් සහ ඒ සම්බන්ධ අංශයන් පිළිබඳ e-TEC කෙටිකාලීන සජීවී පුහුණු වැඩසටහන් අන්තර්ජාලය හරහා පවත්වනු ලබයි.
එවැනි පළමු පුහුණු වැඩසටහන, "කොවිඩ්-19 වසංගතය: සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා වළක්වා ගැනීමේ සහ කළමනාකරණ මාර්ගෝපදේශ" යන මැයෙන් රායිපූර්හි All India Institutes of Medical Science විසින් 2020 අප්‍රේල් 17-21 දින දක්වා සාර්ථකව පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිලධාරීන් එකළොස් දෙනෙකුද මේ සඳහා සහභාගී විය. දෙවන අන්තර්ජාල ITEC වැඩසටහන "කොවිඩ්-19 වසංගතය කළමනාකරණය : ඉන්දියාවේ අත්දැකීම සහ මනා පිළිවෙත්" යන මැයෙන් 2020 අප්‍රේල් 27 වන දින සිට 2020 මැයි 1 වන දින දක්වා චාන්ඩිගාර්හි Post Graduate Institute of Medical Education and Research (PGIMER) විසින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එවැනි පුහුණු පාඨමාලා ඉදිරි දිනවලදීද සංවිධානය කෙරෙනු ඇත.
මෙම අර්බුද සමයේදී ඉන්දියාව තවදුරටත් සිය සම්පත් සහ ප්‍රවීණත්වය මිතුරන් සහ සහකරුවන් අතර බෙදාහදා ගැනීමට කටයුතු කරනු ඇත.
Post a Comment