ශවේන්ද්‍රට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කෙරේ


මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට හා ඔහුගේ පවුලේ සමීපතම ඥාතීන්ට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අද (14) නිවේදනය කර තිබේ. 

මීට හේතුව ලෙස දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවසන්භාගයේදී 58 වන සේනාංකය විසින් සිදුකළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට  වගකිවයුතු බවට තහවුරු වූ විශ්වාසනීය තොරතුරු හේතුවෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ මෙහෙයුම් හා ඒ හා සම්බන්ධ වැඩසටහන් වලට අදාළ වගන්ති 7031 (c) යටතේ අදාළ පියවර ගෙන ඇති බවයි. 

ශවේන්ද්‍ර සිල්වා විසින් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා තුළින්ද තහවුරු වන බවත් ලොවපුරා වගවීම සහතික කිරීමට දරන උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස මේ පියවර ගෙන ඇති බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වාදී තිබේ. 

කෙසේවුවත්, ඇමරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව ඉදිරියට ශක්තිමත් වනු ඇති බවද මෙම නිවේදනයෙන් අවධාරණය කර සිටියි.